ගමන...

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]බෞද්ධ අපිට අරමුණු හුඟක් තියෙන්න විදියක් නෑ. බෞද්ධ අපේ එකම අරමුණ ව‍ගේම මූලික අරමුණ තමයි අර්හත්ඵලය සාක්ෂාත් කර ගැනීම. අරමුණ මේක වුනාට මේ අරමුණ ඇත්ත කර ගන්න එක නිකම් කජු තනවා වගේ ලේසි වැඩක් නෙමේ. අපි ක්‍රමානුකූලව කරන්න ඕනා දෙයක්. ක්‍රමානුකූලව වගේම මේ අරමුණ ‍දක්වා හොඳ සිහියෙන් යන්නත් ඕනා. නැත්නම් මහ විනාශයක් වෙනවා. බුදුහාමුදුරුවොම වරෙක දක්වනවා තමන්‍ වහන්සේගේ ධර්මය විෂකුරු සර්පයෙක් ‍වගේ කියලා. අපි දන්නවානේ සර්පයෙක්ව නියම විදියට අල්ල ගත්තෙ නැත්නම් මොකද වෙන්නේ? ඌ අපිට දෂ්ට කරනවා. ඒකෙන් අපි විනාශයට පත් වෙනවා. ධර්මය නිසි පරිදි ඉගෙන ගෙන නියම ආකාරයට පිලිපැද්දොත්අන්න එතකොට ඒ ධර්මයෙන් ඒ ධර්මය පිළිපදින්නා ආරක්ෂා වෙනවා. එයින්ම ඒ තැනැත්තාගේ ආශ්‍රයට පත් වෙන තැනැත්තොත් සැනසීමට පත් වෙනවා. නැත්නම් ඉතින් ඒ වැරදියට පිළිපදින තැනැත්තා වගේම ඒ තැනැත්තාව විශ්වාස කරන අයත් විනාශයට පත් වෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ අකුසලයක මහත කියන්නේ අද වෙනකොට වැඩි පුරම ඉන්නේ මේ දෙවන කට්ටිය තමයි. තමනුත් විනාශ වෙලා අනිත් අවයත් විනාශ කරන්න උත්සහ කරනවා. ඒ අතරෙ ඉන්න මුල් කණ්ඩායම ශ්‍රේෂ්ටයි. ඒ අයට තමයි බුදුහාමුදුරුවො කිව්වේ මඩේ පිපුන නෙළුම් මලක් වගේ කියලා.
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ඔයින් මෙයින් කොහොමහරි ඒවායින් අපිට වැඩක් නෑ. තම තමන්‍ පුළු පුළුවන් විදියට නියම ධර්මය උගෙන ගෙන අර්හත්ඵලය සාක්ෂාත් කර ගන්න උත්සහ කරන එකයි වැදගත්. ඉතින් නිවන් දකින්න අපිට උදව් වෙන ධර්ම කාණ්ඩයන් කීපයයක් එක් කරගෙන තවත් පෝස්ට් එකක් කරන්න මන් හිතුවා. මෙතනදි කිසියම් කෙනෙක්ට මේ දේවල් ගැන ටිකක් විමසලා බලලා ඒවායේ ඇත්ත නැත්ත සලකලා බලලා පිලිගන්නවානම් පිලිගෙන බෞද්ධයන්ගේ අරමුණ වෙච්ච අර්හත්ඵලය සාක්ෂාත් කරගන්න ලැබෙනවානම් ඒ තමයි මගේ එකම ප්‍රාර්ථනය. ඒ වගේම තව දෙයක්, මෙතනදි ඔයාලගේ දැනීමේ හැටියට මගේ අතින් වැරදි දෙයක් කියවෙනවානම් කරුණාකරලා ඒ දේවල් නිවැරදි කරන්න කියලාත් (මොකද කියනවානම් මට වඩා ධර්මය ගැන දන්න අය මෙතන හුඟක් ඉන්න නිසා) කාරුණිකව ඉල්ලා සිටිනවා. [/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ඉතින් මන් හිතුවා පෝස්ට් එක පටන් ගන්න මුලින්ම සංයුක්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයෙන්. මෙතනදි රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා තමන් පෙර ආත්මභාවයකදී මේ භෞතික ලෝකයේ අවසානය දකින්න උත්සහ කරලා අතරමගදි මියගිය බව බුදුහාමුදුරුවන්ට කියා හිටිනවා. ඉතින් බුදුහාමුදුරුවො මෙතනදි දේශනා කර වදාරනවා, [/FONT]“[FONT=&quot]ඇවැත්නි, මම ලොව කෙලවරට නොපැමිණ දුක් කෙළවර කිරීමක් නොම කියමි. ඇවැත්නි, වැලිදු මම සංඥා සහිත සිත් සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහිම ලෝකයත්, ලෝකසමුදයත්, ලෝකනිරෝධයත්, ලෝකනිරෝධගාමිණී ප්‍රතිපදාවත් පණවමි. පාගමනින් කිසිකලෙක ලොව කෙළවර නොපැමිණිය හැක්කේය. ලොව කෙළවරට නොපැමිණ දුකින් මිදීමෙකුත් නැත. එහෙයින් ලොව දන්නා මහ නුවණැති ලොව කෙළවරට ගිය වැස නිමවූ මගබඹසර ඇති පව් සංසිඳවූ පුද්ගල තෙමේ ලොව කෙළවර දැන මෙලොව ද පරලොවද නොපතයි[/FONT] ”[FONT=&quot] විදියට.
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවො තමන්ගෙන් ප්‍රශ්න අහපු හුඟක් අයගෙ ප්‍රශ්න ඒවායට ලැබෙන පිළිතුර නිර්වාණයට සම්බන්ධ නොවන ඒවා වෙනවිටදි ඊට පිළිතුරු ලබා දීමෙන් වැලකී සිටියා. ඒ වගේම තමයි සමහර අයට ඒ වගේ වෙලාවටත් පිළිතුරු ලබා දුන්‍නා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි, ඒ අවස්ථාවේ නොවුනත් පසු අවස්ථාවකදී ඒ තැනැත්තාට මගඵල අවබෝධ කර ගන්න අවස්ථාව සැලසෙන නිසා. ඉතින් මේ රෝහිතස්ස සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන විදියට අපේ මේ ඇ‍ඟේම තමයි‍ ලෝකය හට ගන්නෙත්. ඒ වගේම තමයි ලෝකය නැති කරන්න පුළුවන් වෙන්නෙත් මේ ඇ‍ඟටම අවධානය යොමු කිරීමෙන් තමයි, මොකද කියනවානම් දුක නැති කිරීමේ ක්‍රමවේදය හැංගිලා තියෙන්නෙත් අපි තුලම නිසා. මේ දේවල් දැකගන්න, අවබෝධ කරගන්න බැරි වුන නිසා අපි නොසෑහෙන්න දුක් විඳිනවා. ඒ දුක් වලට අනිත් අයවත් ඇදලා ගන්නවා. [/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ඉතින් අපි වෙන්න ඕනා අපි දුකට පත් වෙලා අනිත් අයව දුකට ඇදලා ගන්න පිරිසක් බවට නොවේ. අපි අපිත් ලෝකය අවබෝධ කරගෙන අනිත් අයටත් ලෝකය අවබෝධ කරගන්න උපකාර වෙන්න ඕනා. අපි දන්නවානේ සෑම දු‍කකම උපත තමයි අපේ උපත කියන එක. මෙතනදි බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම [/FONT]“[FONT=&quot]තථාගතයන් වහන්සේ විසින් මැනවින් අවබෝධ කරගන් හා මැනවින් දැනගත් ලොව පවත්නා ලෝක ධර්මය කුමක්ද? මහණෙනි, රූප,වේදනා,සංඥා,සංඛාර හා විඤ්ඤාණ ලොව ලෝකධර්මයි. [/FONT][FONT=&quot]එසේ දැන ගැනීමෙන් පසු ඔහු එය පැහැදිලි කරයි, උගන්වයි, පිහිටුවයි, පනවයි, බෙදා දෙයි, උඩුකුරු කෙරෙයි. තථාගතයන් විසින් එසේ කරද්දීත් කෙනෙක් එය නොදැන හෝ නොදැක සිටී නම් එවන් අන්ධ නොපෙනෙන අඥාණ පුරුෂයකුත් සමග මන් කුමක් කරන්නම්ද?[/FONT] ”([FONT=&quot]පුප්ඵ සූත්‍රය, සංයුක්ත නිකා‍ය) විදියට කෙටියෙන් වගේම සරලව දක්වන්න පුළුවන්.
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මේ දේවල් පංචස්කන්ධය විදියට හැඳින්වෙනවා. මේවායේ හට ගැනීම සත්වයාගේ හටගැනීම වෙනවා වගේම දුකේ උපතත් තමයි මේ. යම් විටක කෙනෙක්ට ලෝකය දැනගන්නවා කියන්නේ එහෙමනම් සරලව ගත්තම පංචස්කන්ධය දැන ගැනීමයි. ඒ ලෝකයේ ප්‍රතිඵලය දුක. ඉතින් දුක ? [/FONT]“[FONT=&quot]ජාතිය දුක් වන්නේය. ජරාව දුකකි. ව්‍යාධීන්ගේ පහල වීම දුකකි. ජීවිත නසන මරණයද දුක් වන්නේය. අප්‍රියයන් සමග විසීම දුක් වන්නේය. ප්‍රියයන්ගන් වෙන් වීම දුකකි. කැමති දෙයක් නොලැබීමද දුකකි. කෙටියෙන් කියන්නේ නම් පඤ්ච උපාදානස්කන්ධයෝ දුක් වන්නේය. මෙය දුක්ඛ ආර්ය සත්‍යය නම් වන්නේය.[/FONT]”[FONT=&quot] (ධම්මචක්කපවත්තන සූත්‍රය, සංයුක්ත නිකාය).
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]හිතලා බලන්න ලෝකයේ මෙයිට වඩා දෙයක් තියෙනවාද කියලා ? [/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ඉතින් අපි ටිකෙන් ටික හිමින් සැරේ අර්හත්ඵල සොයා යන ගමනේ ඉස්සරහට යමු. [/FONT]

