ජනාධිපතිවරණයට පෙර "ඩොලර් බිලියන 40ක් කියන්නේ ණයක්ද?" කියා ඇසූ නායකයා , අද පාර්ලිමේන්තුවේ සිට "මේක රටක් නෙවෙයි හුන්ඩුවක්" කියමින් වැලපුනි.
සැබෑ නායකයෙක් සහ මං පොර මානසිකත්වයෙන් ඉන්නා නායකයෙක් අතර වෙනස මෙතැනදී පැහැදිලි වේ. සිංගප්පූරුව යනු ලංකාවට අසූ ගුණයකින් පමණ කුඩා, ස්වභාවික සම්පත් පවා නැති ඇත්තටම හුන්ඩුවක් වැනි රටකි. නමුත් එහි නායක ලී ක්වාන් යූ කවදාවත් සිංගප්පූරුව හෑල්ලු කළේ නැත. ඔහු කිව්වේ අපිට භූමියෙන් ලොකු වෙන්න බැරි නම්, අපි බුද්ධියෙන් සහ දක්ෂතාවයෙන් ලෝකයට වඩා ලොකු විය යුතුයි කියාය. ඔහු ඒ හුන්ඩුව රත්තරන් කළේය. නමුත් අපේ නායකයා හැසිරෙන්නේ හරියට ඒ සිංගප්පූරුව පාලනය කරලා පස්සෙ අපේ උවමනාවට ලංකාව බාරගත් කෙනෙක් වගේය. ඔහුට අනුව වැරැද්ද තියෙන්නේ රටේ මිස ඔහුගේ කළමනාකරණයේ නොවේ.
අපිට අසන්නට ඇත්තේ මෙච්චරය. හුන්ඩුවක ජනාධිපති වෙලා ඉන්න ලැජ්ජ නැද්ද?" රටක් පාලනය කරන්න එන්නේ ඒ රටේ තියෙන අභියෝග භාරගන්න මිසක්, බලයට ආවාට පසු රට හෑල්ලු කිරීමටද ?
ජනාධිපතිවරයෙකුගේ වගකීම රටේ ප්‍රශ්න විස්තර කිරීම නොව, විසඳුම් සෙවීමය. නමුත් අපට අද ලැබී ඇත්තේ ප්‍රශ්න විස්තර කරන්නෙකු සහ ප්‍රශ්න පත්තරයක් කියවන නිවේදකයකු මිස විසඳුම් සොයන්නෙකු නොවේ.
රටක විධායක ජනාධිපතිවරයෙක් යනු මුළු රටම මෙහෙයවන CEO කෙනෙකි. ඔහු පාර්ලිමේන්තුවට අවුත් තෙල් ටැංකිය හිස් වෙන්න ඕනෑ අනිත් නැව පුරවන්න වැනි ගබඩා භාරකරුවෙකුගේ (Storekeeper) කතා කීම විහිළුවකි. ලෝකයේ දක්ෂ නායකයන් කරන්නේ රටේ සැපයුම් දාමය (Supply Chain) කළමනාකරණය කරන ස්වයංක්‍රීය පද්ධති හැදීම මිස, ටැංකියේ මට්ටම මැන මැන පෝලිම් සාධාරණීකරණය කිරීම නොවේ. නායකයෙක් අර්බුදයක් හමුවේ රට හුන්ඩුවක් කියා හෑල්ලු කරන විට, එම රටේ ජනතාවගේ සහ ආයෝජකයින්ගේ බලාපොරොත්තු බිඳ වැටීම පුදුමයක්ද? හොඳම උදහරණය ඊයේ (04/03/2026) කොටස් වෙළඳපොලයි.
එය ඉතිහාසයේ අවම කඩා වැටීම සිදුවිය. (මේ කතාව නිසා එය සිදුවුවා යයි මා නොකියන අතර මෙවැනි කතාද ඒ සඳහා සෘජුවම බලපෑම් කරනු ඇත.)
