Jun 23, 2012
5
0
0
292523_323605017716120_1569301695_n.jpg


ජපානෙට යන ප්ලේන් එක කරුවල ඉරාගෙන යන්න පිටත්වුණා. මට මහ අමුත්තක් දැනුණා. වෙනදා දෙතුන් සීයක් යන ප්ලේන් එක අද පාළුයි. ජනේලයක් අයිනෙ වාඩිවුණාම පේන්නේ හිස් සීට් විතරයි. ප්ලේන් එක පිටත්වෙනකම් හරි ෆෝන් එකේ බැටරි බහිනකම් හරි දිගටම කතා කරන්න කියල රූ කිව්වා. මං දිගටම එයාට කතා කළා. ටිකකින් රූගේ කටහඬත් නැතුව ගියා. ඇස් දෙක පියාගෙන තුනී වලාකුළුත් අහසේ කරුවලත් එක්ක එකතු වුණා. හඳත් තරුත් මොකුත් නැති ආකාසේ පැය ගණන් තනියම දැකපු හීනවල රූ හිටියා.
දවල් නරීතා ගුවන් තොටුපළින් බහිනකොට ආයෙත් අර අමුත්ත දැනෙන්න ගත්තා. මහ පාළු මූසල ගතියක් තිබුණා. මං රතුපාට බෑග් එක ඇදගෙන එළියට ආවා. ගොඩාක් තට්ටු තියෙන උස බිල්ඩිංවල පාරවල ලයිට් කණුවල වේදනාවක් තියෙනවා වගේ දැනුණා. ඒ හැමෝටම කියන්න කතාවක් තියෙනවා වගේ දැනුණා. හැමදේටම ආත්මයක් තියෙනවා කියල ජපන් අය හිතනවා. ”තොනො පුලාසා එකි මදේ ඉරෂ්සරු ඔක්යකුසමා ගා කොචිර නො බසු ඔ ගොරියො කුදසයිමසේ” කියල කිය කිය කළු කැප් එකක් දාලා ළා නිල් යුනිෆෝම් එකක් ඇඳල ඉන්න කෙනා බස් එකට බෑග් පටවල ඊළඟට සෙනඟ නග්ගනවා. මං ඒ මූණට හොඳට එබිල බැලූවා. එයා හිනා වුණා. ඒත් ඒ මූණේ වේදනාව තිබුණා.
බස් එක යන්න පිටත් වුණා. ඒකත් පාළුයි. ඒකෙ ඇතුළෙ හිටපු අයගෙත් ඩරැිය යිවර්ගෙත් මූණුවල වේදනාවක් තිබුණා.

අකිහිතෝ සං එයාගේ නෝනත්, පොඩි එවුන් දෙන්නත් එක්ක උතුරන සතුටකින් ඇවිත් මාව පිළි අරගෙන ගෙදර එක්කරං ගියා. වෙනසක් නෑ වගේ, ඒත් ඒ ගෙදරත් මහා රූස්ස ගසුත්, පන්සලත් කතා කරනවා වගේ දැනුණා. අම්මාත් තාත්තාත් දොරකඩටම දුවගෙන ඇවිත් ”යොකු ඉරෂ්ෂයිමස්තානේ, සා, සා, දෝසෝ අගත්තෙ කුදසයි” කියල මාව පිළිගත්තා. ඒත් ඒ මූණුවල රැුළි අතර වේදනාව උඩ පහළ දුවනවා මං දැක්කා. ගේ ඇතුළට ගියාම ගේ ඇතුළත් වෙනස්වෙලා තිබුණා. උඩ තට්ටුවට නගින පඩිපෙළ දිගේ හැම පඩියක් ගානෙම වතුර බෝතල්, ජූස් බෝතල්, බිස්කට් පැකට් පේළියට අයිනෙන් තියලා තියෙනවා. ”ජිෂින්” එකක් ආවොත් කියල. ”ජිෂින්” කියන්නේ ජපන් භාෂාවෙන් භූමිකම්පාවට. මාර්තු මාසේ ආපු මහා භූමිකම්පාව ජපානෙ සම්පූර්ණයෙන්ම වෙනස් කරල දාලා තිබුණා. පොළොව විතරක් නෙමෙයි හැමදේම. මුළු ජීවිතේම හිතත් එක්කම හොලවල හොලවලා අත ඇරල තිබුණා.

