ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පත්වී දවසෙන් අස

waligamaya

Well-known member
  • ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පත්වී දවසෙන් අස

    11233774_513214162168636_4938330729811398782_n.jpg





    ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පත්වී දවසෙන් අස් වූ සරත් චන්ද්‍රසිරි මායාදුන්න කතාකරයි

    නම?
    සරත් චන්ද්‍රසිරි මායාදුන්න
    ගම?
    ඉපදුණේ කෑගල්ලෙ. ඊට පස්සෙ 1974 ඉඳලා කොළඹ තමයි හිටියේ. දැන් ඉන්නෙ මහරගම.
    මව්පියෝ?
    අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. (පියා මියගිහින්, අම්ම ඉන්නෙ මාත් එක්ක)
    සහෝදර සහෝදරියෝ?
    අයියා වෛද්‍යවරයෙක්. මල්ලි ගණකාධිකාරිවරයෙක්. ඔහු විදේශ ගතවෙලා ඉන්නෙ. නංගි නීතිවේදිනියක්. ඇයත් විදේශගත වෙලා ඉන්නෙ.
    අධ්‍යාපනය?
    මූලික අධ්‍යාපනය ලැබුවේ කෑගල්ලෙමයි. නව වන ශ්‍රේණියේ දී තමයි මම කොළඹට ආවේ. ඒ පූර්ව ජ්‍යේෂ්ඨ විභාගය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙන්න.
    කොහොමද එකපාරටම ආනන්දෙට ගියේ?
    තරග විභාගයක් තිබුණා. එයින් සමත් වෙලා තමයි ආනන්දෙට ගියේ.
    එතකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනය?
    ඇත්තටම මම වාණිජ අංශයෙන් තමයි අධ්‍යාපනය ලැබුවෙ. ඒත් උසස් පෙළට යනකොට ලංකාවේ කොහෙවත් වාණිජ අංශයක් තිබුණෙ නෑ. ඉතින් නැවත වතාවක් ‘කලා’ අංශයට යන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ මට හිතුණා ආයෙත් සැරයක් කෑගල්ල මහා විද්‍යාලයටම යන්න. ඒ දවස්වල උසස් පෙළ විභාගය විදියට හඳුන්වන්නෙ උසස් අධ්‍යාපන සහතික පත‍්‍ර විභාගය. මම දෙවතාවක්ම ඒ සඳහා පෙනී සිටියා. වැඩ තුන, තුන පාස් වුණා. ඒත් ඒක විශ්වවිද්‍යාලයට යන්න තරම් සුදුසුකමක් නෙවෙයි. පස්සෙ ආයෙත් කොළඹ ශ‍්‍රී ලංකා විද්‍යාලයට ඇවිත් විභාගයට පෙනී ඉඳලා තමයි ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ.
    Mayadunne 1ඔය කාල සීමාව තුළ ඔබේ පවුලේ ආර්ථික තත්ත්වය කොහොමද?
    මගේ පියාටවත් මවටවත් විශාල බූදලයක් තිබුණෙ නෑ. ඒත් රාජකාරීමය කටයුතුවලින් උපයා ගත් යම් දේපළක් තිබුණා. ඒ නිසා විශාල ආර්ථික අහේනියක් තිබුණෙත් නෑ.
    විශ්වවිද්‍යාලයට ගිහින් මොනවද කළේ?
    මම කලා අංශයෙන් තමයි විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ. ඒත් මට පුළුවන් වුණා වාණිජ අංශයෙන් අධ්‍යාපනය හදාරන්න.
    විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සෙ?
    උපාධිය කරලා ප‍්‍රතිඵල පිටවෙන්න කලින් අපිට පත්වීම් හම්බ වුණා. ඉතින් මට පුළුවන් වුණා වාණිජ ගුරුවරයෙක් වශයෙන් කෑගල්ලෙ සේවය කරන්න.
    විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නකොට ඔබ දේශපාලනය කළේ නැද්ද?
    ඔව්, මම දේශපාලනය කළා. කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් විදියට හිටියා. අපි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක විශාල ගැටුමක් ඇති කර ගත්තා.
    ඇයි ඒ?
    ඔය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ විශාල වශයෙන් නැගිටමින් හිටපු කාලයක්. ඉතින් අපි අතර මත ගැටුම් විශාල වශයෙන් තිබුණා. මේ හේතුව නිසා මට එක් අවස්ථාවක දී ජීවිත අවදානමක් පවා ඇති වුණා.
    ඉතින් මොකක්ද ඒ සිද්ධිය?
