තණ්හාව සහ අපි

hpalpola

Well-known member
  • තණ්හාව සහ අපි

    අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්.... සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ලස්සන සිංදුවක් බොහෝදුරට ඔබ අසා ඇති. තණ්හාව බෞද්ධයන්ට අළුත් දෙයක් නොවෙනවා සේම අන් ආගමිකයන්ටත් අළුත් දෙයක් නොවේ. සෑම ආගමකම තණ්හාව සම්බන්ධයෙන් දේශනා කර ඇත. දානය සෑම ආගමකම පවතින ඉගැන්වීමකි. තණ්හාව ක්ෂය කර ගැනීමේ සරලම විසඳුමක් වන්නේ දානයයි. බුදු දහම තුළ සියළු දුක් සඳහා හේතුව තණ්හාව ලෙසින් දක්වා තිබේ. තණ්හාව නොමැති ස්ථානය නිවන ය. ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව අනුව තණ්හාව ක්ෂය කිරීමේ මාර්ගය අන් කිසිවක් නොව ආර්යෂ්ටාංගික මාර්ගය වේ. මේ මාර්ගයේ ගමන් කිරීම බැලූ බැල්මට සරල ලෙසින් පෙනුනත් ප්‍රායෝගිකව අපහසු බව අද වන විට තණ්හාවෙන් මැඩෙන මිනිසුන් දෙස බැලීමේ දී වැටහෙයි. නමුත් දුකින් මිදීමට අවශ්‍ය නම් ආර්යෂ්ටාංගික මාර්ගය මිස වෙනත් මගක් නැත.

    තණ්හාවේ ස්වභාවය වන්නේ තමන්ගේ වාසිය තකා හෝ නොතකා දේ අල්ලා ගැනීමයි. සිතුවිලි පවා අල්ලා ගනී. බෞද්ධයන් ඉතා හොඳින් තණ්හාවේ ආකාර තුනක් දනී. ඒ කාම තණ්හාව, විභව තණ්හාව හා භව තණ්හාවයි. සංයුක්ත නිකායේ සළායතන වග්ගයේ ඡම්බුඛාදක සංයුක්තයේ
    තණ්හා සූත්‍රයේදී සැරියුත් තෙරණුවෝ මෙසේ දේශනා කරයි.

    “ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, තණ්හා තණ්හා යි කියනු ලැබේ. ඇවැත්නි තණ්හාව කවර යි. ඇවැත්නි මේ තණ්හා තුනෙකි. කාමතණ්හා ය, භවතණ්හා ය, විභව තණ්හා ය යි. ඇවැත්නි, මේ තණ්හා තුන යි. ඇවැත්නි මේ තණ්හා ප්‍රහාණය පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ තණ්හා ප්‍රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ තණ්හා ප්‍රහාණය පිණිස මග කවරේ ද පිළිවෙත කවරේ ද යි. ඇවැත්නි, මේ තණ්හා ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ තණ්හා ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.“

    සමහරුන් හිතන්නේ තණ්හාව තමුන්ට තනිවම පිරිසිඳ දැන ගත හැකි දෙයක් ලෙසිනි. ඔව් මහා පිනැත්තකුට එසේ වන්නටත් බැරි නැත. නමුත් බහුතරයකට එසේ නොවේ. තනිවම තණ්හාව පිරිසිඳ දැකිය නොහැක. එසේ දැක්කා නම් අද අපිට රහතන්වහන්සේලා දක්නට ලැබීම අරුමයක් නොවනු ඇත. සංයුක්ත නිකායේ නිදාන වග්ගයේ අභිසමය සංයුක්තයේ තණ්හා සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කරයි.

    මහණෙනි, තණ්හාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් තණ්හාව තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. තණ්හාසමුදය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් තණ්හාසමුදයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. තණ්හා නිරෝධය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් තණ්හා නිරෝධයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් තණ්හා නිරෝධාගමිනී ප්‍රතිපදාවෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.