 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

මේ අර්හත්ඵල සාක්ෂාත් කර ගන්නට යන ගමනේදී අපිට සිද්ධ වෙනවා නිතරම එක තැනැත්තෙක් එක්ක ගැටෙන්න. මෙයා‍ අද ඊයේ ඉඳන් නෙමෙයි සත්‍යය දකින්න යන අයට කරදර කරන්නේ. බො‍හෝම දුර ඈත අතීතයේ ඉඳන්. උන්නැහේගේ නම තමයි නමුචි. මේ නමුචි පුළු පුළුවන් හැම තිස්සෙම උත්සහ කරන්නේ ලෝකය දකින්න උත්සහ කරන අයට ලෝකය දකින්න බැරි විදියට වැඩ සලස්සන්න. මෙයා එක එක වේසෙන් අපේ ජිවිත වලට ඇඟිලි ගහනවා. මන් හිතන්නේ මගඵල දකින්න යන ගමනේදී අපිට ලොකු බාධාවක් වෙන මේ නමුචි ගැන ටිකක් දැන ගෙන හිටියොත් හොඳයි කියලා. නමුචි සහ ඔහුගේ හමුදාව ගැන අපි මීළඟට කථා කරමු. මොකද කියනවානම් නිවන් දකින්න කටයුතු කරන හැම යෝගියෙක්ටම මේ නමුචියි ඔහුගේ හමුදාවයි බාධා කරන නිසා. ටිකක් හිතන්න බුදුහාමුදුරුවන්ට පවා මේ හමුදාව බුදුවෙන දවසේ රෑ පහර දුන්නානේ. ඉතින් අපි ගැන කුමන කථාද?