    ඔය අවස්ථාවේ මහින්ද විජේසේකර මහත්තයා තමයි විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ කොමියුනිස්ට් පක්ෂ නායකයා. එතුමා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපේ මැතිවරණය තිබුණ වෙලාවේ එතුමා ලිපියක් එව්වා කොමියුනිස්ට් පක්ෂයට ඡන්දෙ දෙන්න එපා, ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ දෙන්න කියලා. ඒ වෙලාවෙ අපිත් එක්ක ලංකා සමසමාජ පක්ෂයත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වෙලා හිටියා. ඉතින් මේ ආරංචියෙන් පස්සෙ අපි ඒ අයට ගහලා ලිපි ලේඛන සියල්ලම අරගත්තා.
    ඒ වෙලාවෙ අහුවුණේ ඔබව?
    ඔව්. මම මේ සිද්ධියට සම්බන්ධ නෑ. ඒත් මාව ඒගොල්ලො අරගෙන ගිහිල්ලා මාකස් ප‍්‍රනාන්දු ශාලාවෙ හිර කරගෙන පාන්දර 3.00 වෙනකල් සඟවාගෙන හිටියා. අන්තිමට මට ඔවුන් කිව්වා යන්න කියලා. ඒත් මට හුඟක්ම හිතවත් යාළුවෙක් ඇවිත් කිව්වා යන්න එපා, පල්ලෙහා ඔයාව මරලා හන්තානෙ වළලන්න බලාගෙන ඉන්නවා කියලා. ඒ නිසා ඔවුන් මාව නිදහස් කළත් මම එදා රෑ එතැනම නතර වෙලා හිටියා. එහෙම නොවුණ නම් හන්තානෙ අක්කර 7000ක් තියෙනවා, වැළලූවා නම් කාටත් හොයා ගන්නවත් බැරි වෙන්න තිබුණා. (හිනා...)
    කවුද ඔබේ ඒ හිතවතා?
    සරත් විජේසිංහ කියලා මාත් එක්කම 1960 ඉඳලම එකට හිටිය කෙනෙක්.
    එතකොට මාකස් ප‍්‍රනාන්දු ශාලාවෙ ඔබව රඳවාගෙන හිටිය අය කවුද?
    පසුකාලීනව විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විදියට කටයුතු කළ විජිත නානායක්කාර මැතිතුමා, ඒ වගේම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා විදියට හිටපු ගාමිණී සමරනායක මැතිතුමා, දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කටයුතු කරන අදටත් මගේ හිතවතා ගාමිණී කීරවල මැතිතුමා වගේ අය තමයි මම ඔය කියන තැන හිටියේ.
    ඔබේ මව්පියන්ගේ දේශපාලන දර්ශනය මොකක්ද?
    තාත්තා මුල් අවස්ථාවේ සම සමාජ පක්ෂය සමඟ වැඩ කළා. ඒත් පසුකාලීනව එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා දුන්නා. එතකොටත් මම කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෙක්.
    ඉතින් ඇයි ඔබ දේශපාලනයෙන් ඉවත් වුණේ?
    මං ගුරු වෘත්තියට ඇතුළත් වෙනකොටම තාත්තා මට දීපු උපදේශයක් තමයි ‘එක්කො දේශපාලනය කරන්න නැත්නම් ගුරු වෘත්තිය කරන්න’ කියලා. ඉතින් මං ගුරු වෘත්තිය තෝරගත්තා. මම ඒ ගත්ත තීරණය නිසා මගේ රාජකාරි ජීවිතය තුළ කවදාවත් දේශපාලනිකව කටයුතු කරලා නෑ.
    ගුරුවරයෙක් වුණ ඔබ කොහොමද එකපාරටම විගණන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙන්නෙ?
    ඒ දවස්වල විවෘත තරග විභාගයක් තිබුණා විගණන අධිකාරිවරුන් බඳවා ගැනීමේ තරග විභාගය කියලා. මං ඒ විභාගයට පෙනී ඉඳලා සමත් වුණා. සමත් වෙලා 1973 දී විගණකාධිපති දෙපාර්තමේන්තුවට විගණන අධිකාරිවරයෙක් වශයෙන් සම්බන්ධ වුණා.
    71 කැරැල්ල ගැන ඔබට මොකද හිතෙන්නෙ?
    මට හිතෙන්නෙ ඒක ප‍්‍රමාණවත් තරමට මුහුකුරා ගිය දැනුමක් ලබා නොදී කරපු කාර්යයක් කියලයි. ඒ නිසා ඒ පිළිබඳ මගේ කිසිම පැහැදීමක්, එකඟතාවක් නෑ. මම ඒ දවස්වල මගේ හිත මිතුරන් එක්ක ඔය සම්බන්ධ කරුණු කාරණා ගැන වාද කළා. එදා මම පැහැදිලිවම කිව්වා මේක අසාර්ථක කි‍්‍රයාවලියක් කියලා. ඉතින් මගේ ඒ සම්බන්ධ කිසිම සහභාගි වීමක් තිබුණෙ නැහැ.
