ගැමි රසකතා
ඔර්ලෝසුවෙන් හොරා අල්ලා ගැනීම
මෙය 1915 වර්ෂයේ පැවැති සිංහල - මුස්ලිම් කෝලහල සමයේ (මාර්ෂල් ලෝ) සිදුවූ සිද්ධියකි. බිංගිරිය ප්‍රදේශයේ කරඹේ විසූ හින්නි අප්පුහාමි ගම් කිහිපයක් භාරව සිටි ආරච්චිරාල කෙනෙකි. එකල මුළු පළාතේ මහත් අණසක පතුරුවාලමින් තේජාන්විතව සිටි මොහු මුළු ප්‍රදේශයේ ම ජනනායකයා විය. මොහුට ප්‍රදේශයේ දාමරිකයන්, සොරුන් සමඟ පැවතියේ දැඩි මිත්‍රත්වයකි. දිනක් මධ්‍යම රාත්‍රියේ හින්නි අප්පුහාමි ආරච්චිරාල තවත් පිරිසක් සමඟ ගොස් බරම්පොල ප්‍රදේශයේ මුස්ලිම් කඩයක් කඩා එහි වූ හාල්, සීනි, පිටි, කරවල, උම්බලකඩ, රතුලූනු, පරිප්පු හා කඩල යනාදී නොයෙක් බඩු බාහිරාදිය ගෝනි පිටින් ම කරමතින් ඔසවාගෙන පලා ගියේය. හින්නි අප්පුහාමි ආරච්චිල කඩයේ බිත්තියේ ගසා තිබූ විශාල බිත්ති ඔර්ලෝසුව කර මත තබාගෙන රැගෙන ගියේ සිය නිවෙසටය.
හාල්, පිටි, සීනි, පරිප්පු යනාදී දැයින් කොටස, කොටස ආරච්චිරාලට පිරිනැමූ සොරු ඉතිරි දෑ රැගෙන තම නිවෙස් කරා ගියහ. රැගෙන ආ ද්‍රව්‍ය නොයෙක් තැන්වල රසහිගතව හැංගුවේ මේ සිද්ධිය කනවැකුණු පොලීසිය හදිසියේ පනීවියැයි යන සැකයෙනි. ආරච්චිරාල ද තමා රැගෙන ආ බිත්ති ඔර්ලෝසුව තව කෙනෙකුගේ සහායෙන් නිවස ඉදිරිපිට මිදුලෙහි වූ විශාල අඹ ගසක අත්තක එල්ලුවේ පොලීසියෙන් බේරීමටය.
දින දෙකකට පසු හදිසියේ ආරච්චිරාලගේ ගේ ඉදිරිපිට පොලිස් ජීප් රියක් නතර කෙරිණ. ජීප් රියෙන් බට පොලිස් නිලධාරීහු මෙම හොරකම පිළිබඳව එකිනෙක ආරච්චිලාගෙන් විමසූ අතර තමා ගෙන ආ බිත්ති ඔර්ලොසුව කොහිදැයි ප්‍රශ්න කළහ. මින් තිගැස්සුණු ආරච්චිරාල ගත්කටටම “මම ගෙනා ඔර්ලෝසුවක් නැතැයි” පවසත් ම අඹ ගසේ එල්ලා තිබූ ඔර්ලෝසුවේ සවස පහේ කනිසම වැදුණේ ටාං, ටාං, ටාං, ටාං හඬිනි.
“ඈ ආරච්චිල මේ උඹ ගෙනා ඔර්ලෝසුවම අපට ඔත්තුව දුන්නා නොවේදැයි” විමසුවේ ඔර්ලෝසුව බිමට බා එයත් සමඟ ආරච්චිරාලත් පොලිසියට රැගෙන යමිනි.
අපූරු ගනුදෙනුකරුවෝ
එක්තරා ගමක පිලිප්පු කංකානම රටබීම රේන්ද පොළක් පවත්වාගෙන ගියේය. මත්පැන් බීමට ඇබ්බැහි වූවෝ දිනපතා සවස්යාමයේ මෙම රේන්ද පොළට එකතු වූහ.
කංකානම ගේ ගෙදර සුරතලයට හදාවඩාගත් ඇල්ශේෂන් බලුපැටියා මේ කාලයේ හදිසියේ මිය ගියේ කිසිවෙකු නොසිතූ පරිද්දෙනි. මේ පුවත කන වැකුණු රේන්ද රාලගේ ගනුදෙනු කරුවෝ ඔහුගේ නිවසට වැල නොකැඩී එක් රොක්වූහ. ඒ රේන්ද රාල අතින් නොමිලයේ ලැබෙන රට බීමෙන් සප්පායම් වීම සඳහාය. ගනුදෙනුකරුවනට රට බීමෙන් සංග්‍රහ කළ රේන්දරාල බල්ලාගේ අවසන් කටයුතු මහ ඉහළින් සිදුකිරීමට මේ පිරිසට බාර දුන්නේය.