ඉතින් අපි බලමු කවුද නමුචිගේ සේනාව කියලා..

ක්ලේශකාමයෝ තාගේ ප්‍රථම සේනාය. අරතිය දෙවන සේනාවයයි කියයි. ක්ෂුත්පිපාසා දෙ තාගේ තෙවන සේනාය. පර්යේෂණ තෘෂ්ණාව සිව් වන සේනාව වේ. පස්වන සේනාව ථීන මිද්ධයයි. බිය සයවන සේනාව වේ. සත්වන සේනාව විචිකිච්චාව වේ. මකුබව හා තද බව අට වන සේනාවයි. ලාභයැ ප්‍රශංසායැ සත්කාරයැ යි කියන ලද යම් යශසෙක් වේ නම්ඒද යමෙකුත් තමා හුවා දක්වානම් මෙරමාත් හෙලා දක්නේ නම් ඒ නමුචිය තගේ සේනාවයි. අශූර පුරුෂ තෙම ඒ සේනාව නොදිනයි. ශූර පුරුෂයා මරු පරදා සුවයට පැමිණෙයි. (පධාන සූත්‍රය)
 
Last edited:

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
1. ක්ලේශකාම

ක්ලේශකාම තමයි මාරයාගේ පළවෙනි හමුදාව. ගිය ආත්මවලදී අපි කරන්නට යෙදුන යහපත් ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයන් නිසා අද, මේ ආත්මෙදි නොයෙක් සැප සම්පත් ලැබීමේ හැකියාව ඇතිව ඉපදෙන්න ඉඩ ලැබිලා තියෙනවා. ඒ බව හොඳින්ම පැහැදිලි වෙන්නේ දුක් විඳින මිනිස්සුන්ගේ අතරෙම අපිට ජීවත්වෙන්න ලැබිලා තියෙන නිසා. ඉතින් මේ ලෝකේ ඉපදෙන සත්තුන්ට තමන්ගේ ඉන්ද්‍රියන් පිනවන්නට නොයෙකුත්‍ ක්‍රමයන් තියෙනවා. නහය කඩාගෙන යන සුවඳවල්, කොන්ඩෙ හැඩ කරන්නට ජෙල්, ඩයි, ඇ‍ඟේ හැඩය පේන්න ඇඳුම්, රසවත් කෑම, රස සිතුවිලි, මේ වගේ නොයෙක් දේවල්. ඊළඟට අද කාලේ ගත්තම අපේ කට්ටියව සංගීතයෙන් හුඟක් මත් වෙලා තියෙන්නේ. කොහොමහරි අපේ ඉන්ද්‍රියන් පිනවන්නට තරම් අරමුණු ඕනා තරම් තියෙනවා. ඉතින් ස්වභාවයෙන්ම වෙන දෙයක් තමයි මේ අරමුණු නිසාවෙන් ආශාව ඇති වෙන එක. ආශාවයි ප්‍රසාද අරමුණුයි තමයි ක්ලේශකාමයේ පදනම.

පවුලට, යාළුවන්ට, දේපලට, ව්‍යාපාරවලට තියෙන ඇලීමත් මේ මාරයාගේ පළවන හමුදාවට ඇතුලත් වෙනවා. සාමාන්‍යයෙන් පෘථග්ජනයෙක්ට මේ සේනාව පරදවන එක ඒ තරම් ලේසි පහසු වැඩක් නෙමෙයි. සමහරු මේ හමුදාව එක්ක යුද්ධ කරන්න හැම දේම අතහැරලා දාලා මහණ වෙනවා. සමහරු භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා තාවකාලිකව තමන්ගේ බැඳීම් පැත්තකට දාලා ඉන්නවා මේ ෂඩ් ඉන්ද්‍රින්ගෙන් අපිව බැඳලා තියෙන අරමුණු එක්ක සටන් කරන්න.

මතක තියාගන්න, ඔයාලා භාවනා පුහුණු කරද්දි විශේෂයෙන්ම කඳුබොඩ, ගල්දූව, මීතිරිගල වගේ භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා, ප්‍රසන්න දේවල් බොහොමයක් අතහැරලයි තියෙන්නේ කියලා. මේ වෙලාවෙදි වුනත් ඔයාලට හිතෙන්න පුළුවන් තවමත් වටේ තියෙන සමහර දේවලට ඇලීම තියෙනවා නේද කියලා. ඒ වගේ වෙලාවලදි ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙයි ඔයාල ඔයාලගේ නිදහස නැති කරන්න උත්සහ කරන සතුරා එනම්, මාරයා සමගයි මන් මේ කටයුතු කරන්නේ කියලා සිහි තබා ගැනීම.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
2. අරතිය