    ඔබ විගණකාධිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණ කාලෙ විගණකාධිපති දෙපාර්තමේන්තුව මොන වගේ තත්ත්වයකද තිබුණේ?
    මට හිතෙන්නෙ පසුගිය දශක පහ පුරාවටම විගණකාධිපති දෙපාර්තමේන්තුව අවශ්‍ය කරන ප‍්‍රමිතීන්ට වඩා පහළ ප‍්‍රමිතියක තිබුණේ.
    ඇයි එහෙම වුණේ?
    ලංකාවේ රාජ්‍ය විගණනයට ලැබිය යුතු සම්මානනීය තත්ත්වය උදා කරල දුන්නෙ නෑ. ඒ වගේම ඊට අවශ්‍ය පහසුකම් ලබා දුන්නෙත් නෑ.
    ඇත්තටම ඇයි විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ විදියට කුඩම්මාගේ සැලකිලි ලබන්නෙ?
    ඕක විගණකාධිපති දෙපාර්තමේන්තුව තුළ තිබුණ ගැටලූවක් නෙමෙයි. රාජ්‍ය විගණනයට හිමි විය යුතු නිසි තැන ලබා නොදීම පිළිබඳ ප‍්‍රශ්නයක්.
    එතකොට ඒකට වගකියන්න ඕනෙ පැවති රජයන්?
    ඔව්. අනිවාර්යයෙන්ම.
    1978 ජේ.ආර්.ජයවර්ධන මහත්තයා රාජ්‍ය විගණනය සම්බන්ධ යම් යම් සංශෝධන කරනවා?
    ඇත්තටම එහි දී විගණකාධිපති දෙපාර්තමේන්තුවට යම් හානිකර තත්ත්වයක් ඇති වුණා. එහෙම වුණේ කාරණා කිහිපයක් නිසා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අදහස් කළා රාජ්‍ය විගණනය යම් ප‍්‍රමාණයකට පාලනය කරන්න. මේ හේතුව නිසා තමයි 154 (2) කියන ව්‍යවස්ථාව යටතේ විගණකාධිපතිවරයා වෙනුවට පුද්ගලික විගණකයන් යොදා ගනිමින් රාජ්‍ය විගණනය කරන්න පුළුවන් කියන මතය ගෙනාවෙ. නමුත් එතැන දී එවකට විගණකාධිපතිවරයා වශයෙන් හිටපු විජේසූරිය මහත්තයගෙ දැඩි විරෝධතාව නිසා වගන්තියක් එකතු කරන්න පුළුවන් වුණා. ඒ වගන්තිය යටතෙ කිව්වෙ, විගණකාධිපතිවරයාට අභිමත නම් ඒ විගණනය රාජ්‍ය විගණනය විදියට පිළිගන්න පුළුවන්, එහෙම නොවුණොත් විගණකාධිපතිවරයාට එය නොතකා හැර කි‍්‍රයාත්මක වෙන්න පුළුවන් කියන එක.
    ඒත් එදායින් පස්සෙ අද වෙනකල් කිසිම අමාත්‍යවරයකුට පුළුවන් වුණේ නෑ විගණකාධිපති වෙනුවට එයාට අභිමත කෙනෙක් රාජ්‍ය විගණනය වෙනුවෙන් නියෝජිතයෙක් වශයෙන් පත් කරගන්න.
    විගණකාධිපති දෙපාර්තමේන්තුව කා යටතෙ ද තියෙන්නෙ?
    මේක පාර්ලිමේන්තුවට වගකියනවා. ලෝකයේ අනෙක් රටවලත් කිසිම රාජ්‍ය ආයතනයකට හෝ ව්‍යවස්ථාදායකයටවත් විධායකයකටවත් යටත් ආයතනයක් නෙමෙයි.
    ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සංශෝධනයෙන් පස්සෙ?
    නෑ... කිසිම ආයතනයකටවත් යටත් නෑ.
    විගණකාධිපතිවරයාට බලය තියෙනවද මොනවද විගණනය කරන්නෙ කියලා තීරණය කරන්න?
    ඔව්. ඒ පිළිබඳ කිසිම කෙනෙකුට බලපෑමක් කරන්න ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ප‍්‍රතිපාදන නෑ.