පිරිසක් බැනර් එල්ලූහ. මඟ දෙපස සැරසිලි කළහ. තවත් පිරිසක් වළ කැපූහ. තවත් පිරිසක් ගොක් රැහැන් එල්ලූහ. මධුවිතෙන් සප්පායම් වූ මෙම පිරිස බල්ලාගේ භූමදාන කටයුතු මහ ඉහළින් සිදුකළහ.
බල්ලාගේ අවසන් කටයුතු ද හත්දවසේ දානමය පිංකම ද මෙසේ මහඉහළින් සිදුවිය. වසර කිහිපයකට පසු හදිසියේ රේන්ද රාල ද මිය ගියේය. නමුත් ඔහු ජීවත්ව සිටියදී එදා බල්ලාගේ අවමඟුලට සහභාගිවූ කිසිවෙකු පිලිප්පුකංකානමගේ අවමඟුලට නම් නොආහ. කිට්ටු ඥාතීන් කිහිප දෙනාගේ සහභාගිත්වයෙන් අවමඟුල සිදුකෙරිණ.
රේන්ද රාලගේ බල්ලට තිබුණු සැලකිලි රේන්ද රාලට නොලැබුණු බැව් ප්‍රදේශවාසීහු අදටත් පවසති.
උඩගිය කරත්තයෙන් බිමට වැටුණු මිනිස්සු
වයඹ පළාතේ බලදොර කෝරලයේ කොබෙයිගනේ සතිපොළ ප්‍රදේශයේ ඉතා සරු වෙළඳාම් පොළක් විය. බොහෝ ඈත පළාත්වල සිට මෙම වෙළඳාම්පොළ කරා බොහෝ ජනයා පැමිණෙති. හාල්, පොල්, කරවල, මිරිස්, බුලත් හා වෙනත් නොයෙක් වර්ගයේ එළවළු ද මෙහි අලෙවි කරන අතර සමහරු ඒවා තොග පිටින් ද අලෙවි කරති. කොටින් ම කියතහොත් මෙම වෙළඳාම් පොළේ ඇති එළවළු හා වෙනත් ද්‍රව්‍ය මෙම ප්‍රදේශයේ වෙනත් වෙළඳාම්පොළවල නැති තරම්ය.
ලොරි රථ, වෑන්රථ, ට්‍රැක්ටර් හා කරත්තවලින් මෙම වෙළඳාම්පොළට බඩු බාහිරාදිය රැගෙන එන බොහෝජනයා අතමිට සරුවූ පසු තම නිවෙස් කරා ආපසු යන්නේ ඔවුනට එදිනෙදා අවශ්‍ය බඩුබාහිරාදිය ද මිලදී ගැනීමෙන් පසුවය.
දිනක් මෙම වෙළඳාම්පොළට පරක්කු වී බුලත් තට්ටු කිහිපයක් රැගෙන ආ ගැමියෙක් තම කරත්තය වෙළඳාම් පොළ අසල නවත්වා ගොනා ලිහා අසල වූ ගසක බැන්දේ ඉක්මනින් බුලත් විකුණා ගෙදරට අවශ්‍ය බඩුබාහිරාදිය එමඟින් මිලදී ගැනීමටය. බුලත් විකුණා නොයෙකුත් බඩුබාහිරාදිය මිලදී ගත් ගැමියා නැවත තම කරත්තය අසලට ආවේ තම නිවස බලා පිටත්වීමේ අදහසිනි. මේ අවස්ථාවේ හිස්ව යන කරත්තයේ නැග තම නිවෙස් බලා යෑමට කීප දෙනෙක් කරත්තය අසලට පැමිණ සිටියහ. ඉක්මනින් ගෙදර යෑමට අවශ්‍යව තිබූ බැවින් කරත්ත හිමිකරු වහා ගොනා රැගෙනවිත් කරත්තයේ බෝංලීය යටින් රිංගවා බෝංලීය තදින් අල්ලාගෙන සිටියේ බිම සිටි පිරිස කරත්තයට නගිනතුරුය. පිරිස කරත්තයට නැංග පසු ජඃ ජඃ ජඃ කියා කරත්තය දක්කත් ම කරත්තයේ පස්ස බරවී උඩගියේ ගොනා ගේ තෝන් ලණුව ගැමියා අත තිබුණ ද කර පටියෙන් ගොනාව කරත්තයේ බැඳ නොතිබූ හෙයිනි.
කරත්තය උඩයත්ම බඩුබාහිරාදිය සමඟින් එහි සිටි ගැහැනු පිරිමි සියල්ලන් ම බිමට රූටා වැටුණේ අසල සිටි සැමගේ සිනා හඬ මැද්දේය.
විශ්‍රාමලත් ආචාර්ය
ඩී.එන්. දිසානායක
කොස්වත්ත - බිංගිරිය