චින්තනී මේකලා ගමගේ...

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    චින්තනී මේකලා ගමගේ...


    අපි හැමෝම මේ ලෝකය දකින්නේ එකම විදිහකටද..?
    නැහ...

    mekala-gamage-04.jpg

    අපේ ඇස් වලින් අපි ලෝකය දකිනේ එක එක විදිහට...
    ඒ ඇස් ඇති අපි...

    ඒත් ඇස් නැති අය, දෙනෙත් අන්ධ අය ලෝකය දකින්නේ අපි දකින ආකාරයටත් වඩා හුගාක් වෙනස් විදිහට... අපි එක එක විදියට ඇස් දෙකෙන් ලෝකය දකිද්දී,, ඇස් නොපෙනෙන අය වෙනස් විදියකට ලෝකය දකිනවා...
    ඒ ඇස් වලින් නොවේ... හදවතින්... ඇස් දෙක නැතත් ඒ අයට හොද හදවතක් තියනවා... ලස්සන හදවතක්... ලස්සන විදිහට ලෝකය දකින්න, ඔවුන්ට ඒ හදවතින් පුලුවන්...
    323000_272968596059365_119220094767550sdsd_870972_361384245_o.jpg

    අහන් ඉන්න,,, අහගෙන ඉන්න...
    මගෙ හදවත,,, මොනවද මුමුණනවා...


    ඇය හදවතින් ලෝකය දකින යුවතියක්... ඇගේ හදවතින් මුමුණන දේ,, මේ දවස් වල ඇය ගීයකින් ගයනවා...
    රුව නොවේ, ඇගේ හඩ, ඔබට මේ දිනවල හුගාක් හුරුපුරුදු බව නම් විශ්වාසයි...
    ඒ ගීය කියන්නේ මෙයාද..? සමහරවිට හිතට කුකුසක් ඇති වෙන්නත් පුලුවන්... විශ්වාස කරන්න... මේ ගීය ගයන්නේ මැයම තමයි... දෙනෙතින් නොව හදවතින් ලෝකය දකින ඇයමයි...
    චින්තනී මේකලා ගමගේ...

    මේකලා උපන්නේ හම්බන්තොට මිද්දෙණියේ තලාව කියන ගමේ... තාත්තා නැහැ... අම්මයි, අක්කලා තුන්දෙනෙකුයි, අයියයි... මේකලා පවුලේ බාලයා...
    මේකලා මෙලොවට බිහිවෙද්දීම ලෝකය දකින්න වරම් ලැබුනේ නැහැ... ඒත් මේකලා තංගල්ල පොළොන්මාරුව අන්ධ බිහිරි ව්දුහලෙන් උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තා.... පස්සේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ආවා... ඒ ඇවිත් බෞද්ධ සංස්කෘතිය සදහා විශේෂවේදී උපාධියක් ලබාගත්තා...

    mekala-gamage-03.jpg


    ඇස් පෙනෙන අපටත්, අද ඇය මහා ආදර්ශයක් ලබා දුන්නේ එහෙමයි... බෞද්ධ සංස්කෘතිය පිළිබද උපාධියක් ගත් කෙනෙක් ගායනයට යොමුවීම? ඔබට පැන නගින ගැටලුවක් වෙන්න පුලුවන්...

    "මම උසස් පෙළ දක්වා සංගීතය ඉගෙන ගත්තා... විශ්ව විද්‍යාලයට ආවෙත් සංගීතය හදාරන්න... ඒත් බටහිර සංගීතයට අදාළ ස්වර ප්‍රස්ථාර ගැන බ්‍රේල් ක්‍රමයට කියා දෙන්න ආචාර්යවරුන්ට අවබෝධයක් නැහැ කිව්වා... ඒ අයගේ අකමැත්ත මත මට ඉගෙන ගන්න බැහැනේ... ඒ නිසා බෞද්ධ සංස්කෘතිය උපාධියට තෝරා ගත්තා... ඒත් මම කැම්පස් එකෙන් පස්සේ ජයසිරි සේනාරත්න ගුරුතුමා යටතේ භාත්ඛණ්ඩේ සංගීත ඩිප්ලෝමා විශාරද පාඨමාලාව හදාරන්න පටන් ගත්තා... දැනටමත් ඒ විභාග දෙකත් අවසන්... ඒ බ්‍රේල් ක්‍රමයට..."