    ජේ.ආර්. ජයවර්ධන මහත්තයගෙ සංශෝධනයට අනුව විගණකාධිපතිවරයා වෙනුවට වෙනත් කෙනෙක් පත් කරගත්තොත්?
    ඒත් ඒක විගණකාධිපතිවරයාගේ අභිමතයට යටත්.
    ඒත් දේශපාලනමය බලපෑම් කරන්න පුළුවන්නෙ?
    ඔව්. එහෙම එක අවස්ථාවක බලපෑමක් ආවා ඔය කියන කාලේ. මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ, විගණකාධිපතිතුමා විදේශගත වෙලා ඉන්න අවස්ථාවක වැඩබලන විගණකාධිපතිවරයා වැඩබලන වෙලාවෙ පැවති රජය උත්සාහ කළා වැඩබලන විගණකාධිපතිවරයාට යම් බලපෑමක් කරන්න. ඒ අවස්ථාවෙ ඊට එකඟ නොවුණ නිසා වැඩබලන විගණකාධිපතිවරයාගේ වැඩ තහනමකට ලක් කළා. ඒක ඉතාම නරක පූර්වාදර්ශයක්.
    ඕක වුණේ කොයි දවස්වලද?
    මට මතක විදියට 1980ට ආසන්න කාලයේ දී.
    ඒ කියන්නෙ ගාමිණී දිසානායක මහත්තයගෙ කාලෙ?
    ඔව්. හරි.
    89 කැරැල්ල ගැන ඔබ දැන් මොකද හිතෙන්නෙ?
    ඒකෙ තිබුණු ප‍්‍රශ්නය තමයි රාජ්‍ය විගණනයට විශාල ආකාරයට බාධා සිදු වීම. අපිට ඒ වෙලාවේ කන්තෝරුව වහන්න කියලා දිගින් දිගටම තර්ජන ආවා. ඒ වෙලාවෙ මම හිටියේ නියෝජ්‍ය විගණකාධිපති වශයෙන්. ඉතින් මට සිද්ධ වුණා කාර්යාල විවෘත කිරීම සහ වසාදැමීම යථා ආකාරයට කරන්න. මට කොයිතරම් බලපෑම් ආවත් මම ඊට යටත් වුණේ නෑ. හැබැයි යතුරු රාජකාරිය සඳහා නිලධාරීන් ආවෙ නෑ. ඒ නිසා මට සිද්ධ වුණා කුරුඳුවත්ත පොලීසියට ගිහින් යතුරු කැරැල්ල අරගෙන කන්තෝරුව අරින්න. ඒ වගේම කන්තෝරුව වහලා හවසට ගෙදර යනකොට ආයෙ යතුරු පොලීසියට බාර දෙන්න. මේ රාජකාරිය නිසා මට දුරකථන ඇමතුම් ආවා, ලිපි එවල තිබුණ, වහාම මේ කාරණයෙන් ඉවත් වෙලා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්වෙලා සමාව ඉල්ලලා පෝස්ටරයක් ගහන්න කියලා. නැත්නම් අනිවාර්යයෙන්ම මරනවා කිව්වා.
    ඉතින් මොකද කළේ?
    මං මගේ රාජකාරිය කළා. මරණය බාර ගත්තා. මං එහෙ මෙහෙ ගියේ තනියම. කොහොම වුණත් නිලධාරීන් හිටියේ මං ගැන පැහැදීමකින්. ඒ නිසා මාව මරන්න බැරි වුණා.
    ඔබ 1993 වෙනකොට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දෙවැනියා වෙනවා?
    ඔව්. 1993 ඉඳලා 2000 දක්වා වැඩබලන විගණකාධිපතිවරයා වශයෙන් රාජකාරි කරල තියෙනවා දවස් හයසිය පනහකට ආසන්න කාලයක්. ඒ කියන්නෙ අවුරුදු දෙකකට ආසන්න කාලයක්. මේ කාලයේ දී මට කවදාවත් ඉහළ මට්ටමින් බලපෑම් ඇවිල්ල නෑ.
    ඒ කියන්නෙ පහළ මට්ටමින් ආවා?
    පහළ මට්ටමින් යම් යම් බලපෑම් ඇවිත් තියෙනවා. ඒත් මං ඒවා ගණන් ගත්තෙ නෑ.
    ඔහොම ගිහින් ඔබ 2000 දී විගණකාධිපති තනතුරට පත් වෙනවා. මොනවද ඒ සඳහා ඔබට තිබුණ සුදුසුකම්?
