තෝරා ගැනීමේ බලය ( Power of Choose)

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    තෝරා ගැනීමේ බලය ( Power of Choose)

    තෝරා ගැනීමේ බලය ( Power of Choose)

    “ මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ සර්. ජීවිතේ කිසි ම දවසක මට කැමති දේවල් මේ ජීවිතෙන් මට ලැබුණේ නෑ. හැමදාමත් එහෙමයි. ආදරය ගැන හිතුවත්, රස්සාවක් ගැන හිතුවත්, කැමති වාහනයක් ගැන හිතුවත් කිසි ම දෙයක් මට කැමති විදියට ලැබුණේ නෑ. මේ නිසා ම මට දැන් එපා වෙලා තියෙන්නේ. අපි කැමති දේවල් නැති ජීවිතයකට වඩා, අපි කැමති දේවල් තියෙන ජීවිතයක් දිනා ගන්නේ කොහොම ද සර්?”

    මේ වයස අවුරුදු 25 ක තරුණයෙකුගේ චෝදනාවක්. වෙන කිසිම දෙයක් සම්බන්ධ ව නොවෙයි. ඔහුගේ ම ජීවිතය සම්බන්ධව. ඔහු ඉන්නේ කලකිරීමෙන්. හේතුව තමන්ගේ ජීවිතය තුල තමන් කැමති දේ වෙනුවට, තමන් ප්‍රිය නොකරන දේ පමණක් තමන්ට ලැබීම. ඇත්තට ම ගත්තොත්, ජීවිතේ තමන්ට ලැබෙන නොලැබෙන දේ සම්බන්ධයෙන් තීරක බලය තියෙන්නේ කා ගාව ද? ඒක මේ තරුණයා හිතන විදියට වෙනත් පාර්ශවයක් විසින් තීරණය කරනු ලබන්නක් ද? නැත්නම්, තමන් විසින් තමන්ගේ ඉරණම ලියා ගන්න දරන උත්සාහයක ප්‍රතිඵලයක් විදියට තමන්ගේ ජීවිතය තමන්ට ලැබෙනව ද? මේ ගැනයි අද අවධානය යොමු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ.

    අපි කැමති වුණත් නැති වුණත්, මේ සොබාදහමේ නියතියකට අපිට එකඟ වෙන්නට සිදු වෙනවා. හිතන්න. මේ ලෝකේ අපි හැමෝම උපත ලබන්නේ කිසිවකුත් නැතිව. ඒ වගේ ම කොච්චර හම්බ කලත්, දේපල වස්තුව ගොඩ ගැහුවත් අපිට යන්න වෙන්නේ කිසිවකුත් නැතිව. අපි මේ ලෝකෙට එනකොට එන්නේ නිරුවතින්. අපිට ඇඳුම අන්දන්නේ අපේ දෙමව්පියෝ. ඒ වගේ ම අපි මේ ලෝකෙන් යනකොට යන්නේ කිසිවක් ම නැතුව. මල් ශාලාවෙදි අපිට ඇඳුම ඇන්දෙන්නේ අපේ දරුවෝ, එහෙම නැත්නම්, කවරෙකු හෝ අපව රැක බලා ගන්නෙකුගේ මැදිහත් වීම නිසා. ජීවිතේ නියතිය තමයි, ඔබට කිසි ම දෙයක් අරගෙන එන්නත් බෑ. කිසි ම දෙයක් අරගෙන යන්නත් බෑ. (Nothing more, nothing less). කිසිම දෙයක් අරගෙන එන්නත් බැරි, කිසි ම දෙයක් අරගෙන යන්නත් බැරි ලෝකයේ අපි කැමති විදියට දේවල් උපයලා, කැමති විදියට ජීවත් වෙලා, කැමති විදියට මැරිලා යන එක, අපි මේ ලෝකෙට ආපු දවසේ ඉදන් අපි කරන දේවල්වල ප්‍රතිඵලයක් විනා, පරිබාහර කෙනෙකුට පාලනය කරන්න පුළුවන් දෙයක් විදියට නෙවෙයි මම නම් දකින්නේ. අපිට ලැබෙන හැම දෙයක් ම අපේ ජීවිතයේ අපි කරපු දේවල් වල හෝ නොකර සිටීම්වල ප්‍රථිඵල. සරළව ම කිව්වොත්, ගේමට බහින විදිය, ගේම ගහන විදිය අනුව තමයි ඔයාට ලැබෙන රිසල්ට් එක තීරණය වෙන්නේ.