    මේකලාගේ හඩට ආදරේ කරන රසික රසිකාවියන් රැසක්ම දැන් බිහිවෙලා... ඇයට ඒ දවස්වල සරසවියෙත් රසික පිරිසක් හිටියා...

    "ඔව්... පාසලේදීත් එක එක තරගවලට මම ගී ගැයුවා... විශ්ව විද්‍යාලයේදි සංගීතය හැදෑරුවේ නැතත් "හිමිදිරිය", "නළමුදු සුවද" වගේ වැඩසටහන් වලට මම එකතු වුණා... සරසවියේ "ගී පැදුරටත්" සහභාගී වුණා... කැම්පස් එකේදී මම ඒ අංශයෙන් නමක් දිනා ගත්තා...
    ඒත් මගේ නම රටට ගියේ නැහැ...."

    මේකලාගේ හඩ රටම හදුනාගත්තේ "අහන් ඉන්න අහගෙන ඉන්න" ගීයෙන්... ඒ වගේම ඇය ගයන තව ගීයක් තියනවා...

    මට දෙන්න... මට දෙන්න...
    මොහතකට මට දෙන්න...
    ඔබේ ඇස් යට නටන...
    පාට බිදුවක් දෙන්න...

    .Mekala_Gamage_Ahan_Inna300.jpg

    "දෘශ්‍යාබාධිත අන්ධ ජනසේවා මණ්ඩලයෙන් මගේ දුරකථන අංකය සොයාගෙන දවසක් නලින්ද ප්‍රේමරත්න සොයුරා මට කතා කළා... ඒ විශේෂ අවශ්‍යතා ඇති අය සම්බන්ධයෙන් හදන නාට්‍යක තේමා ගීතය ගයන්න...
    ඒ නාට්‍යයට තමයි මම "අහන් ඉන්න..." ගීය ගැයුවේ... මේ ගීතය ලියුවේ අක්ෂි තාක්ෂණය පිළිබද විශේෂඥවරියක් වන සෝමලතා හේරත් මැණිකේ මහත්මිය... සංගීතය රුවන් ශ්‍රී වල්පොල සොහොයුරාගේ... මගේ අනෙක් ගීයටත් මේ දෙදෙනාම තමයි දායක වුණේ..."

    "අහන් ඉන්න..." ගීතය වගේම රූපවාහිනි තිරය ඔස්සේ අපි දකින ඒ ගීයේ රූප රචනය එහෙමත් නැත්නම් විෂුවල් එකත් හැගුම්බරයි... එහි පෙනී සිටින්නේත් මේකලායි... ඒත් ඇයට මේ රූප රචනය කිසිදා දකින්න ලැබෙන්නේ නැහැ...

    "මේ ගීතය මම වින්දා... ඒත් ඒ තරමට අනෙක් අය විදීවි කියලා මම කවමදාකවත් හිතුවේ නැහැ... අපිට සංවේදිවෙන්න පුලුවන්... ඇස් නොපෙනුනත් අපිට විදින්න පුලුවන්... ඒ බව සමාජයටම කියන්නම ඕනේ... ඇස් දෙක නැහැ... ඒ වුණාට අපිට හදවතින් ගනුදෙනු කරන්න පුලුවන්... හදවතින් කරන ගනුදෙනුව හරිම ප්‍රබලයි... මේ ගීතයේ විෂුවල් එක රූගත කළේ අම්බලන්තොට උස්සංගොඩ මුහුදු වෙරළේ... මුහුදු රළ එක්ක ගල් උඩ ඉදගෙන අපි ඒක කළා... හරිම සුන්දර බවක් දැනුනා... ඇස් අන්ධ වුණත් මම මේ විෂුවල් එක දැක්කා... ඒත් හදවතින්... මම විදපු ආකාර‍යට රටේ අනෙක් අය විදීද දන්නේ නැහැ..."

