දකුණු පළාතට ආවේණික වෙච්චි වෙනමම ආහාර සංස්කෘතියක්

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    ජාඩි
    _______

    දකුණු පළාතට ආවේණික වෙච්චි වෙනමම ආහාර සංස්කෘතියක් තියේ නොවැ.
    බත් එක්ක මී කිරි, බත් එක්ක ජූල් කිරි, මාලු ඇඹුල් තියල්,ජාඩි,කලු දොදොල් වගේ වෙනස් ආහාර රටාවක් මේ පළාතේ තියෙනවා..රුහුණ මි කිරි වලට ප්‍රසිද්ධයිනෙ කොහොමත් ..රුහුණෙ ඇඹුල් තියල් ගැන ඔහෙලා ගොඩක් දෙනා අහලා තියන නිසා මන් කතා කරන්න හිතුවා ජාඩි ගැන.
    දකුණේ මුහුදුබඩ පළාත්වල සැකසෙන සුවිශේෂ ආහාරයක් තමා මේ ජාඩි..අතිරික්ත මාළු අස්වැන්න කල්තබා ගන්න පාවිච්චි කරන එක්තරා උපක්‍රමයක් විදියට මේ ජාඩි දැමිල්ල හඳුන්වල දෙන්න ඇහැකි .අලුත් ම අලුත් මාළු වලට ඇල් වතුර බිංදුවක්වත් මුහු කරන්නැතිව කරන ජාඩි දැමිල්ලත් අපේ වෙනමම කලාවක්.

    කුම්බලාවා ,බලයා,හුරුල්ලා,අලගොඩුවා වගෙ ලොකු පොඩි භේදයක් නැති ව ජාඩියට මාලු වර්ග තෝරා ගතහැකි.අලුත්ම අලුත් මාලු වල ඔලුවයි බඩයි අහක් කරලා ඇල් වතුර බිංදුවක්වත් දාන්නැතිව තනිකරම ලුණු වතුරෙන්ම සෝදලා සුද්ද කරගෙන ලොකු එවුන්ගෙනම් පෙති කපාගන්නෝනෙ.ඊට පස්සෙ වතුර නැති හොඳ ට වේළුන මුට්‍ටියක් අරගෙන ඒකෙ යටටම ලුණු කැට සහ ගොරකා යහමින් දාපු මිශ්‍රණයේ තට්ටුවක් අතුරන්න ඕනෙ..ඒ උඩින් මාලු තට්ටුවක්.ආයෙ ලුණු ගොරකා තට්ටුවක්..මේ යොදන ලුණු ප්‍රමාණයෙත් සීමාවක් තියේ ..ලුණු අඩු වුනොත් පණුවො හැදෙනවා..වැඩි වුනොත් ජාඩියේ ලුණු රහ වැඩිවෙලා කන්න බැරි වෙනවා.ඔහොම හට්ටිය පිරෙනකල් තට්ටු ක්‍රමේට අතුරගන්නෝනෙ..ඊට පස්සෙ හට්ටියේ කට හොඳ ට වැස්මකින් බඳින්නෝනෙ.. වතුර නොවැටෙන වියළි ආරක්ෂිත තැනකින් තියනෙක තමා සුදුසුම..ගොඩක් වෙලාවට ගෙවල්වලනම් හොඳ ම තැන දුම්මැස්ස..වතුර යාන්තම් හෝ මුහු වුනොත් තමා ජාඩියේ පණුවො හැදෙන්නෙ.ඒ නිසා වතුර නොපෙන්වා ඉන්න පරිස්සම් වෙන්නෝනේ..මාසයක් විතර හොඳ ට වහලා තිබ්බාම ඇති හොඳ ට පදම් වෙනවා..එහෙම තමා ජාඩි හදාගන්නෙ.

    දැන් මේ ජාඩි කෑමට ගන්න පුලුවන් ..ජාඩි හොද්ද කියන්නෙත් බත් මැරිය හැකි දෙයියෙක්. තක්කාලි,ළූණු,මාළු මිරිස්,රම්පෙ,කරපිංචා,කහකුඩු,මිරිස්කුඩු,පොල් කිරි.තමා ජාඩි හොද්දට ඕන කරන කලමනා ටික.හෑස් හූස් ගාලා කන්න පුලුවන් ගානට සැරට කොච්චි කරල් කීපයකුත් දාලා දියකිරෙන් තැම්බීගෙන එද්දි මිටිකිරි එකතු කරලා හොද්ද හිටින්න පැහෙන්න දෙන්න තියෙන්නෙ .රතු කැකුළු බතට පොල් සම්බෝලයක් එක්ක ජාඩි හොද්ද සෙට් උනාම පට්ට රහයි.කොස් ,දෙල් තම්බලා පොල් එක්ක කන්නත් ජාඩි හොද්ද ජාති.ජාඩි හොදියි පොලුයි බතුයිත් පට්ට ඈ

    ජාඩියෙන් ජාඩි හොද්ද හදලා කාලා ඉවරයි දැන් අපි.තව රහම දෙයක් තියේ ..ජාඩියේ අතුරු ඵලයක්..අපි ඒකට කියනවා ලුණිජ්ජ කියලා.මේ ලුණිජ්ජ එක්තරා ආකාරයක රසකාරකයක්.මාලු ,ලුණු ගොරකා එක්ක පදම් වෙනකොට මුට්ටියේ ඉතිරි වෙන දියරට තමා ලුණිජ්ජ කියල කියන්නෙ .කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නැති රසකාරකයක් .පොළොස්, කෙහෙල්මුව හදනකොට මේවා ටිකක් ඇඩ් කලාම මරු.

    අපේ සමාජෙ ජනප්‍රිය කතාවක් තියේ ."ජාඩියට මූඩිය වගේ " කියල .ඔහෙලා අහලා ඇති .මේක හැදෙන්න නිධාන කතාව සපයන්නෙත් ජාඩියම තමා .ඉස්සර මහා පරිමාණයෙන් ජාඩි දාලා කඩවල තියලා විකුණුවලු..ලොකූ පීප්පවල තමා ජාඩි දාලා තියෙන්නෙ .ඉතින් දැන් ඔහෙලා දන්නවනෙ..ජාඩිය ටොප් එකට එන්නනම් හොඳ වැස්මකින් වහන්න ඕනෙමයි කියල .පීප්පෙ කට වැහුවෙ මූඩියෙන්..ජාඩි කෝස් එකේදි මේ පියන හොඳටම සෙට් වෙන්නෝනෙ.නැත්නම් ජාඩියේ පණුවො හැදෙන්න ඉඩ තියේ..ජාඩියට මූඩිය ටක්කෙටම සෙට් වුනොත් තමා ජාඩිය මරු පහට හැදෙන්නෙ.
    ඒක තමා ජනවහරෙට ආවෙ තකට තක සෙට් වෙන දෙන්නෙක්ට ජාඩියට මූඩිය වගේ කියල ..
    හරියට අපේ අන්කල් ලූකස් ඈන්ඩ් අන්කල් අතුලයි වගේ 😁😁
    එහෙනම් ආයෙ හම්බෙමු ඈ

    සඳූ..✍️
    ( උපුටන සදු කරුණාසේකර ගෙනි)