    මට දේශපාලන උදව් තිබුණෙ නෑ. ඒත් මට සුදුසුකම් තිබුණා වරලත් ගණකාධිකාරී ආයතනයේ ශිෂ්‍යයෙක් බවට පත්වීමට සහ ඒ විභාගය කරන්න. ඒකට මට ශිෂ්‍යත්වයක් හම්බ වුණා. මං ඒ විභාගය සමත් වුණේ 81 දී. ඊට පස්සෙ 84 දී මාව දෙපාර්තමේන්තු අභ්‍යන්තරයෙන් තෝර ගන්නවා කැනඩාවේ වර්ෂ පූර්ණ පුහුණුවක් සඳහා. එහි දී මට පුළුවන් වුණා කැනේඩියානු සර්වග‍්‍රාහී පදනමේ පුහුණු වෙන්න. ඉතින් ඒ විදියට උසස් වීම් ක‍්‍රමානුකූලව ලබාගෙන තමයි විගණකාධි තනතුර දක්වා එන්නෙ.
    කවුද විගණකාධිපති ධුරය සඳහා පත්වීම් කරන්නෙ?
    ජනාධිපතිවරයා. ඒක සිද්ධ වෙන්නෙ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තියෙන විධිවිධානවලට අනුකූලව.
    එතකොට ඔබව පත් කරන්නෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය?
    ඔව්.
    එතැන දේශපාලන අත පෙවීමක් නැද්ද?
    එහෙම කරන්න පුළුවන්. ඒත් මාව පත් කරන අවස්ථාව වෙනකොට මම තමයි දෙපාර්තමේන්තුවේ හිටපු ඉහළම සුදුසුකම් ලැබූ පුද්ගලයා.
    2000 ඔබ විගණකාධිපති වෙනකොට කොහොමද දෙපාර්තමේන්තුවේ තත්ත්වය?
    අර මම කලින් කියපු තත්ත්වයම තමයි තිබුණේ. වෙනසක් නෑ. ඒත් මම රාජ්‍ය විගණනයට අදාළ නිසි තැන ලබා ගැනීම සඳහා දේශීය ආයතන සමඟ සාකච්ජා කළා. ඒ වගේම විදේශීය ආයතන සමඟත් සාකච්ජා කළා. ඒ සාකච්ජාවල කරුණු කාරණා එකතු කරලා අපි හැදුවා රාජ්‍ය විගණන පනත් කෙටුම්පතක්. මේ කෙටුම්පත 2004 අවුරුද්ද වෙනකොට සම්පූර්ණ කළා. අධ්‍යයන ගණනාවක් කළා. සිවිල් සමාජ සමඟ සාකච්ජා කළා. විවිධ වෘත්තීය සමිති සමඟ සාකච්ජා කළා. මේ සියලූ කාරණාවලින් අනතුරුව කෙටුම්පත 2005 කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. නමුත් කැබිනට් මණ්ඩලය ඒක පාර්ලිමේන්තුවට දැම්මෙ නෑ.
    ඇයි එහෙම වුණේ?
    මං හිතන්නෙ මුදල් අමාත්‍යාංශය ඒකට බාධා කළා.
    Mayadunne 2ඔය පී.බී. ජයසුන්දර මහත්තයා මුදල් අමාත්‍යාංශයේ ඉන්න කාලෙ නේද?
    ඔව්. එතුමා තමයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා.
    ඔය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ වෙනත් යෝජනාවක් තිබුණද?
    ඔව්. ඒගොල්ලො කිව්වේ වඩාත් හොඳ දෙයක් තමයි අපි හදන්න ඕන කියලා. ඉතින් ඔය තත්ත්වය යටතේ හැමදාම සාකච්ඡුා මට්ටමේ එහාට යනවා මෙහාට යනවා විතරයි.
    2006 ඔබ විශ‍්‍රාම යනකල්ම ඔබට බැරි වුණාද ඔවුන් යෝජනා කළ ‘වඩාත් හොඳ දේ’ හදා ගන්න?
    (හිනා..) යම් කිසි දෙයක වඩාත් හොඳ දෙය කියන්නෙම ඒක ප‍්‍රායෝගික මට්ටමක නෑ කියන එක. මට හිතෙන විදියට ඔවුන් වඩාත් හොඳ දේ කියන දෙයින් බලාපොරොත්තු වුණේ මේ කෙටුම්පත ක‍්‍රියාත්මක නොවන එක.
    ඔබ විගණකාධිපතිවරයා ලෙස හිටපු කාලසීමාව තුළ විමර්ශනයට ආපු දේවල් මොනවද?