මේ තමයි මාරයාගේ දෙවන සේනාව. විශේෂයෙන්ම අපි ගතකරන්නට බලාපොරොත්තුවෙන භාවනා පුහුණුව ඇතුලත්වුන උසස් ජීවිතය ගැන අපිට ඇතිවන නොසතුට, අතෘප්තිය. සමහරවෙලාවට අපි භාවනා කරන්න ගියාම අපිට අපි ඉන්න තැන ගැලපෙන්නේ නෑ. අපි ගන්න කෑම හරි නෑ. මේ හේතු හරි වෙන මොනවා හරි හේතුවක් නිසාවෙන් භාවනාව අපිට එපා වෙලා යන්න පුළුවන්. හුඟක් වෙලාවට මන් දකින දෙයක් තමයි හුගක් අය හරි ආශාවෙන් වගේම මහ අධිෂ්ඨානයකින් යුක්තව පටන් ගන්න භාවනාව ‍ඒ වගේම ඉක්මනින් අතඇරලත් දානවා ඒකෙන් තමන්ට තෘප්තියක් නැති නිසා. ඉතින් එහෙම වෙද්දි භාවනාවත් එපා වෙන්න පුළුවන්. භාවනාවත් වැරදියි කියල හිතෙන්නත් පුළුවන්.

මේ සේනාව එක්ක යුද්ධ කරන්න නම් අපි අභිරති තැනැත්තෙක් වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ ධර්මය දන්න, ධර්මය වෙනුවෙන් කැප වුන තැනැත්තෙක්. නියම ක්‍රමවේදය ‍හොයාගෙන ඒක ක්‍රියාවට නැගුවම අපිට පුළුවන් නීවරණයන් ඉවත් කිරීමේ කාර්යය කරන්න. සමාධිගත සිතේ ස්වභාවයෙන්ම සතුට, ප්‍රසාදය ඇති වෙනවා. එතනදි ඔයාලට තේරෙනවා ඉන්ද්‍රියන්ගෙන් කරන පිනවීමට වඩා ධර්මයෙන් ලැබෙන සතුට බලවත් කියලා. නමුත් ඔබ පුහුණුව සඳහා නියම ක්‍රමවේදය සොයාගන්න අපොහොසත් වුනොත් ධර්මයේ රස විඳින්න ඔබට නොහැකි වේවි. එතකොට භාවනා පුහුණුවේදී ඇතිවෙන නොයෙකුත් අපහසුතා හේතුවෙන් පටිඝය හිතේ නැග එන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ මාරයා ජය ගන්න එකයි.

මෙතනදි මාරයා පරදන්න විපස්සනාව තමයි අපේ ආයුධය වෙන්නේ. නමුත් විපස්සනා පුහුණුව කියන්නෙත් බැලුවම සංග්‍රාම භූමියක්. යෝගියා තමන්ගේ හැකියාවන් මත පදනම්වෙලා එක්කො ආක්‍රමණික වෙන්න පුළුවන්. නැත්නම් ආරක්ෂිත පියවර අනුගමනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගරිල්ලා ක්‍රමවේදය යොදා ගන්නත් පුළුවන්. මේ යෝගියා ශක්තිමත් සටන්කරුවෙක් නම් වැඩේ හරියයි. දුර්වලනම් තාවකාලිකව පසුබහින්න පුළුවන්. හැබැයි යුද්ධභූමිය දාලා පැනලා දුවන්නේ නෑ. පසුබහින්නෙ ක්රණමානුකූලව ආපහු සටන් කරලා දිනන්න ක්‍රමවේදයක් හදා ගන්නකම් විතරයි.

කොහොමවුනත් මෙතනදි මතක තියාගන්න ඕනා දෙයක් තියෙනවා. මේ භාවනා පරිසරය එපා වෙන එක හැම තිස්සෙම මාරයාගේ බලපෑම නිසාම වෙන්නක් නොවේ. ඒ මොනවත් නැතිව අතෘප්තිකාරක හැඟීම් භාවනා කරද්දි මනසෙ ඇති වෙන්න පුළුවන්. භාවනාව කරන්නත් ජීවිතයේ සමහර අවශ්‍යතා සම්පූර්ණ වෙන්නත් ඕනා. භාවනානුයෝගියාට ඊට ගැලපෙන වාසස්ථානයක් තියෙන්න ඕනා. ඒ වගේම ප්‍රමාණවත් ආහාර වේලකුත් අවශ්‍යයි. තව තව අවශ්‍යතාත් සපිරෙන්න ඕනා. මේ අවශ්‍යතා සැපිරුනාම භාවනා කෘත්‍ය අමාරුවක් නැතිව කරගෙන යන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති ගැලපෙන පරිසරයක් තිබීම තමයි පංචේන්ද්‍රියන් වර්ධනය වෙන හේතු නමයෙන් හතර වෙනි එක. ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරනවා අපි. කොහොමහරි තමන් ඉන්න පරිසරය භාවනා කිරීමට සුදුසු වන්නේ නැත්නම්, ඒකට සුදුසු පරිසරයක් බවට පත් කරගන්න උත්සහ කරන්න. නැත්නම් භාවනාවට බාධා වෙන එක අනිවාර්යයි. එතකොටත් දිනන්නෙ මාරයාම තමයි. මතක තියාගන්න මාරයාගේ දෙවන හමුදාවට යටත් වෙන්නෙ නැතිව ඉන්න.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]3.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ක්ෂුත්පිපාසා[/FONT]