    අපි හිතනවා දෙනෙත් නොපෙනෙන කෙනෙක්, එහෙමත් නැත්නම් කතා කරන්න බැරි කෙනෙක්, ඒ වගේම විශේෂ අබාධ ඇති කෙනෙක්,,,
    ඒ ගැන හිතින් දුක් වෙනවා ඇති කියලා... ඒ අපිට හිතෙන සාධාරණ සිතුවිල්ලක්... මේකලා ඊට කදිම පිළිතුරක් ලබාදුන්නේ...

    "නැහැ... මට දුකක් කණගාටුවක් නැහැ.... ඇස් පෙනෙන්නේ නැති කෙනෙක් වීම ගැන මට කිසිම දුකක් දැනෙන්නේ නැහැ... සමහර සාමාන්‍ය අයට වඩා වැඩි දුරකට මම ඉගෙන ගත්තා... මට උපාධියක් තියනවා... දැන් මාව රටම හදුනාගෙන ඉන්නේ... මගේ ශක්තියෙන් මම ආවා... ඉදිරියටත් මට ශක්තිමත්ව යන්න පුලුවන්... ඇස් දෙකෙන් දකින්න ඕනෑ දේ හදවතට දැනෙනවා නම් ප්‍රශ්නයක් නැහැ... බාධා නම් තියනවා... ඒත් ඒ එන බාධා ජය ගැනීමේ පිනත් මට තියනවා... එනිසා ඒ ගැන දුකක් නැහැ..."
    0.jpg

    මේකලා දැඩි ආත්ම ශක්තියකින් කතා කරන්නේ.. ඇයට ඇය ගැන පුදුමාකාර විශ්වාසයක් ඇති බවයි අපට වැටහුණේ...

    "මගේ ඇස් දෙක අන්ධ වුණේ උපතින්මයි... මේ ලෝකයට මම ආවේ ඇස් දෙක නැතිව... හොදට පෙනිලා, හිටි හැටියේ නොපෙනෙන්න ගත් අයකුට ඇති වන දුක, මානසික කඩා වැටීම, අපි වගේ උපතින්ම අන්ධ අයට නැහැ... මම පවුලේ බාලයා... පුංචි කාලයේ ඉදලාම අපේ පවුලේ අයගේ ආදරය කරුණාව මට ලැබුනා... ඒ ලැබීම තුළ මානසික ශක්තියක් ලබා ගන්න මට හැකි වුණා... බ්‍රේල් ක්‍රමයෙන් අකුරෙන් අකුර ඉගෙන ගත්තා..."

    මේකලා වගේ කෙනෙක් සරසවියට ආවාම,,, අනෙක හම්බන්තොට වගේ ඈත කොනක ඉදන්,,, කොලඹ පරිසරය, අනෙක් සරසවි සිසුන් ඇයව කොහොම පිළිගන්න ඇත්ද...?

    "මම පුංචි කාලේ, එක වසරේ ඉදලාම මගේ යෙහෙළිය වුණේ දයානි බණ්ඩාර සොයුරිය... ඈත් මා සමගම සරසවියට ආවා... ඒක මටත්, එයාටත් හයියක් වුණා... ඒ නිසා තනිකම පාලුව දැනුනේ නැහැ... අනෙක මගේ බැජ් එකේ මං වගේ අන්ධ අය පස්දෙනෙක්ම හිටියා... අපි හතර දෙනෙක් හිටියේ එකම කාමරයේ... අනෙක් කෙනා පිරිමි ළමයෙක්... අපි පස්දෙනා නිතරම හිටියේ එකට... අපිට තවත් යාලුවෝ හිටියා... ඒ ඇස් පෙනෙන යාලුවෝ අපිට පොත් කියවා දුන්නා... සමහරු නම් මග හැරියා... පුස්තකාලෙට ගිහින් පැවරුම් ලියද්දි,, සමහර දේ උපුටා ගන්න ඕනේ... ඒ වෙලාවට යාලුවෝ වගේම එයාලගේ අම්මලාත් අපිට ඒවා ලියා දුන්නා..."