    ඒව අපේ වාර්තාවල විස්තරාත්මකව දක්වලා තියෙනවා. ඒත් මං ප‍්‍රධාන කාරණා දෙකක් කියන්නම්. එකක් තමයි සුනාමි මුදල් අවභාවිතය කියන කාරණාව. සුනාමි ආධාර මුදල් විදියට විදේශවලින් ලංකාවට විශාල වශයෙන් ආධාර ලැබුණා. ඒත් ඒ පිළිබඳ රජය නිසි පියවර ගත්තෙ නෑ. මම ඒ සම්බන්ධව අතුරු වාර්තාවකුත් ඉදිරිපත් කළා 2005 ජූලි මාසය වෙනකොට.
    ඇත්තටම කොච්චර විතර ආධාර මුදල් ආවද?
    ඩොලර් බිලියන ගණනක් ආවා. ලංකාව ගොඩ ගන්න ඒ මුදල් හොඳටම ඇති. ඒත් ඒ මුදල් ආපහු ගියා. සමහර ඒවා දූෂිත ආකාරයට පාවිච්චි කළා. මේ සියලූ කාරණා මගේ අතුරු වාර්තාවෙ තියෙනවා.
    ඇයි අතුරු වාර්තාව යට ගියේ?
    ඒක ඉතින් අහන්න ඕන පාර්ලිමේන්තුවෙන්. මොකද පාර්ලිමේන්තුව ඇහුවොත් තමයි විගණකාධිපතිවරයා ඒකට උත්තර දෙන්න ඕන.
    ‘හෙල්පින් හම්බන්තොට’ ගැන ඔබේ වාර්තාවල තිබුණෙ නැද්ද?
    අපි ඒ සම්බන්ධ කරුණු සොයා බැලූවා. ඒ අවස්ථාව වෙනකොට හෙල්පින් හම්බන්තොට සිද්ධියේ දෝෂ ගණනාවක් තිබුණා. නමුත් අපේ වාර්තාව ඉදිරිපත් වෙන අවස්ථාව වෙනකොට ඒ දෝෂ සියල්ලම වගේ යථාවත් කරලා තිබුණා.
    එතකොට ‘රාඩා’ එක ගැන?
    රාඩා එක ගැන මූලික කාරණා මතු වුණේ ඔය කියන මගේ වාර්තාවෙන් පස්සෙ.
    ඔබ කාරණා දෙකක් ගැන කියන්නම් කිව්වා. පළමු වන එක සුනාමි මුදල් අවභාවිතය. එතකොට දෙවන එක?
    රාජ්‍ය මූල්‍ය අවකළමනාකරණය පිළිබඳ පාර්ලිමේන්තු වාර්තාව. මේකෙදි මම කෝටි 39,000ක රාජ්‍ය මූල්‍ය අවකළමනාකරණය පිළිබඳ වාර්තා කරලා තියෙනවා. කාරණා 35ක් පිළිබඳව. මේ කාරණා 35 යටතේ එන එකක් තමයි VAT වංචාව. මේ VAT වංචාව කෝටි 390ක් විතර මට මතක විදියට. නමුත් මේ කාරණය පාර්ලිමේන්තු කාරක සභාවට ගත්තෙ නෑ මගේ රාජකාරි කාලසීමාව තුළ.
    ඔය කාලසීමාව තුළත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පී. බී. ජයසුන්දරම නේද?
    ඔව්.
    පී.බී. ජයසුන්දර ගැන ඔබට මොකද හිතෙන්නෙ?
    නිලධාරියෙක්ට ලොකු වගවීමක් තියෙනවා. මේ වගවීම අවභාවිතයක් විදියට සමහරු භාවිත කරනවා. මේ කාරණා නිසා තමයි මට සිද්ධ වුණේ දූෂණයට එරෙහිව විශාල හඬක් නගන්න. මම ඒක මගේ රාජකාරි කාලය තුළ කළා. නමුත් ජනතාව තුළ දූෂණයට එරෙහි විශාල හඬක්, උනන්දුවක් නෑ. කොහොම වුණත් ඔය වාර්තාවල චෝදනාව යන්නෙ දේශපාලකයන්ට නෙවෙයි, නිලධාරීන්ට.
    ඇයි එහෙම වෙන්නෙ?
    හේතුව මේකයි. කාරක සභා අවස්ථාවට කැඳවන්න පුළුවන් දේශපාලකයො නෙමෙයි, නිලධාරීන් විතරයි. ඒ නිසා මේ චෝදනා ඉදිරිපත් වෙන්නෙ නිලධාරීන්ට. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතෙ නිලධාරියට තමයි මේ කාර්යභාරය පැවරෙන්නෙ, අදාළ අමාත්‍යවරයාගෙ විධානයට හා පාලනයට යටත්ව. මේක පාදක කරගෙන අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන ස්තරයට අදාළ චෝදනා විමසීමේ කාර්යභාරය අදාළ වෙන්නෙ කාරක සභාවට නෙමෙයි පාර්ලිමේන්තු සභා ගර්භයට.