[FONT=&quot]ආහාරත් ප්‍රශ්ණයක්ද? ක්ලේශකාම සහ අරතියෙන් වෙන පහර දීමට ප්‍රතිඋත්තර දුන්නට පස්සෙ අපිට මාරයාගේ ‍තුන්වන හමුදාව ඒ කියන්නේ මේ ගින්න හා පිපාසයට මුහුණ දෙන්නත් අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. අපි දන්නවා අතීතයේදී වගේම වර්තමානයේදීත් බෞද්ධ භික්ෂූන්, භික්ෂුනියන් යැපුනෙ උපාසක උපාසිකාවන්ගෙන ලැබෙන දානයෙන් කියලා. සමහර භික්ෂූන් පිණ්ඩපාතයෙන් දානය සපයගන්න අතරෙදි සමහර භික්ෂූන් වහන්සේලා ආරාමගතව යම් යම් ගම් ආශ්‍රිතව වැඩ වාසය කරමින් ඒ ගම්වැසි උපාසක දානයෙන් යැපෙනවා. කොහොමවුනත් දවසක හොඳ දාන වේලක් ලැබුනත් තවත් දවසකදි දානයක් නොලැබී යන්න වුනත් හැකියාව ඇති බව අපි අමතක කරන්න හොඳ නෑ. ඇත්තටම අදටත් ලංකාවෙ පන්සල් තියෙනවා සමහර අවස්ථාවලදී දාන වේල සපයාගන්නවත් හැකියාව නැති. ඒ පන්සල්වල වැඩ ඉන්න හාමුදුරුවො ගැන අපි ආඩම්බර වෙන්න ඕනා එහෙම වෙලත් සාසනේට ආශාවෙන් දිගින් දිගටම සසුනෙ කටයුතු කරගෙන ඉන්න නිසා. ගිහි භාවනායෝගීන්ට වුනත් මේ තත්වය මෙහෙමම තමයි. අපි භාවනා මධ්‍යස්ථාන‍යකට භාවනා කරන්න භාවනා වැඩමුළුවකට සම්බන්ධ වුනාම අපි කැමති ගෙදර කෑම වගේ කෑම අපිට ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. අපිට අවශ්‍ය තරමට ලුණු,මිරිස් නැති වෙන්න පුළුවන්. මේ නිසා වෙන බලපෑම තමයි අපිට සමාධිය ඇති කරගන්න අපහසු වෙන එක. සමාධිය ඇති කරගන්න අපහසු වුනාම ධර්මය දකින්නත් අපහසු වෙනවා.
[/FONT]

[FONT=&quot]සමහර වෙලාවට අපි බරගානක් වියදම් කරලා යනවා කොහේ හරි රෙස්ටුරන්ට් එකකට හොඳ කෑම වේලක් කාලා එන්න කියලා. නමුත් මෙතනදි වුනත් අපි අකමැතිවෙන විදියෙ කෑම වේලක් අපිට ලැබෙන්න පුළුවන්. ඇත්තටම මනුෂ්‍යයාට තමන්ට ඕනා විදියට හැමදේම ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. ඉතින් මේ අය කෑම වේලට විතරක් නෙමෙයි, ඇඳුම් පැළඳුම්වලට විනෝද කටයුතු වලට පවුලේ කටයුතු වලට වගේ තමන් ආශාකරන කැමති දේවලට ගින්නෙන් පිපාසයෙන් තමයි ඉන්නෙ. මේ ආකාරයේ පිපාසය හා ගින්න සෑම ආකාරයකම අවශ්‍යතා වලට අදාලයි. [/FONT][FONT=&quot]
[/FONT]

[FONT=&quot]නමුත් ඔයාලා ලද දෙයින් සතුටු වෙනවානම්, පහසුවෙන් පෝෂණය වෙන්න පුළුවන් නම් ඔන්න මාරයාගේ තෙවන සේනාවෙන් ලොකු ප්‍රශ්නයක් ඔයාලාට ඇති වෙන්නෙ නෑ. කෙනෙක්ට බෑ හැමතිස්සෙම තමන් බලාපොරොත්තුවෙන දේවල්ම කරන්න. නමුත් කරන්න පුළුවන්, ලබන්න පුළුවන් දේ වෙනුවෙන් කටයුතු කලාට වරදක් වෙන්නේ නෑ. ඔයාලා ඔයාලගේ සමාධි ශක්තිය භාවනාව වෙනුවෙන් යොමු කරලා කටයුතු කරන්න සමත් වෙනවානම් ධර්මයේ නියම රසය විඳින්න සමර්ත වෙනවා. මේ ලෝකෙ තියෙන මහා රසය තමයිනේ ධර්ම රසය. ඒ රසයෙන් නිමෙන්නෙ නැති බඩගින්නක්, පිපාසයක් නෑ. මේ තුලින් පැහැදිලිවම සංතෘප්තියට පත්වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදි මාරයාගේ තෙවන හමුදාව නිකම් සෙල්ලම් හමුදාවක් වගේ පෙනෙයි ඔයාලාට. [/FONT][FONT=&quot]
[/FONT]