    තණ්හාව ප්‍රහීන කිරීම සඳහා ශාස්තෘවරයකුගේ සහය අවැසි බව මෙයින් කියැවේ. අද අපට බුදුරජාණන්වහන්සේ හමු නොවේ. නමුත් උන්වහන්සේගේ ධර්මය තවමත් අප සතුව ඇත. අප ඒ තුළින් තණ්හාව ප්‍රත්‍යක්ෂව දැනීම සඳහා උත්සුක විය යුතු ය. කාරණය මෙය ඉතා අපහසු වීමයි. අපහසුවටත් වඩා මිනිසා මුළාවට පත් කරන ගුණයක් තණ්හාවේ ඇත. බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කරයි.

    භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:

    මහණෙනි, යම් සඤ්ඤෝජනයෙකින් යුක්ත වූ සත්ත්‍වයෝ දීර්‍ඝකාලයක් සංසාරයෙහි දිවෙත් ද, හැසිරෙත් ද, මහණෙනි, මේ තෘෂ්ණාසංයෝජනය යම් සේ ද එබඳු වූ අන් එකම සඤ්ඤොජනයකුදු මම ඤාණසමනුපස්සනාවෙන් නො දකිමි. මහණෙනි, තෘෂ්ණාසඤ්ඤොජනයෙන් යුක්ත වූ සත්ත්‍වයෝ දීර්‍ඝකාලයක් සංසාරයෙහි දිවෙත්, හැසිරෙත්.

    මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මෙය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:

    2 - 3. “තෘෂ්ණාව සහාය කොට ඇති පුරුෂ තෙමේ දීර්‍ඝකාලයක් හැසිරෙන්නේ මනුෂ්‍යාත්මභාවය හා අවශේෂ ආත්මභාව සඞ්ඛ්‍යාත සංසාරය නො ඉක්මෙයි. මහණ තෙමේ ස්මෘතිමත් වූයේ දුඃඛයාගේ හට ගැණීම වූ තෘෂ්ණාව මෙ බඳු ආදීනව ඇත්තේ ය යි දැන, පහ කළ තෘෂ්ණා ඇතියේ, උපාදාන රහිත වූයේ, සංසාර ප්‍ර‍වෘත්තියෙන් ඉවත් වන්නේය.“

    භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්ථය ද වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි. (
    තණ්හාසංයෝජන සූත්‍රය)

    තණ්හාවේ ස්වභාවය එයයි. තණ්හාව ගැන කෙතරම් බණ ඇසුවත් කියැවූවත් අවසන් යථාර්ථය මෙයයි.

    නොයෙකුත් කරුණු හේතුවෙන් තණ්හාව උපදී.

    මහණෙනි, යම් විෂයයෙක මහණහට තෘෂ්ණාව උපදිනී වේ ද, මේ ඒ තෘෂ්ණා උත්පාදයෝ සතරෙකි. කවර සතරහ යත්:

    මහණෙනි, චීවරහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, පිණ්ඩපාතහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, ශයනාසනහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, ඉති භවාභවසඞ්ඛ්‍යාත (චීවරාදියෙහි) ප්‍රණීත – ප්‍රණීතතරාදි හේතුයෙන් හෝ තෘෂ්ණාව උපදී.

    මහණෙනි, මහණහට යම් විෂයයෙක තෘෂ්ණාව උපදිනී වේ ද, මේ ඒ සතර තෘෂ්ණා උත්පාදයෝ ය.

    තෘෂ්ණාව දෙවෙනි කොට ගත් (=තෘෂ්ණාව සහායිකාව කොට ඇති) පුරුෂ දීර්‍ඝකාලයක් සැරිසරණුයේ ඉත්‍ථම්භාව – අන්‍යථාභාවසඞ්ඛ්‍යාත (=ඉහලොක–පරලොක) සංසාරය පැන නො යයි.

    තෙල ආදීනවය දැන, දුඃඛයාගේ සම්භවය වූ තෘෂ්ණාව දැන, පැහූ තෘෂ්ණා ඇති, උපාදාන විසින් නො ගන්නා සතිසම්පජඤ්ඤයෙහි විපුලබවට පත් මහණ වෙසේ.