    සරසවි ජීවිතයට සමුදී සමාජයට පැමිණීම මේකලාට තවත් අභියෝගයක්... ඒ අභියෝගය ඇයට කෙසේ වෙන්නට ඇතිද...?

    "මම සරසවියෙන් පිටවූ විගසම ගීතයට යොමු වුණා... ඒ වගේම ගමේ,, තලාව ශ්‍රී ප්‍රඥානන්ද දහම් පාසලේ උගන්වන්න පටන් ගත්තා... මා දිහා සමාජයේ හැම දෙනාම අනුකම්පාවෙන් බලන්න පටන් ගත්තා... ඒත් මම ඒකට කැමති නැහැ... අනුකම්පාව නොවේ, මටත් මං වගේ අනෙක් අයටත් ඕනේ මිත්‍රශීලීත්වයයි..."
    mekala-gamage-02.jpg

    ඇය උපාධිධාරිණියක්... රැකියා විරහිත උපාධිධාරිණියක්... රැකියාවක අවශ්‍යතාව මේකලාටත් තදින්ම දැනෙන්නක්...

    "මම තවම යැපෙන්නේ අම්මලාගෙන්... අයියා වඩු වැඩ කරලා, අක්කා ඇදුම් මහලා හම්බ කරන මුදලින් තමයි මමත් යැපෙන්නේ... දෘශ්‍යාබාධිත උපාධිධාරීන් හුගක් ඉන්නවා රැකියා නැතිව... අපිට හැම රැකියාවක්ම කරන්න බැහැ... ඇස් දෙක පෙනෙනවා නම් උපාධිය පැත්තක දමලා ඇගලුම් කම්හලක මහන්න යන්න පුලුවන්... ඒත් ඇස් දෙක පෙනෙන්නේ නැති නිසා ඒක කරන්නත් බැහැ... අපිට ගුරු වෘත්තිය කළ හැකියි... රටේ සංවර්ධනයට අපිවත් දායක කරගන්න, කියන ඉල්ලීම තමයි කරන්නේ..."

    මේකලා අප සමග කළ සාකච්ඡාව නිමා කළේ එක්තරා ඉල්ලීමක්ද කරමින්...

    "මගේ අම්ම කේ.ඒ.සෝමලතා... නිතරම මගේ කණවැල අල්ලාගෙන මා එක්කම හැම තැනකටම යනවා... මට සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍ය පිළිබද බාහිර උපාධිය ලබා ගන්න ආසයි... ඒත් දේශනවලට, විවිධ සංගීත වැඩසටහන්වලට නිතරම හම්බන්තොට ඉදලා කොලඹට එන්නේ කොහොමද.? ඒ නිසා මට කොලඹ ඉන්න හිටින්න තැනක් තියනවා නම් ඒක මගේ කටයුතුවලට පහසුවක්..."

    චින්තනී මේකලා ගමගේ ඇගේ ගායනය ගැන රසික ප්‍රතිචාර දැනගන්න කැමැත්තෙන් ඉන්නේ... ඇය සමග ඕනෑම කෙනෙකුට කතා කරන්න පුලුවන්... ලියන්න පුලුවන්...
    මේකලාගේ ලිපිනය:- 13/2, මැදකොරටුව, තලාව, කාරියමඩිත්ත...
    දුරකථන අංකය:- 0723816537
    6670.jpg




    Ahan_Inna_Ahagena_Inna_Mekala_Gamage.jpg


    සටහන:- අජිත් අලහකෝන්
    (2011-12-04 වන දින "දිවයින" පුවත්පතේ "මීවිත" අතිරේකයෙහි පලවූ ලිපියක් ඇසුරෙනී)

     
    • Like
    Reactions: Wild-EYE and rcccc

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මෙක හරිම දුක හිතෙන සින්දුව නෙද
    අමුතු දෙයක් කියනව මෙක කියන විදියට