ගී පද රචක කැමිලස් පෙරේරාට පිහිට වෙමු.
* හිමි නැති පෙමකට ඉකිබිඳ හැඩුමට - (මාලනී බුලත්සිංහල)
* දේව මන්දිරේ වැතිරී බැතියෙන් - (රෝහණ සිරිවර්ධන)
* උන්මාද වූ ප්‍රේමාදරේ - (කමල් අද්දරආරච්චි + දමයන්ති ජයසූරිය)
* විකසිත වත කමලේ - (සනත් නන්දසිරි)
* හදිස්සියේ හනි හනිකට පිය නගනා - (ටී. ඇම්. ජයරත්න)
* හද විලේ ඔබ පිපුණා - (ක්ලැරන්ස් විජේවර්ධන)
* ආදර ප්‍රිය ලඳුනේ - (පිලික්ස් ඇන්ටන්)
* වාසනා වේවා - (චිත්‍රපටය - ‘‘මංගල තෑග්ග“)
එවැනි ගී සංකල්පනා 1500 ක පමණ හිමිකරු මොහු ය. ගී පද රචකයෙකු, මාධ්‍යවේදියෙකු හා නාට්‍ය
පිටපත් රචකයෙකු ලෙස ද අපි දැන හඳුනා ගෙන සිටි මොහු මේ වනවිට අංශභාග රෝගයෙන් ගිලන්ව
වත්තල සිය නිවසේ හුදකලාව සිටියි. මොහුගේ දුක සැප බලා කියා ගැනීමේ වගකීම දරන්නේ මොහුගේ
පුතා වන ලසිත මධුරංග පෙරේරා ය. මොහු නමින් කැමිලස් පෙරේරා ය. ගී පද රචක කැමිලස් පෙරේරා ය.
වසර හයකට පමණ ඉහත ගිලන් වූ කැමිලස් පසුව සුළු වශයෙන් සුවය ලබා ඇතත් වැඩිදුර
ඇවිදීමට මෙන්ම වැඩි වශයෙන් කතා කිරීමට ද නොහැකි ය. මොහුගේ මතක ශක්තිය ද හීන වී ඇති
සේ ය.
කැමිලස් හා මා දැන හඳුනා ගත්තේ ෂෙල්ටන් මුතුනමගේ ගායන ශිල්පියා ගයන ‘‘මේ දෙව්
මැදුරෙම පුදසුන අබියස“ ගී සංකල්පනාව මා ලියූ 80 දශකයේ මුල් භාගයේ දී ය. කැමිලස් ද රෝහණ
සිරිවර්ධන ගායන ශිල්පියා ගයන ‘‘දේව මන්දීරේ“ ගී පද රචනය ලියුවේ එකලම ය. (එම ගීතය නිර්මාණය වූ අයුරු පසුබිම්
කතාවක් ද ඇති නමුත් මෙහිලා එය අකුරු නොරකමි.) අප දෙදෙනාගේම මෙම සමාන තේමාවන්
ඇතුළත් වූ ගී සංකල්පනා එවකට එක සේ ජනප්‍රිය වීම අප දැන හඳුනා ගැනීමේ දී විශේෂයක් විය.
කෙසේ හෝ කැමිලස් මට වඩා භාග්‍ය සම්පන්නයෙකු වූ අතර ජනප්‍රිය ගී සංකල්පනා ගණනාවක
හිමිකරු වෙකු වෙමින් ඒ හා සමගාමීව 'සරසි' - 'සරසවිය ' - 'ලක්බිම' - 'ලංකාදීප' - 'මව්බිම' ඇතුළු පුවත්පත් හි
මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කරමින් කලා ක්ෂේත්රයට මහඟු මෙහෙවරක් ඉටු කළේ ය. (එහෙත් අද
අසරණව හුදකලාව සිටින මොහු පිළිබඳව සොයා බලා අතහිත දෙන කිසිවෙකු සිටීදැයි යන වග පැනයක්ම පමණකි. එපමණක් ද
නොව කැමිලස් රෝගීව සිටින මේ අවස්ථාවේ දී මොහුගේ බුද්ධිමය දේපල කොල්ල කෑමක් ද සිදු වී ඇති
බව පැවසේ. ඒවා පිළිබඳව නොව, අපි දැන් කැමිලස්ගේ දිවි සැරියේ වත්මන් සැබෑ තොරතුරු බිඳකට
අවධානය දෙමු. මන්ද මෙය මොහුට අපි පිහිට විය යුතුම වන අවස්ථාවක් වන හෙයින් ය.)