[FONT=&quot]ගින්නටයි පිපාසයටයි වෙන විදියකට මුහුණ දෙන්න අමාරුයි. ඒ හැඟීම් කිසිකෙනෙක් කැමැත්තෙන් පිළිගන්න කැමති නෑ ඒ ඒ තුලින් සැපයක් ඇති නොවන නිසා. බඩගින්නයි පිපාසයයි ඇති වෙද්දි කොහොමද සැපයක් වෙන්නේ? සමාධියක් නැති මනසේ මේ හැඟීම් ඇති වෙද්දි ඊට අනුරූප සිතුවිලි ඇති වෙනවා. එතකොට ඔයාලා තීරණයකට එනවා ගින්න හරි පිපාසය හරි නිවාගන්න තමන් කැමති දේ කරන්න. ඔයාලගේ තණ්හාව සන්තර්පනය කරගන්න ශරීරයත් මැදිහත් වෙනවා. ඉතින් මාරයාගේ තුන්වැනි සේනාවට ඔයාලා යටත් වෙනවා. [/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]4.[/FONT][FONT=&quot]තෘෂ්ණාව[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මාරයාගේ හතරවැනි සේනාව තමයි තෘෂ්ණාව. අපේ කෑම පිඟානෙ අපිට ඇති තරම් කෑම නැත්නම් අපි යන්නෙ ආයිත් තව කෑම ටිකක් බෙදා ගන්න. ඉතින් ඒ ප්‍රමාණය නැති වුනොත් පොඩි කලකිරීමක් ඇති වෙනවා. පිණ්ඩපාතයේ වඩින සාමාන්‍ය හාමුදුරුනමක් වුනත් මෙහෙමයි. පාත්තරයට තමන්ගේ දානයට සුදුසු ආහාර නොලැබුනොත් තව පිණ්ඩපාත වටයක් යන්න හිතනවා තමන්ට ප්‍රමාණවත් දානය ලැබෙනකම්. අපිට ප්‍රමාණවත් විදියකට අපේ කෑම පිඟානෙ සැර නැත්නම් අපි දුවනවානේ අමු මිරිස් කරල් හොයාන. [/FONT]

[FONT=&quot]මුලින්ම තණ්හාව එනවා. ඉන් පස‍්සෙ සැලසුම් කරනවා. ඉන් පස්සේ ඒ සැලසුමට අනුව තණ්හාව සපුරගන්න කටයුතු කරනවා. කය හා මනස ශුණ්‍යතාවයට පත් කරන්න මේ ක්‍රියාවලිය හේතුපාදක වෙන්න පුළුවන්. [/FONT]
 
Last edited:

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

5. ථීන මිද්ධ

[FONT=&quot]මීළඟට මුහුණ දෙන්න වෙන මාර හමුදාවෙ නම තමයි ථීන මිද්ද. මේ ගැන කථා කරද්දී මට හිතෙන විදියට අපේ ලාංකික බෞද්ධයොන්ට සෑහෙන්න පහර දෙන හමුදාව තමයි මේ. සිල් ගන්න ගියත් බණක් අහන්න ගියත් අඩු තරමේ ඒ කාර්යයවත් කරගන්න හුඟ දෙනෙක්ට මේ සේනාව නිසා ඉඩ ලැ‍බෙන්නේ නෑ. [/FONT]

[FONT=&quot]ථීන - මිද්ද පංචනීවරණයන්ගෙන් එකක් විදියටයි හැඳින්වෙන්නේ. අපිට විශුද්ධිය ලැබීමට බාධා කරන මානසික දේවල් සරලව ගත්තම නීවරණ ධර්මයන් විදියට හඳුන්වන්න පුළුවන්. නින්දයන ගතිය, ඇ‍ඟේ බර දැනිලා මහන්සිය දැනීම වගේ තමයි මේ ථීන මිද්ද නීවරණයන් ඇති වුනාම. මනස එක අරමුණකට යොමු කරන්න බැරි වෙනවා වගේම අපේ ඉරියව් පාලනය කරගන්නත් අපිට බැරි වෙනවා. මේ නිසා. ඉතින් මේ මාර හමුදාව බොහොම භයානකයි.
[/FONT]

[FONT=&quot]ථීන කියන්නේ සරලව ගත්තම දුර්වල මනස කියන එකයි. ඒකට භාවනා අරමුණක පිහිටන්න බැරි වෙනවා. ථීන විසින් මනස දුර්වල කරද්දී ස්වයංක්‍රීයවම අපේ ශරීරයත් දුර්වල කෙරෙනවා. ඒ නිසා තමයි ආරෝග්‍යා පරමා ලාභා කියන්නේ. ශරීරය නිරෝගී වෙද්දී මනසත් නිරෝගී වෙනවා. වැනෙන මනසකට ශරීරය සෘජුව තියාගන්න බෑ. ඉතින් ඔයාලා භාවනා කරන්න වාඩි වුනාම සෘජු කයක් තියාගන්න මේ නිසා බැරි වෙනවා. සක්මන් භාවනාවෙදි කකුල් උස්සලා තියන්න වෙන්නේ නෑ. ථින තියෙනවා කියන්නේ ආතාප එනම් කෙලෙස් තවන වීර්යය නෑ කියන එකයි. ඉතින් මොකද වෙන්නේ මනසේ තියෙන තියුණු ක්‍රියාශීලීගතිය නැති වෙලා යනවා.
[/FONT]

[FONT=&quot]අපි හුඟක් අයට වෙන දෙයක් තමයි අපි භාවනාව පටන් ගන්නවා හරිම ආශාවෙන්, හුඟක් බලාපො‍රොත්තු ඇතිව. ඒ වෙලාවෙදි හොඳ ආරම්භක වීර්යයක් අපි ලඟ තියෙනවා. නමුත් මේ ථීනය මොකද කරන්නේ? ඒ වීර්යය නැති කරලා දානවා. ඉතින් ථින නැති කරන්න අපිට වෙනම වීර්යයක් යොදන්න වෙනවා ඇති වුනාට පස්සේ. අඩුම තරමේ මනසේ තියෙන කුසල් වැඩීමේ ශක්තිය කොටසක් බවත් මේ ථීනයට බ්ලොක් කරන්න පුළුවන්. ඒකාග්‍රතාවය නැති වෙනවා. මේ තත්වය සමස්ථයක් ‍විදියට ගත්තම ථීන-මිද්ද කියලා හඳුන්වන්න පුළුවන්. මේ දෙකම එකට බැඳිලා තියෙන්නේ.
[/FONT]