    නමුත් අපේ තරුණ තරුණියෝ බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය තීරණය කරන්නේ තමන්මයි කියන මේ කාරණය තේරුම් අරගෙන නෑ. තමන්ට ලැබෙන්නේ තමන් තෝරා ගන්නා ජීවිතයමයි කියන කාරණය ගැන ඔවුන්ට වගකීමක් නෑ. මේ නිසා ම, තමන්ට ලැබුණු ජීවිතය සම්බන්ධයෙන් කෙනෙකුට චෝදනා කරන තරුණ තරුණියන් වැඩි වශයෙන් මට හමු වී තිබෙනවා. නිකමට හිතන්න. මේ රටේ උපාධියක් අරගෙන විශ්ව විද්‍යාලයෙන් පිටවෙන තරුණ තරුණියන් ඉන්නවා. ඔවුන්ගෙන් ඇතැමෙක් උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ කෙලින් ම යන්නේ ලිප්ටන් වටරවුමට. ඉල්ලන්නේ රස්සාවක්. කාගෙන් ද? ආණ්ඩුවෙන්. රටක උපාධියක් ගන්න තරුණයෙක්ට, තරුණියක් ට සාධාරණ අවස්ථා නිර්මාණය කරන එක ආණ්ඩුවකට පැවරෙන එක වගකීමක් තමයි. නමුත්, උපාධි අරගෙන විශ්ව විද්‍යාලයෙන් පිටවෙන හැම තරුණයෙක් ම තරුණියක්මත් ආණ්ඩුවෙන් රස්සා ඉල්ලනව ද? ඒ වෙනුවට තමන්ගේ මැදිහත්වීමෙන් උවමනාවෙන්, තමන්ට කැමති රස්සාවක් හොයා ගන්න, කැමති විදියට රස්සාවක් කරන, එහෙමත් නැත්නම්, බිස්නස් එකක් හරි කරන තරුණ තරුණියෝ නැද්ද? ඉන්නවා. එහෙම නම්, ජීවිත තීරණය වෙන්නේ තමන් වැඩ කරන විදිය අනුව ද? නැත්නම්, පරිබාහිර සාධකයක් මත ද? මගේ දැඩිව විශ්වාස කරන්නේ ඔබ කැමති ජීවිතය ඔබට ලැබෙන්නේ ඔබ වැඩ කරන විදිය අනුව විනා, පරිබාහිර පුද්ගලයින් හෝ සාධක ක්‍රියාත්මක වෙන ආකාරය මත නොවේ කියන එක.

    මම දැක්කා එක්තරා ෆේස්බුක් කමෙන්ට එකක තියෙනවා, ඒ පුද්ගලයා විශ්ව විද්‍යාලයෙන් පිටවුණා කියන්නේ අවුරුදු 27 දී. දැන් වයස 39 ක් කියලා දාලා තිබුණා. ඔහු කමෙන්ට් එකේ චෝදනා කරලා තිබුණේ තමන් අවුරුදු 12 ක් තිස්සේ රැකියා විරහිතයි කියලා. කවුද ඒ රැකියා විරහිත ජීවිතය තෝරාගෙන තියෙන්නේ? ඔබ හිතනව ද ඔහුගේ ම වයසේ, ඔහුගේ විශ්ව විද්‍යාල බැඡ් එකේ අනික් සේරමත් රැකියා විරහිතයි කියලා. ඒ වගේ ම ආණ්ඩුවේ රස්සා කරන අය කියලා. නෑ. ඔවුන් මොනම හෝ වෘත්තියක් තෝරා ගනිමින් ගමන ආරම්භ කරලා ඇති. ඒ වගේ ම, ආණ්ඩුවේ රස්සාවක් නොලැබුණ තැන, පෞද්ගලික අංශයේ රැකියාවකට ගිහින්, ඒ ඔස්සේ තමන් කැමති උසස්වීමට ගිය, තමන් කැමති වැටුප් තලයට ගිය, තමන් කැමති ජීවිතයක් ගත කරන අයත්, ඔහුට තමන්ගේ ම විශ්ව විද්‍යාල ජීවිතයේ යහළුවන් අතරින් සොයා ගන්න බැරි වෙන එකක් නැහැ. ඔබේ ජීවිතය නිශ්චිත වශයෙන් ම තෝරා ගන්නේ ඔබ. වෙනත් කිසිවෙකුට බෑ ඔබට බලපෑම් කරන්න.

