ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ වාසිය ලබා ගැනීම සඳහා තෙල් ගබඩා කිරීමට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ ටැංකි විසි හතක් (27) ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කරන ලද ඉල්ලීමක් ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
දැනට භාවිතයට ගත නොහැකි තත්ත්වය පවතින ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඇති තෙල් ටැංකි අලුත්වැඩියා කර භාවිතයට ගැනීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ගෙන් මෙම ඉල්ලීම කර තිබිණ.
එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ දැනුම් දීම වී ඇත්තේ, අවශ්‍ය නම් ඉන්දියාව අලුත්වැඩියා කර එම තෙල් ටැංකි ලබාදිය හැකි බවය.
ලබාගැනීමට අදහස් කළ එම තෙල් ටැංකි මාස හයක කාලයක දී අළුත්වැඩියා කිරිමටත්, මේ සඳහා වැය වන පිරිවැය සදහන් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අමාත්‍ය මහින්ද අමරවීරට වාර්තාවක් ලබා දී ඇති බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ලංකා IOC සමාගමට ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 100 ක ප්‍රමාණයක් අවුරුදු 35 ක බදු කාලයකට 2002 වසරේදී ලබාදී ඇති අතර, ඉන් චීනවරාය ප්‍රදේශයේ පවතින හොඳ තත්වයේ ඇති ටැංකි 15 ක් IOC සමාගම භාවිතා කරයි. ඊට අමතරව එම කොටසේ තෙල් ටැංකි දෙකක්ද ලිහිසි තෙල් සඳහා ටැංකි කීපයක්ද IOC සමාගම ඉදිකර ඇත.
(ලසන්ත රුහුණගේ - අනිද්දා පුවත්පතින්)