ජීවිතේට කවදාවත් ලයිට් නැතුව තප්පර පහක්වත් හිටපු නැති ජාතියකට ඉටිපන්දමක් පත්තු කරගෙන කරුවලේ පැය ගාණක් ඉන්න වුණා. ”කරුවල කියන එක මහ පුදුම දෙයක්” ජීවිතේ කවදාවත් කරුවලේ ඉඳල නැති යොෂිකා කියනවා. කවදාවත් වතුර නැතුව මොහොතක්වත් හිටපු නැති ජාතියකට බාල්දිවලට වතුර එකතු කරගෙන ඉන්න වුණා. මහා මිනිස් ශිෂ්ටාචාරයේ අරුමය ” ඕල් දෙන්කා’’ ඒ කියන්නේ ”ඔක්කොම විදුලි බලයෙන්” කියන එකයි. පසුගිය කාලේ ජපානේ තේමාව ඒක. ජීවිතේ හැමදේම කරන්නේ විදුලි බලයෙන්. ඉවුම් පිහුම් වැඩපල විතරක් නොවේ. රත් කරන සීතල කරන එක විතරක් නෙමේ, වැසිකිළි කැසිකිළි යන එක විතරක් නෙමේ, දොරවල් අරින වහන එකත් විදුලි බලයෙන්. ගමන් බිමන් විදුලි බලයෙන්. ඒත් ඒ ඔක්කොම මහා භූමිකම්පාවෙන් ඒ කියන්නේ ”දයි ජිෂින්’‘ එකෙන් බොරුවක් වුණා.

විදුලි බලය නැති වුණාම මුළු ජීවිතේම නැවතුණා. අහස ඉඹින තට්ටු ගෙවල්වල උඩම තට්ටුවක ගෙයක් ගන්න එක හීනයක්. ඒත් භූමිකම්පාවෙන් ඒ ඔක්කොම බොරු වුණා. වතුරත් විදුලියත් නැතුව එහෙම තැනක හුස්ම ගන්නත් බැරි බව තේරුණා. විදුලි ආලෝකෙන් බබළන මහා දුම්රිය පොළවල් අන්ධකාරේ ගිලිලා. විදුලිය පිරිමහගන්න බාගයක් ලයිට් නිමලා. විදුලි පඩිපෙළවල්වලින් බාගයක් විදුලිය පිරිමහගන්න නවත්තලා. වයසක අය නැවති නැවතී හති දම දමා නිකං පඩිපෙළවල් නැගගෙන යනවා.
ඉවතෙ ඉබරකි සහ ෆුකුෂිමා පළාත්වලින් ආපු අනාථ අය තෝකියෝ පළාතේ මිනිස් වාසයට නුසුදුසුයි කියල අත ඇරල දාපු තට්ටු ගෙවල්වල පදිංචි වෙලා ඉන්නවා. ඇඳන් හිටපු ඇඳුම්වලින්ම ආපු ඒ අයට දැන් ඇඳුම් නෑ. මිනිස්සු ඇඳුම් එකතු කරනවා ඒ අයට දෙන්න.
ලංකාවේ සුනාමියෙන් අනාථ වෙච්ච අයට යවපු ඇඳුම්වලින් ඉතුරු වෙච්ච ටීෂර්ට් ගොඩක් අකිහිිතෝ සං අරං ගියා දෙන්න. ඒක මහා පුදුමයක්. තමන්ට කවදාවත් ඒ ඇඳුම් ආපහු අඳින්න වෙයි කියල ඒ අය හිතන්න නැතුව ඇති. යොකොහමාවල සකුරගිචෝ ඉඳන් කන්නයි වෙනකම් තියෙන සාප්පු වීදිය දෙපැත්තේ කූඩාරම් ගහල මහ සල්පිල් දාල තිබුණා. ඒ සල්පිල්වලින් හම්බ වෙන සල්ලි භූමිකම්පාවෙන් අසරණ වූ අයට යවනවා.