    තමන් අභිමත ජීවිතය තෝරා ගැනීම සහ ඒ වෙනුවෙන් කැපවීම කියන්නෙත් වැඩක්. ජීවිතයේ රස්සාවල් වලට, වාහන වලට, සුපිරි පන්නයේ නිවාසවලට ආස වෙලා විතරක් බෑ ඒවා දිනාගන්න. ඒවාට කැමති වීම සහ ඒවා වෙනුවෙන් කැපවීමට කැමති වීමත් මතයි ඒවා තමන්ට ලැබෙනවා ද නැද්ද කියන කාරණය තීරණය වෙන්නේ. ප්‍රශ්නය තිබෙන්නේ අපේ ගොඩක් තරුණ තරුණියෝ දේවල වලට ආසයි. නමුත් ඒවා ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙලට ආස නෑ. ඒ වෙනුවෙන් කල යුතු කැපකිරීමට ආස නෑ. ඉතින් ඒ නිසා ම ඒ ලොකු හීන දිනාගන්න, ඒ තමන් කැමති ජීවිතය තුල ජීවත් වෙන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නෑ.

    අන්න ඒ නිසා තමයි මම කියන්නේ ඔබ කැමති ජීවිතය තෝරා ගැනීම වගේ ම, ඒ ජීවිතය තුල ජීවත්වීම වෙනුවෙන් කල යුුතු වෙහෙසකාරී කැපවීම තෝරා ගැනීමත් කියන්නේ වැඩක්. ඒක ලේසි වෙන්නේ නෑ. නිසැකව ම ඒක වේදනා දෙන ක්‍රියාදාමයක්. නමුත් අවසානයේ දී ඒ ක්‍රියාදාමය ඔස්සේ යන්නට ඔබ තීරණය කලොත් එහි ප්‍රතිඵලය නිසැකව ම, ඔබ කැමති ජීවිතය ලැබීමයි කියන එක අමතක කරන්න එපා. කෙනෙක්ට පුළුවන් තමන් කැමති ම රෙස්ටොරන්ට එක ඉස්සරහා ඉදගෙන අතේ සල්ලි නැති නිසා පෙට්ටි කඩෙන් කාලා සැනහෙන්න. කෙනෙක්ට පුළුවන් තමන් කැමති ම වාහනේ ගන්න තමන් ගාව සල්ලි නැති නිසා, පාපැදියේ යන ගමන් එවැනි වාහන පාරේ යනවා දැක්කා ම අනේ අන්න මම කැමති වාහනේ කියලා සුසුම් හෙලන්න. නමුත් මතක තියා ගන්න. ඒකට ආස වෙන එක තෝරා ගන්න එක පමණක් ජීවිතයට මදි. ඒවාට යන්නේ කොහොමද? ඒ සඳහා මා කල යුත්තේ කුමක් ද කියන එකත් ඒ ගමන්ම තෝරා ගන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඔබ ක්‍රියාදාමය තෝරා ගන්නේ නැතිනම්, ඔබට ඊට අදාල ප්‍රතිඵල නොලැබෙන බව මතකයේ තියාගෙන මේ සතියේ ඔබ වෙනුවෙන් මොනවා ම හරි කරන්න උත්සාහ කරන්න.

    අභිප්‍රේරක/ පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු

    භාතිය අර්ථනායක