තරුණයෙකු දුම්රියේ ගැටී මියයාම ගැන මව්පියන්ගෙන් පොලීසියට චෝදනා
අඟුලාන ප්‍රදේශයේ තරුණයෙකු මියයාමක් සම්බන්ධයෙන් එම තරුණයාගේ මව්පියන් පොලීසිය වෙත චෝදනා එල්ල කරයි.
අඟුලාන ප්‍රදේශයේ නිවසක ඊයේ (14) රාත්‍රි පැවති සාදයක් අතරතුරදී කලහාකාරී ලෙස හැසිරුණු තරුණයෙකු සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.
පසුව අඟුලාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ පැමිණ තරුණයා රැගෙන යාමට කටයුතු කළ අවස්ථාවේ තරුණයා පොලිසියෙන් මිදී පළාගොස් තිබේ.
පොලිසියෙන් පළාගිය තරුණයාව සිය මව්පියන් යළි නිවස වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති අතර ඔහු රාත්‍රී ආහාරයද ගෙන නින්දට ගොස් තිබිණි.
අනතුරුව අද (15) අලුයම පොලිස් නිලධාරීන් පිරිසක් යළි තම නිවස වෙත පැමිණි බවත් එහිදී සිය පුත්‍රයා ඔවුන්ගෙන් මිදීමට පළා ගිය බවත් තරුණයාගේ මව්පියන් පවසයි.
පසුව අද පෙරවරු 7ට පමණ සිය පුත්‍රයා දුම්රියට පැන ජීවිතක්ෂයට පත්වූ බවට පොලිස් නිලධාරීන් තමන්ව දැනුම්වත් කළ බව මියගිය තරුණයාගේ මව්පියන් පැවසුවේය.
මියගිය තරුණයාගේ පියා,
"නිදාගෙන හිටියා. පොලීසිය ඇවිත් දොරට ගැහුවා. ඇරපන් ඇරපන් දොර කිව්වා. ඊට පස්සේ, සුපුනා උඹ කේස් එකක් දාගත්තානේ පිටිපස්සේ දොරනේ පැනලා යන්න කිව්වා. පැනලා යද්දි මුළු ගේම තුන්දෙනෙක් බැලුවා. අනිත් තුන්දෙනා වැල්ල දිගේ පන්නාගෙන ගියා. 7.30ට විතර ආරංචි වුණේ කෝච්චියට පැනලා කියලා."
මියගිය තරුණයාගේ දේහය අඟුලාන සුසාන භූමිය අසළ දුම්රිය මාර්ගයේ තිබී අද පෙරවරුවේ සොයාගැනුණි.
මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි සුපුන් රන්දික නැමැති තරුණයෙකි.
මියගිය තරුණයාගේ මව,
"එක කොල්ලයි. අනේ පොලීසිය උදේම ඇවිත් කිව්වා භාරවුණේ නැත්නම් මූව හයිකෝට් දානවා. මූව දීපන් කිව්වා. අනේ මූ දිව්වා. ගෙයින් දුවද්දි කෝච්චියෙන් වැදුනේ..."
මේ පිළිබඳව අඟුලාන පොලිස් ස්ථානයෙන් අප කළ විමසීමකදී ඔවුන් පැවසුවේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අද අලුයම එම නිවස වෙත නොගිය බවය.