මුදුන් උළු ගැලවෙච්ච ගෙවල්වල වහලවලට පොලිතින් තියල තද කරගෙන වැස්සෙන් බේරෙන්න යන්තම් හදාගෙන තිබුණා. ඇලවෙච්ච බිත්ති පැළිච්ච ගෙවල්වල මිනිස්සු තාමත් ඉන්නවා. පොළොවෙ ගියත්, අහසෙ යනව වගේ ඇඟට නොදැනෙන්න යන්න හදල තිබුණු පාරවල් පැළිල, පැළිල රැුළි රැුළි හැදිලා. මිනිස්සු ගෙවල් හදන්නේ නෑ. අත ළඟ තවත් භූමිකම්පාවක් එනව කියල ඒගොල්ලෝ හිතනවා. ලොකු ”ජිෂින්” එකක් ආවම, ඒක පිටිපස්සෙන් පොඩි ඒවා වැලක් එනව. දවස් ගාණක්, මාස ගාණක් එහෙම එනවා. ඊට පස්සෙ ආයෙත් මහා එකක් ඇවිත් ඉවර වෙනවා. ඒගොල්ලො එහෙම හිතනවා.
හැමෝටම කියන්න කතාවක් තිබුණා. ඒ මහා භූමිකම්පාව ගැන. දරු මල්ලො බදාගෙන දවස් ගණන් ගෙවල් දොරවල් ඇතුළෙ හිටපු හැටි, පැය පහළොව විස්ස වාහන ඇතුළෙ හිටපු හැටි. විනාඩි හතහමාරක් එක දිගට පොළොව හෙලවෙච්ච හැටි. ඒ හැම කතාවක්ම කෙළවර කරන්නෙ ”කොවයි දෙස් නේ’ ඒ කියන්නේ ‘බයයි’ කියල දිග හුස්මක් හෙළලයි.
මං රික්කියෝ විශ්වවිද්යාිලෙ දේශනවලට යන්න ලෑස්ති වෙන කොට අකිහිතෝ සංගේ නෝන දුවගෙන ඇවිත් වතුර බෝතලේකුත් ජූස් කෑන් එකකුත් කරේ තිබුණු බෑග් එකට එබුවා. ”කන්නත් මොනවහරි දාගන්න” එයා කියනවා. මං පුදුම වුණා. ”ඇයි මේ? ජපානෙ මෙහෙම ගෙනියන්නෙ නෑනේ” මං ඇහැව්වා. ”නෑ. මොකක් හරි වුණොත්, කෝච්චි එක තැන පැය ගණන් නැවතිලා තියෙනවා. එතකොට වතුර ඕනෑ, ලයිට් ගියොත් මොකුත් කරගන්න බෑනේ” එයා කියනවා.

එහෙම වෙන්න පුළුවන්ද? මං කරබාගෙන එයාට කැමති දෙයක් කරන්න ඇරලා නිකං හිටිය. මොකුත් වුණේ නෑ. මං විශ්වවිද්යා ලෙට ගියා. ඒත් දේශනේ කර කර ඉන්දැද්දි පුටු මේස දෙදර දෙදරා දේශන ශාලාව තිබුණ පස්වැනි තට්ටුව වැනෙන්න ගත්තා. ළමයි වාඩිවෙච්ච පුටුවලම ඉඳගෙන මේස හයියෙන් අල්ලගෙන ඇස් කරකෝ කරකෝ බිරාන්ත වෙලා වහලත් බිත්ති දිහාත් බලබල හිටියා. කවුරුවත් කතා කළේ නෑ. ටිකකින් ඔක්කොම නැවතුණා. ඊළඟ දවසේ ? තනිකවා සංගේ ගෙදර ඉස්සරහ කාමරේ තතමි පැදුරේ වාඩිවෙලා මිටි මේසෙ උඩ සටහන් තියාගෙන ලිය ලියා ඉන්දැද්දි කාමරේ බඩුත් එක්ක බිත්තිත් ඔක්කොම හෙළවිලා හෙළවිලා ටික වෙලාවකින් නැවතුණා. මං ආයෙත් ලියන්න ගත්තා.
ඊළඟ දවසේ උදේ කුරුල්ලන්ගෙ පුරුදු සද්දෙ නැතුව මට හුඟක් වෙලා නින්ද ගිහිං තිබුණා. මං ඇහැරෙන කොට තනිකවා සං උදේ කෑමත් කනවා.” ඔහයියෝ ගොසයිමස් ”උදේ ලොකු ජිෂින් එකක් ආවා. දැනුණාද?” එයා මගෙන් අහනවා. ”ඇත්තද? මට දැනුනේ නෑ” මං පුදුම වෙලා කියනවා. ”එහෙම නම් ඒක කොච්චර දෙයක්ද?” එයා හෂි කෝටුවලින් කන ගමන් හිනාවෙලා කියනවා. මට මතක් වුණේ 1876 ජපානේ ඉංජිනේරු විද්යායලේ භූ ගර්භ විද්යාවව උගන්වන්න එංගලන්තෙන් ආපු ජෝන් මිලන් ලියල තිබ්බ සටහනක්. ”මෙහෙ උදේ කෑමටත් භූමිකම්පා, දවල් කෑමටත් භූමිකම්පා, ?ට කෑමටත් භූමිකම්පා, නිදාගන්න ගියාමත් භූමිකම්පා.”

පහුවැනිදා සමන් සං ලියපු ”හනමිචි’ පොත දොරට වැඞීම. ඒක තිබුණෙ සවරා පන්සලේ. හුඟක් ඈත. කෝච්චි ගාණක් මාරුවෙවී යන්න ඕනෑ. හරියටම වෙලාව ගණන් බලල පිටත් වුණා. ජපන් රටේ කවදාවත් කෝච්චි පරක්කු වෙන්නෙ නෑනේ. ඒත් තෝකියෝ ස්ටේසමෙන් කිව්වා. අද උදේ ජිෂින් එකක් ඇවිත් සවරවලට කෝච්චි යන්නේ නෑ කියල. දුම්රියපළවල පැය ගණන් ගත කරල ඉවර වෙනකොට ආයෙත් කෝච්චි යන්න පටන් අරන් තිබුණ. සවරා ඉඳන් මහ වරුසාවේ ටැක්සියක් අරං පන්සලට යද්දි ඒක එළවන ජපන් ඩර් අයිවර් තැන තැන පැළුන පාළු පාරවල් දිගේ එළවන ගමන් මා එක්ක කතාවට වැටුණා.