[FONT=&quot]අපි මේ දෙකේ තියෙන වෙනස වෙන් වෙන් කරලා දැනගන්න උත්සහ කරන එක ඒ තරම්ම අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් මනසේ තියෙන සාමාන්‍ය තත්වය පිළිබඳව දැනීමක් ඇති කර ගන්න එක වැදගත්. හරියට පුංචි හිර කූඩුවක හිර කලාම එහෙ මෙහෙ දුව පනින්න බැරි වෙනවා වගේ ථීනයෙන් පුළුවන් මනසේ තියෙන කුසල් සිත් පහල වෙන එක නිදහසේ ක්‍රියාත්මක වීම නතර කරලා දාලා නියම ක්‍රියාකාරීත්වය අපහසු කරවන්න. මේ බාධාකාරී තත්වය නිසා තමයි ථීන-මිද්ද නීවරණයක් විදියට හඳුන්වන්නේ. ඉතින් මේ විදියට ගත්තම මාරයාගේ මේ පස්වෙනි හමුදාවට පුළුවන් කෙනෙක්ගේ භාවනා ගමන එක තැන පල් කොරලා දාන්න.
[/FONT]

[FONT=&quot]ටිකක් වෙලා භාවනා කරද්දී ඇස් පිල්ලම් පියවෙන්න අරන් ඔන්න අපිව පැත්තකට බර වෙනවා. නිදි කිරා වැටෙන්න ගන්නවා. කොහොමද අපි මේ තත්වයෙන් පැන ගන්නේ? ඒකට විසඳුම් කීපයක් බුදුහාමුදුරුවො අපිට ලබා දීලා තියෙනවා.
[/FONT]

[FONT=&quot]වරෙක මහමුගලන් හාමුදුරුවො භාවනා කරමින් ඉන්දැද්දී ථීන මිද්ද ඇති වීමෙන් නිදි කිරා වැටෙන්න ගත්තා. කොයි තරම් උත්සහ කලත් ඒක ජය ගන්න හම්බවුනේ නෑ. බුදුහාමුදුරුවො දිවැසින් මේ බව දැකලා මුගලන් හාමුදුරුවන්ගෙන් අහන්න යෙදුනා තමුන් නිදිකිරා ‍ වැටෙනවාද කියලා. ඒ වෙලාවෙදි මුගලන් හාමුදුරුවො අද අපේ උපාසක උපාසිකාවො බොරු කියනවා වගේ නොකර ඇත්තම කිව්වා එහෙමයි ස්වාමිණී කියලා. ඒ වෙලාවෙදි බුදුහාමුදුරුවො මුගලන් හාමුදුරුවන්ට මේ කිරා වැටීමෙන් ගැලවෙන්න තියෙන විසඳුම් අටක් දේශනා කලා. ඒ ක්‍රමවේදයන් අදටත් වලංගුයි. අපි හැමෝටම යොදා ගන්න පුළුවන් මාරයාගේ පස් වෙන හමුදාව එක්ක සටන් කරන්න. අපි ඒ ගැන ටිකක් බලමු.[/FONT]

[FONT=&quot]නිදිමත දැනෙන්න ගත්තම අපි ඒ ගැන නොහිත ඉන්න එක තමයි පළවෙනි ක්‍රමය. ඒ තුලින් නිදිමත නැති වෙන්න පුළුවන්. අපි ඒ ගැන හිතන්න ගත්තම ඒ තුලින් නිදිමත ඇති වෙන්න පුළුවන්. එහෙම වෙලත් නිදිමත නැති නොවෙනවානම් අපිට පුළුවන් දෙවැනි ක්‍රමය පාවිච්චි කරන්න.
[/FONT]

[FONT=&quot]දෙවැනි ක්‍රමය තමයි, අපි ධර්මයට අවධානය යොමු කරලා නැවත නැවත ඒ දේවල් ගැන හිතන එක. මේ ක්‍රමයෙනුත් නිදිමත නැති වෙන්න පුළුවන්. එහෙමත් බැරි වුනොත් තුන්වෙනි ක්‍රමයට යන්න පුළුවන්.
[/FONT]

[FONT=&quot]ඒ තමයි අපි ඉගෙන ගත්ත ධර්මය සජ්ජායනා කරන එක. හැබැයි මෙතනදි මතක තියා ගන්න ඕනා දෙයක් තියෙනවා අපිට විතරක් ඇහෙන්න කියා ගත්තම ඇති. නැත්නම් අනිත් අයට වදයක් වෙනවානම් අපේ සජ්ජායනාව ඒක අපේ ගමනට හොඳ නෑ. මේ ක්‍රමයෙනුත් වැඩේ හරියන්නේ නැත්නම් අපිට පුළුවන් ‍හතර වැනි ක්‍රමයට යන්න.
[/FONT]

[FONT=&quot]ඒ තමයි, අපේ කන් පෙති, ඇඟ පොඩ්ඩක් අත් වලින් මිරිකගන්න එක. මෙතනදිත් නිදිමත නැති නොවේ නම් ඔන්න පස් වෙනි ක්‍රමය.[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]ඒ කියන්නේ, අපි වාඩි වෙලා ඉන්න තැනින් නැගිටලා අපේ ඇස් වතුර ටිකකින් තෙමා ගෙන වටපිට බලලා ආයිත් භාවනාව පටන් ගන්න පුළුවන්. මේ ක්‍රමයෙනුත් නිදිමත නැති නොවෙනවා නම් හය වැන්නට යන්න පුළුවන්. මොකක්ද ඒ?
[/FONT]