අද පරණ අය මුකුත් කළේ නැහැ කියන නායකයාට එක දෙයක් මතක් කළ යුතුය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය විදේශ ආයෝජන මගින් සංවර්ධනය කරන්න හදන සෑම විටම පාරට බැස රතු කොඩි වැනුවේ කවුද? රට විකුණනවා කියමින් උද්ගෝෂණය කර ආයෝජකයන් අධෛර්යමත් කලේ කවුද? ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් පමණක් රට ගොඩදාන්න පුළුවන් යැයි එදා වේදිකාවල කෑගැසූ ඇමතිවරුන්, අද වසරකට වැඩි කාලයක් බලයේ සිටියදීත් තෙල් පෝලිම් නිර්මාණය වීම දෛවයේ සරදමකි.
ත්‍රිකුනාමලයේ තෙල් ටැංකි 99 ප්‍රයෝජනයට ගෙන පිරිපහදු මධ්‍යස්ථානයක් (Refinery Hub) විදිහට දියුණු කළා නම්, අද සිංගප්පූරුව මෙන් අපිත් ලෝකයට තෙල් විකුණන රටකි.
ට්‍රාන්ස්ෆෝමර් ගිනි තබමින්, බස් රථ සහ රජයේ දේපොළ බිලියන ගණනින් විනාශ කළ ඉතිහාසයක් ඇති පිරිසක්, අද පරණ අය රටට මුකුත් කළේ නැහැ කීම ලොකුම විහිළුවයි. එදා රටේ දේපොළ විනාශ නොකළා නම්, එදා ආයෝජනවලට පයින් නොගැසුවා නම්, අද ලංකාව ඔබට අනුව මෙවැනි හුන්ඩුවක් වන්නේ නැත.
දක්ෂ නායකයෙක් නම් මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද?
1) ලෝකයේ පවතින යුදමය තත්ත්වයන් ආශීර්වාදයක් කරගෙන අපනයන වෙළඳපොළවල් අල්ලා ගැනීම.
2) අපට ඇති අවස්ථාවන් පිළිඹඳ ඒ පිළිඹඳ විශේෂඥ අය වහාම කැඳවා ඔවුන්ගෙන් අදහස් විමසා ඒවා ක්‍රියාත්මක කිරීම.
4) පක්ෂයේ කාඩර්වරු වෙනුවට විෂය ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කර තීරණ ගැනීම.
3) BOI එකේ හිරවී ඇති ආයෝජන යෝජනා සතියකින් අනුමත වන සේ පද්ධතිය සකස් කිරීම.
5) ලංකාවේ ආයෝජනයක් කරන ව්‍යාපාරකයෙකුට අනුමැතිය ගැනීමට ආයතන විස්සකට පමණ යා යුතු වන අතර මෙවැනි දේවලට සියල්ල එකම වහලක් යටට (Single Window) ගෙනැවිත්, සතියකින් ආයෝජනයට ඉඩ හදා දීම වැනි ආයෝජකයින් ආකර්ශනීය වන තීරණ ගැනීම.
6) සෑම තානාපති කාර්යාලයකටම වාර්ෂිකව ලබාගත යුතු ආයෝජන ඉලක්ක (KPIs) හඳුන්වා දීම.
7) සාම්ප්‍රදායික අධ්‍යාපනය වෙනුවට කෘතිම බුද්ධිය (AI), රොබෝ තාක්ෂණය සහ නවීන කෘෂිකර්මාන්තය වැනි අංශ සඳහා තරුණ පරපුර කඩිනමින් පුහුණු කිරීමේ ව්‍යාපෘති ඇරඹීම.
පද්ධතිය හැදෙන්නේ නායකයාට නිවැරදි දර්ශනයක් සහ දක්ෂ කණ්ඩායමක් සිටින විට පමණි.
නායකයෙක් යනු පෝලිම් ගැන පාර්ලිමේන්තුවේ පැහැදිලි කරමින් වැළපෙන මීටරයක් නොව, රටට ඩොලර් ගෙනෙන එන්ජිමක් විය යුතුය!
ප්‍රසංග අල්විස්