    මැතිවරණවලට ඒ ඒ අපේක්ෂකයා වියදම් කරන මුදල් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවට විගණනය කරන්න බැරිද?
    රාජ්‍ය විගණනයට පැවරුණු කාර්යයන් තුළ ඔය කියන කාරණාව නෑ.
    එතකොට පක්ෂ විගණනය කරන්නත් බැරිද?
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එහෙම සඳහනක් නෑ.
    71 ජවිපෙ ඔබව ඝාතනය කරන්න හදනවා. 89දීත් එවැනිම උත්සාහයක් දරනවා. ඒත් 2015 වෙනකොට ඔබ ජවිපෙ ජාතික ලැයිස්තුවේ ඉන්නවා. කොහොමද එහෙම වෙන්නෙ?
    මට අතීතය වැදගත් වෙන්නෙ වර්තමානයට සහ අනාගතයට බලපානව නම් විතරයි. මට සම්පූර්ණ විශ්වාසයක් ඇති වුණා දැන් එවැනි තත්ත්වයක් ජනතා විමුක්ති පෙරමුණ තුළ නැති බවට.
    ඒත් ඔබ ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා එක දවසෙන්ම ඉල්ලා අස්වෙනවා?
    මගේ ඉල්ලා අස්වීම සිද්ධ වෙන්න මොහොතකට පෙර කළ ප‍්‍රකාශයේ ඒ බව පැහැදිලිව සඳහන් වෙනවා. මූලික කාරණය තමයි පාර්ලිමේන්තුව තුළ මන්ත‍්‍රීවරයෙක් වශයෙන් ඉන්නවා නම් ජනතා අභිලාෂයට ගරු කරන්න ඕන. ජනතා අභිලාෂය ඉතාමත්ම පැහැදිලිව මේ දූෂණය බරපතළ කාරණයක් විදියට සලකලා නෑ. දූෂණය බරපතළ කාරණයක් විදියට සලකලා නැත්නම් දූෂණයට එරෙහි වීමට යෑම මගේ අරමුණ වුණත් ඒක ජනතා අභිලාෂය නෙමෙයි. ප‍්‍රධානම කාරණය මන්ත‍්‍රීවරයෙක් නම් ජනතා අභිලාෂයට ගරු කරන්න ඕනෙ.
    හැබැයි ඔබ නියෝජනය කළ පක්ෂයේ ජනතාව පරාජයට පත් කළ ඇතැම් අය දැන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු වෙලා ඉන්නවනේ?
    මෙතැන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි එක කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඉන්නෙ මැතිවරණ ප‍්‍රතිඵලවලට අනුව. ඉතිරි 29 දෙනා ඉන්නෙ මැතිවරණ ප‍්‍රතිඵල ආවට පස්සෙ නම් කෙරෙන අය විදියට. ඒ නම් කෙරෙන අයගේ තියෙන වෙනස තමයි ඒගොල්ලන් ජනතා අභිලාෂය හඳුනා ගත්තට පස්සෙ නම් කරන එක. ජනතා අභිලාෂය තුළින්ම කෙනෙක්ව පත් කළා නම් එයාට පුළුවන් කමක් නෑ වෙනස් තීරණයක් ගන්න.
    ඒත් ඔබගේ මන්ත‍්‍රී ධුරයට නැවත පත් වෙන්නෙ ජනතාව ප‍්‍රතික්ෂේප කළ අයෙක්?
    මේකෙ වැරැද්දක් තියෙනවා. ඒ වැරැද්දෙ පළමු වන චූදිතයා තමයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 99 වන ව්‍යවස්ථාව. ඒ අනුව පාර්ලිමේන්තුවට තිබුණා ජාතික ලැයිස්තුව සීමා කරන්න. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මේක නිවැරැදි කරන්න පාර්ලිමේන්තුවට යුතුකමක් තිබුණා. ඇත්තටම පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවක් තියෙනවා නම් ඊට ගරු කිරීමේ යුතුකමක් පාර්ලිමේන්තුවට තියෙනවා.
    ඔබ රටේ ඉහළම තනතුරක් දරපු පුද්ගලයෙක්. ඒත් ඔබ සෙරෙප්පු දෙකක්වත් භාවිත කරන්නෙ නෑ. ඇයි මෙච්චර සරලකමක්?