මේ වනවිට අංශභාග රෝගයෙන් ඔත්පලව සිටියත් කැමිලස්ගේ රසබර ගී සංකල්පනා රසවිඳි රසික රසිකාවියන් කැමිලස් දැකීමට කැමැත්තෙන් සිටී
නම් ඉරිදා පමණක් පැමිණෙන මෙන් ලසිත පුතා ඉල්ලා සිටියි. මන්ද කැමිලස් දැන් පසුවන ගිලන්
තත්ත්වයෙන් පැමිණෙන කිසිවෙකු හා කතාබහ කිරීමට හෝ ඔවුන් පිළිගන්නට අපහසු වන නිසාත්,
ලසිත පුතා සතියේ දිනවල රැකියාවට යන නිසා එම දිනවල නිවසේ නොමැති නිසාත් ය එම ඉල්ලීම
කරන්නේ. තවදුරටත් ලසිත පුතා පවසන්නේ සිය පියාණන්ව (කැමිලස්ව) බැලීමට පැමිණෙන්නට
පෙර සිය 076 4048885 දුරකතනයට දැනුම් දී පැමිණෙන්නේ නම් එය අගය කර සළකන බැව් ය.
සත්‍යයකි, කැමිලස් පෙරේරා නමැති ගී පද රචක සහෘදයාණන් නාවා, කවා පොවා රැකබලා ගන්න
ලසිතට එය සහයෝගයක් ද වනු ඇත.
එපමණක් ද නොවේ, මේ වනවිට මේ වියපත් රෝගී කලාකරුවා සමඟ ලසිත පුතා වාසය කරන නිවස ද
අබලන් ය. සිය පියාට උයා පිහා, කවා පොවා වත්තල සිට මහරගම රැකියාව සඳහා උදෑසන නික්ම යන ලසිත
පුතා ආපසු සවස නිවසට පැමිණෙන තුරු නිවසේ හුදකලාව සිටින්නට අප සහෘදයා හට සිදු වි ඇති අතර පුතා
පැමිණ සෝදා පවිත්‍ර කරන තුරු (දැනට) හිඳින්නට ද මොහුට සිදු වි ඇත. ආර්ථික අපහසුකම් කොපමණ තිබුණත්
ලසිත පුතා සිය පියාගේ කටයුතු තමන්ට හැකි උපරිමයෙන් ඉටු කරනු පෙනේ. අපගේ සහෘද කලාකරුවාණන් වෙනුවෙන්
මේ දිරිය පුතා හට ඔබට හැකි අයුරින් මුදලින් ආධාර කළ හැකිනම් එය අපි අගය කරමු. අප සහෘදයාණන් වාසය කරන
අබලන් නිවස අලුත්වැඩියා කර ගැනීමටත්, මොහුට අවශ්‍ය ඖෂධ, ආහාරපාන, ඇඳ පැළඳුම් ලබා දීමටත් එවිට මේ
දිරිය පුතා හට ඔබගේ ආධාරය ප්‍රයෝජනවත් වනු නිසැක ය.
* ලසිත පුතාගේ ගිණුම් අංකය -
එම්. එල්. එම්. පෙරේරා
800 270 92 42
කොමර්ෂල් බැංකුව, මහරගම.
* දුරකතන අංකය - 076 404 888 5
* ලිපිනය - 84, කල්‍යාණි මාවත, වත්තල.
මේ පිළිබඳව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූශා ගෝකුල මහත්මියගේත්, ශුී ලංකා ගායක ගායිකා සංගමයේ හිටපු හා වත්මන් සභාපතිවරුන් වන මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි හා කීර්ති පැස්කුවල් මහතුන්ගේත් සහ අනිකුත් වගකිව යුතු සියලු පාර්ශවයන්ගේත් විශේෂ අවධානය යොමු වේ යැයි විශ්වාස කරමු.
‘‘ජීවතුන්ට දෙන එකම එක රෝස මල මළවුන්ට දෙන මල් වඩමකට වඩා අගේ ය“ යන වග යළිඳු අපි
මෙහිලා සිහිපත් කරමු.
- ජෝජ් රොබ්සන් ද සිල්වා