    තෘෂ්ණා සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ විසින් තණ්හාව උපදින ආකාර 4 ක් දේශනා කරන්නේ ඉහත ලෙසිනි. චීවර හේතුවෙන් මහණුන් හට තණ්හාව උපදින්නේ කෙසේද ගිහියන් හට ඇඳුම් පැළඳුම් හේතුවෙන් තණ්හාව උපදී. අවුරුදු දිනට කඩපොළට ගොස් බලන්න. ඇඳුමක බලියක් ඇඳුනහොත් කල්පනා කර බලන්න. පිණ්ඩපාතය හේතුවෙන් මහණුන්නට තණ්හාව උපදින්නේ කෙලෙසද ගිහියන්ට ආහාර හේතුවෙන් තණ්හාව උපදී. ආහාර තණ්හාව නිසා කෙතරම් ප්‍රශ්න ආරවුල් ගෙදරක දිනකට ඇති වන්නේ ද? ඇඳ ඇතිරිලි හේතුවෙන් ද එසේමැයි.

    එසේම තණ්හාමූලක ධර්ම නමයක් ද බුදුරජාණන්වහන්සේ දේශනා කරයි.

    ‘මහණෙනි, තෘෂ්ණා මූලක ධර්ම නවය දෙසමි. අසවු, මොනවට මෙනෙහි කරවු, කියමි’ යි. ‘එසේය වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

    මහණෙනි, නව තෘෂ්ණාමූලකධර්මයෝ කවරහ යත්: (වස්තු සෙවීමේ) තෘෂ්ණාව නිසා (රූපාදි අරමුණු) පර්යෙෂණය, පර්යෙෂණ නිසා (රූපාදි අරමුණු) ලාභය, ලාභය නිසා විනිශ්චය ය, විනිශ්චය නිසා ඡන්දරාග ය, ඡන්දරාගය නිසා (මම ය මාගේ යයි) බලවත් සනිටුහනය, බලවත් සනිටුහන නිසා (තණ්හා දිට්ඨි වශයෙන්) පරිග්‍රහකරණ ය, පරිග්‍රහකරණය නිසා මාත්සර්යය, මාත්සර්යය නිසා ආරක්ෂාය, ආරක්ෂා හේතුවෙන් දණ්ඩාදාන ය ශාස්ත්‍රාදාන කලහ විග්‍රහ විවාද ය තෝ තෝ යි බිණුම් පෛශූන්‍යය මුසාවාදය යන අනෙක ලාමක අකුශලධර්මයෝ උපදනාහ. මහණෙනි, මේ නව තෘෂ්ණා මූලක ධර්‍ම යි.

    මෙය සඳහන්ව ඇත්තේ
    තණ්හාමූලක සූත්‍රයේ ය.

    තණ්හාවේ හැටි. ඇරඹෙන්නේ වස්තු සෙවීමේ තණ්හාවෙනි. කෙලවර වන්නේ අකුශල ධර්මයන්ගෙනි.

    ඉතින් ඔබට ප්‍රඥාවත් භික්ෂූන්වහන්සේලා සම්මුඛයට ගොස් තණ්හාව ගැන හැදෑරිය හැක. ත්‍රිපිටකයෙන් හැදෑරිය හැක. එසේ හදාරා ඔබේ ජීවිතය සතුටින් පිරුණු එකක් කර ගැනීමට උත්සුක වන්න. එය පහසු නොවේ. නමුත් කළ නොහැක්කක් ද නොවේ.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    තණ්හාව සහ අපි
    ඉතින් ඔබට ප්‍රඥාවත් භික්ෂූන්වහන්සේලා සම්මුඛයට ගොස් තණ්හාව ගැන හැදෑරිය හැක. ත්‍රිපිටකයෙන් හැදෑරිය හැක. එසේ හදාරා ඔබේ ජීවිතය සතුටින් පිරුණු එකක් කර ගැනීමට උත්සුක වන්න. එය පහසු නොවේ. නමුත් කළ නොහැක්කක් ද නොවේ.

    🙏
     
    • Like
    Reactions: Killer Clown

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මේ තණ්හා තුනෙකි. කාමතණ්හා ය, භවතණ්හා ය, විභව තණ්හා ය යි
    මේ තුන පැහැදිලි කරල දෙන්න. තුනේ වෙනස