[FONT=&quot]ඒ තමයි, අලෝක සංඥාවට අවධානය යොමු කරන එක. මේ විදියට මනස තියුණු කරගත්තමත් නිදිමත නැති කරගන්න පුළුවන්.
[/FONT]

[FONT=&quot]එහෙමත් බැරිනම් ඉතින් හත් වැනි ක්‍රමය තමයි ටිකක් සක්මන ගැන අවධානයෙන් යුතුව සක්මනේ යෙදීම. මේ තුලිනුත් නිදිමත නැතිවෙන්න පුළුවන්.
[/FONT]

[FONT=&quot]මේ හතම කරලත් බැරිනම් අවසන් විසඳුම තමයි සිහියෙන් යුතුව සිංහශ්‍යෙයාවෙන් දකුණු ඇළයට හැරිලා කකුල උඩ කකුල තියාන මනස අවධිවීම ගැන පිහිටවාන වැතිරිලා ඉක්මණින් මම නිදාගෙන සැප විඳලා හරියන්නේ නෑ කියලා නැගිටින එක. [/FONT][FONT=&quot](අංගුත්තර නිකාය ඇසුරින්)[/FONT]

මේ ක්‍ර
මවේදයන් අපිටත් පාවිච්චි කරන්න පු[FONT=&quot]ළු[/FONT]වන් [FONT=&quot]මාරයගේ පස් වැනි හමුදාව එක්ක කරන සටනෙදි ඒ හමුදාව පරද්දන්න. [/FONT]


3798DSC_2116-2008.jpg

 
Last edited:

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]7. බිය[/FONT]

[FONT=&quot]මාරයාගේ හය වෙන හමුදාව තමයි බිය සහ බියගුළුකම. විශේෂයෙන්ම ථීන මිද්ධයෙන් බැට කාපු අයට මේ සේනාවගෙන් වෙන හානියට මුහුණ දෙන්න අමාරුයි. ඒ වීර්යය අඩු නිසා ඒ වෙලාවෙදි. අධිෂ්ඨානශීලී වීර්යයට පුළුවන් බය පන්නලා දාන්න. වීර්යය, සතිය සහ සමාධිය නිසා ධර්මය ගැන ඇතිවෙන පැහැදිලි දැනීම නැත්නම් ප්‍රත්‍යක්ෂ ඥානය මීට උදව් වෙනවා. ධර්මය තමයි බෞද්ධයෙකුට තියෙන උපරිම ආරක්ෂාව. ඉතින් බියට තියෙන හොඳම බෙහෙත තමයි විශ්වාසයෙන් යුතුව ධර්මය ප්‍රායෝගිකව පුහුණු කිරීම. ශීලය පුහුණු කරනවා කියන්නේ කෙනෙක්ගේ අනාගත ක්‍රියාවන් ප්‍රසන්න වගේම හොඳ ඒවා බවට පත් කරනවා කියන එකයි. කෙනෙක් සමාධිය පුහුණු කරනවා කියන්නේ එයා මානසික පීඩනයට මුහුණ දෙන එක අඩුයි කියන එකයි. ඒ වගේම නිර්වාණය කරා මෙහෙය වූ ප්‍රඥාව පුහුණු කරනවා කියන්නේ එයා සදහටම දුක, බිය නැති කරනවා කියන එකයි. ඉතින් ධර්මයේ හැසිරෙනවා කියන්නෙ ඔයා ඔයා‍ ගැන හිතනවා කියන එකයි, ඒ වගේම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නවා කියන එකයි. ඔබ ඔබේම හොඳම යාළුවා වෙනවා එතනදි.
[/FONT]

[FONT=&quot]සාමාන්‍යයෙන් ගත්තම බියයි කේන්තියයි එකට ලන් වෙලා තියෙන්නේ. ඔයාලා ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැතිව වෙලාව එනකම් බලාන ඉන්නේ පැනලා දුවන්න. නමුත් නිශ්චල සහ නිවුණ මනසක් ඇත් නම් බිය ඇති නොවී සෘජුවම ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් අපිට. භාවනා කරද්දි ධර්මය අල්ල ගන්න බැරි වුන අය නිතරම ඉන්නෙ බයෙන්. ඇයි? එයාලට බයයි හරියට භාවනා කරන කෙනෙක් එක්ක බැලුවම තමන් ලබා ගත්තෙ මොනවද කියලා අහයි කියලා. ඒ වගේම නිතරම එයාලා ඉන්නෙ ලැජ්ජාවෙන්. බලන්න මේ බිය හින්දා එක දවසක් සිල් ගන්න යන කෙනා ඊළග දවසෙ නෑ. එතකොට පාඩුව කාටද? තමන්ටමයි. ඉතින් හිතා ගත්තහැකිනෙ මාරයගේ මේ සේනාවේ හැටි කොහොමද කියලා. නමුත් මේ අය වීර්යයෙන් කටයුතු කරනවා නම් තමන්ගේ අවධානය වැඩි කරගෙන ධර්මය දැකලා ධර්මයේ ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. [/FONT]

[FONT=&quot]මතක තියා ගන්න. තමන්ගේ භාවනා පුහුණුවෙදි මුහුණ දෙන්න වෙන දුෂ්කරතා ගැන නිතරම ගුරුවරයාව දැනුවත් කරන්න. මොකද කියනවානම් අපිට වැරදුනාම තමයි බිය ඇති වෙන්නේ. ඉතින් වැරදෙන තැන්වලින් ‍බේරෙන්න හොඳ විශ්වාසවන්ත ගුරුවරයා අපිට උදව් කරනවා. [/FONT]