දසිස් රාවණා අධිරාජ්‍යයාට හිස් ගෙඩි දහයක් තිබුණු බව ඔබ සැවොම දනී. දසිස් රාවණා අධිරාජ්‍යයා අතීත එංගලන්තය ආක්‍රමණය කිරීමට ගිය මොහොතේදී මුල් වරට සෙල්ටික් පුරවැසියන් අබිමුවෙහි තම චන්ද්‍රහාස් අසිපත සුරතට ගෙන, තවත් අවි ආයුධ මායාවෙන් මවා ගත් අත් වලට ගෙන, කාලවර්ණ බියකරු දේහයක් පෙන්වමින් අහසට නැගී මේඝනාදය කරමින් සිය තේජෝ බල පරාක්‍රමයෙන් පෙනී සිටි දිනයේ, සිංහයෙකු දුටු මුව පොව්වන් මුළක් සේ භීෂණයට පත් සෙල්ටික් වැසියෝ "රාවණා නම් හිස් ගෙඩි දහයක්(ටෙන්) සහිත උස පුරුෂයෙක්(ටෝල්) පැමිණ ඇත" යනුවෙන් විළාප කීහ. එම මුල් දර්ශණය වූ ස්ථානය "රෝව්+ටෙන්(හෙඩ්ස්)+ටෝල්" හෙවත් රෝව්ටෙන්ස්ටෝල් විය.
"රෝව්+ටෙන්(හෙඩ්ස්)+ටෝල්" => රෝව්ටෙන්ස්ටෝල් = Rawtenstall
කුළු හෙවත් කුලා ලෙස හඳුන්වනුයේ එංගලන්තයේ බහුලව දක්නට ලැබෙන කඳුකර ගවයන්ය. ශීත කඳු ශිඛර මත වාඩි ලා ගෙන සිටි පෙරදිගින් ගිය රාවණ හමුදාවන්ට ශීතලෙන් ආරක්ෂා වීම සඳහා මේ කුළු ගවයන්ගේ ලොම් අවශ්‍ය විය. ඉතින් ගවයින්ගේ ලොම් ගෙන ගබඩා කළ තැන්, කුළු ලෝම තැන් නම් විය. පසුව එය කුල්ලෝම්ප්ටන් නම් විය.
"කුළු + ලෝම + තැන්" => කුල්ලෝම්ප්ටන් = Cullompton
අතිශයින් විෂ රසායනිකයන් පොවණ ලද වැලක් බඳුවූ "නැබ්බ තිති" ආයුධය රාවණාගේ පෙරමුණේ සෙනෙවියන් භාවිතා කළ සුපිරි අවියකි. මේ අවිය "ගැම්මා අහයි එට් බැක්ස්" නම් බටහිරින්ම සොයා ගත් දුර්ලභ රතු පැහැ විෂෙහි ඔබා සකස් කරන ලද අවියකි. එහෙයින් හෙලුවෝ මෙයට "රත් වැල්" ලෙස හඳුන්වනු ලැබීය. ඒ අවි ගබඩා කළ තැන "රත්වැල්" හෙවත් "රොත් වෙල්" නම් විය.
රත්වැල් => රොත් වෙල් = Rothwell
එංගලන්තය යටත් කිරීමට දැන් සියල්ලම සූදානම්ය, යුද පෙරමුණ ඇරඹුනි. රාවණ රජතුමාගේ අණ ලැබෙන තුරු සන්නාහ සන්නද්ධව කොඩිතුවක්කු ඇතුළු නවීනතම අවි අතට ගත් හෙළ සේනාවෝ එක් පසෙක සීරුවෙන් බලා සිටී. අනෙක් පස අඩ නිරුවතින් සිටින අමුම අමු ගෝත්‍රිකයින් වූ සෙල්ටික් වරුන් දුනු ඊතල වලින් සන්නද්ධව මාන ලා සිටී. අවශ්‍ය ඕනෑම මොහොතක ඉදිරියට ගොස් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට දෙදහසක් පමණ වූ දඬුමොණර සේනාංකය මදක් පොළොවෙන් ඉහළට එසේවිණි. ඊට ප්‍රතිචාර වස් සෙල්ටික් ගෝත්‍රිකයින් කළේ හූ නාදයක් පැවැත්වීම පමණි. මේ අතර රා-කටුවකින් අහසට පැන නැංග රාවණ පුත් ඉන්ද්‍රජිත් සඳෙහි සවි කර තිබූ තම ලේසර් තුවක්කුව කෙළින්ම එංගලන්තය තිබූ භූමිය දෙසට මාන ලෑවේය.