    මම ගමෙන් ආපු කෙනෙක්. මට ආටෝප සාටෝප අවශ්‍ය නෑ. කොළඹ විගණකාධිපති නිල නිවසේ ඉන්නකොට කවදාවත් වායුසමීකරණය පාවිච්චි කරලා නෑ. මම ගමේ ඉන්නකොට නිදා ගත්තෙ ඉස්තෝප්පුවෙ. කොළඹ 7 නිළනිවසේ ඉන්කොටත් නිදාගත්තේ ඉස්තෝප්පුවේ. මම එදා වගේම අදටත් නිදාගන්නෙ මෙට්ට නැති ලෑලි ඇඳක.
    විගණකාධිපතිවරයකුගේ වැටුප කීයද?
    ඒ කාලෙ වැටුප රුපියල් 60,000කට ආසන්න ගාණක් තිබුණා. නමුත් මට විශ‍්‍රාමිකයෙක් වශයෙන් හම්බවෙන්නෙ රුපියල් 47,000යි.
    විගණකාධිපතිවරයෙක්ට මෙහෙම සලකන එක සාධාරණ ද?
    වෙනත් රටවල විගණකාධිපති කියන්නෙ හතර වන පුරවැසියා. ඒත් අපේ රටේ එහෙම තත්ත්වයක් නෑ. ලංකාවේ 22 වන තත්ත්වයේ තමයි විගණකාධිපතිවරයා ඉන්නේ. මේව ඇත්තටම ලංකාවට ආවේණික ප‍්‍රශ්න.
    ඔබ හිතන විදියට මේ රටේ වෙනස් කළ යුත්තේ මොනවද?
    මං පෞද්ගලිකව දූෂණයට අතිශය විරුද්ධ කෙනෙක්. මං මට හිමි තීරුබදු රහිත වාහන බලපත‍්‍රයවත් ගත්තෙ නෑ. ඒකත් ප‍්‍රතික්ෂේප කළා. කිසිදු වරප‍්‍රසාදයක් මම භුක්ති වින්දෙ නෑ. ඒ විතරක් නොවෙයි මම පාර්ලිමේන්තු ගිය දවස් ටිකේ පාර්ලිමේන්තුවෙන් ගත්ත ආහාර වේල් ටිකටත් අතින් සල්ලි ගෙව්වා. එතැන දී මට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ අය කිව්වා කෑමවලට අතින් සල්ලි දෙන්න ඕන නෑ, ඔබතුමාට ලැබිය යුතු යම් මුදලක් තියෙනවා, ඒකෙන් මේක හිලව් කරගන්න පුළුවන් කියලා. මං කිව්වා මට ඒකත් එපා කියලා. අපි ඉතාම ශීලාචාර විදියට කටයුතු කළා. ඒත් සමහරු අදටත් මට අවඥා කරනවා මේ ඉල්ලා අස්වීම සම්බන්ධව. මේකෙත් කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් මගෙන් විශාල දෙයක් රටට විය යුතුයි කියලා පිළිගන්නවා. ඒත් මම ඊට වඩා පිළිගන්නවා ජනතා අභිලාෂයට ගරු කිරීම. අනෙක් කණ්ඩායම මට අවඥා කරන්නෙ ඒගොල්ලන්ට මම කරපු ප‍්‍රකාශයෙන් රිදුණ නිසා.
    ඇත්තටම ඔබ ඔබේ ප‍්‍රකාශය කරලා පාර්ලිමේන්තුවෙන් එනකොට මොකද හිතුණෙ?
    කනගාටුවක් දැනුණා.
    ඇයි ඒ?
    මම කතාව කරලා එනකොට ප‍්‍රධාන දූෂණ චෝදනාවලට චූදිතයන් වුණ සමහර මන්ත‍්‍රීවරු ලැජ්ජ නැතුව දුවගෙන ඇවිත් කිව්වා ‘එක්සලන්ට් ස්පීච්’ කියලා. (හිනා...)
    අනාගතයේ මොනවද ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නෙ?
    දූෂණයට එරෙහි හඬ ඉදිරියටම ගෙනියනවා. ඒත් සමාජයෙන් ඊට අනුග‍්‍රහය අවශ්‍යයි. අවාසනාවකට සමාජය දූෂණය ගැන හිතන්නෙ සරල කාරණාවක් විදියට. ඒ තත්ත්වය යටතේ අපිට පුළුවන්කමක් නෑ යතුර අල්ලගෙන අල්මාරිය කරකවන්න.
    කතා කළේ - ශාන්ත බණ්ඩාර
    ලිව්වේ - සකු විතානගේ
    ජායාරූප - තුසිත සිංහකුට්ටිආරච්චි



     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එතුමා පාර්ලිමේන්තුවේ ටික කලක් හරි හිටියනම් හොදයි.....