”ලංකාවේ ජිෂින් නැද්ද?” එයා අහනවා. ”නෑ” මං උත්තර දෙනවා. ”ඇත්තද? ජිෂින් නැද්ද? ජිෂින් නැති රටක්! කොච්චර දෙයක්ද?” එයා කියනවා. අන්තිමට පන්සලට ආවා. උත්සවේ පටන් අරන් උත්සව ශාලාවත් ඇලවෙලා තිබුණා. ඒත් මිනිස්සු මහ වරුසාවේ අකම්පිතව හිටියා. ජපන් රටේ විදුලි බලයෙන් වැඩි හරියක් හදන්නෙ පරමාණුවලින්. ෆුකුෂිමාවල තිබුණ පරමාණු බලාගාරවලින් එකක් භූමිකම්පාවෙන් කැඩුණා. ඒකෙන් විකිරණ කාන්දු වෙන්න ගත්තා. තවත් බලාගාර දෙකකින් විකිරණ කාන්දු වෙන්න ඉඩ තියෙනවා කියලා දැන් කියනවා. තෝකියෝ විදුලි සමාගම මිනිස්සු කලබල වෙයි කියල ඇත්ත කිව්වේ නෑ කියල කියනවා. පිටින් පේනවාට වඩා වැඩි දෙයක් තියෙනවා කියල මිනිස්සු හිතනවා. ඇත්ත හංගනවා කියලත් හිතනවා. ගහකොළවල විකිරණ, ගහකොළ කන කිරි හරකුන්ගෙ කිරිවල විකිරණ, වතුරෙ විකිරණ, පොළොවේ විකිරණ, වැස්සේ විකිරණ, හුළෙඟ් විකිරණ, විකිරණවලට අහුවෙච්ච මව්වරුන්ගෙ කිරිවල විකිරණ. ”භූමිකම්පාවලින් බේරුණත් පරමාණු විකිරණවලින් බේරෙන්නෙ කොහොමද? අයියෝ!” මිනිස්සු දුක්වෙනවා.
පොඩි ළමයින්ට විකිරණ ඇතුළු වෙලා ලොකු වුණාම පිළිකා හැදෙන්න ඉඩ තියෙනවා. මිනිස්සුන්ගෙ හිත්වල අවිශ්වාසය, සැක සංකාව, අවිනිශ්චිතකම, බය රජ කරනවා. විකිරණ බලපෑමෙන් බේරෙන්නෙ කොහොමද කියල ටී. වී. එකේ හැමවෙලෙම කියනවා. සුනාමියට අහු වෙච්ච හරිය තාම සුන්බුන් ගොඩක්. එහේ නැගිටින්න හදන මිනිස්සු ගැන ටී. වී. එකේ පෙන්නනවා. කඩවල, අවන්හල්වල සෙනඟ අඩුයි. බඩුමුට්ටු විකිණෙනව අඩුයි. මිනිස්සු ? බෝවෙන්න කලින් ගෙවල්වලට යනවා.

ඉස්සර දෙවැනි ලෝක යුද්දෙ කාලේ හිටිය පරණ අයට මේක හුරුයි. අලූත් පරම්පරාවට මෙහෙම දෙයක් හිතාගන්න බෑ. ජීවිතේ හැමදෙයක්ම අනිත්යයයි කියන එක ඒ අය හරියටම අත්වින්දා. තවත් මොකක් හරි දෙයක් ඇස් පනාපිට වෙයි කියල ජපන් අය හිතනවා. මං ආපහු ලංකාවට යන ප්ලේන් එක අහසට නැග්ගා. එකපාරටම හිතට සැනසිල්ලක් දැනුණා. ඒත් එහෙම හිතන එක කොච්චර වැරදිද? එකපාරටම ආපහු හිතුණා. ජපන් මිනිස්සු මට ඉගෙන ගන්න වියදම් කළා. ලෙඩ දුකට වියදම් කළා. මගෙ රටට වියදම් කළා. සමාවෙන්න. මට ආපහු බහින්න හිතුණා.


-මහාචාර්ය ගංගානාත් දිසානායකගේ පැණිවළලු කොලමෙන් උපුටා ගන්නා ලදී.-
ඔබගේ අදහස් මෙහිද සටහන් කරන්න.