පොහොර ප්රශ්නය, තෙල් ප්රශ්නය, ගෑස් ප්රශ්නය, ආහාර අර්බුදය, විදේශ සංචිත අර්බුදය, මිනිසුන් ලක්ෂ ගණනින් රට අතහැරලා යාම වගේ දරුණු ප්‍රශ්න ගොඩක් හදාගත්තට පස්සේ හරි නම් රටක ආණ්ඩුවට කටඋත්තර නැති වෙලා තියෙන්න ඕනෙ.
ඒත් මේ තරම් අවුල් ගොඩක් හදාගෙනත් ලංකාවේ ආණ්ඩුව සහ ඒ ආණ්ඩුවේ ඉන්න දේශපාලකයන් තවමත් මේ තරම් පට්ටපල් බොරු කියලා රටේ මිනිසුන්ව රවට්ටන්න පුළුවන් කියලා හිතන්නේ ඇයි කියලා හිතලා තියෙනවද?
මේ ආණ්ඩුව විතරක් නෙවෙයි, ලංකාවේ බලයට එන හැම ආණ්ඩුවක් ම රටේ ඉන්න මිනිස්සුන්ට ඉස්කෝලේ යන පුංචි ළමයින්වත් පිළිගන්නේ නැති විදියේ අමූලික බොරු කියනවා. ඒ බොරු ලංකාවේ මාධ්‍යවල පළවෙනවා. ලංකාවේ බුද්ධිමතුන් යැයි කියන අවස්ථාවාදීන් ඒ බොරු විශ්ලේෂණය කරනවා. මිනිස්සුත් ඒවා පිළිගන්නවා.
එහෙම වෙන්නේ ලංකාව "දේශපාලන වහල්කම" කියන එක ඉතා ම උග්‍ර විදියට තියන රටක් නිසා. ලංකාවේ ඉන්න මිනිසුන්ගෙන් අති බහුතරයක් දේශපාලන වහලුන්. සමහරුන් ඇතුළතින් වගේ ම පිටතිනුත් වහලුන්. තවත් සමහරුන් පිටතින් වැඩිය නොපෙන්නුවට ඇතුළතින් වහලුන්.
මම ක්‍රියාකාරී දේශපාලනයේ යම්කිසි අත්දැකීම් ප්‍රමාණයක් ලබලා තියන නිසා මේ දේශපාලන වහල්කම බොහෝ අයට වඩා හොඳට දැකලා තියනවා. විවිධ මට්ටම්වල දේශපාලන වහලුන් එක්ක ගනුදෙනු කරලාත් තියනවා. ෆුට්බෝල් තරගයකට ගියාම ෆුට්බෝල් ගහන්න ඕනෙ වගේ දේශපාලනයේ ඉන්නකොට මේ වහලුන් එක එක විදියට පාවිච්චි කරන්න ඕනෙ.
දේශපාලන වහලාට නිතර ම තමන් කැමති පක්ෂයක් තියනවා. ඒ වගේ ම තමන් කැමති දේශපාලන නායකයෙක් ඉන්නවා. මේක කැමැත්තකට වඩා එක්තරා විදියක 'ස්වාමිත්වයක්'.
දේශපාලන වහලෙකුට හැම වෙලාවෙම 'ස්වාමියෙකු' නැතුව පවතින්න බැහැ. මේ ස්වාමියා හුඟක් වෙලාවට තමන් කැමති දේශපාලන පක්ෂය සහ එහි නායකයා - එහෙමත් නැත්නම් ඒ පක්ෂය ඇතුළේ ඉන්න දේශපාලනඥයෙක්.
දේශපාලන වහලා නිතර ම තමන් හිතන විදිය පිළිබඳ ආධිපත්‍යය ස්වාමියාට පවරලා තියනවා. ඒ නිසා ස්වාමියා කියන මොන ගොන් කථාව වුනත් වහලා පිළිගන්නවා. ස්වාමියා මොන බොරුව කිව්වත් වහලාට ඒක ඒකාන්ත සත්‍යයක් වෙනවා. ස්වාමියා කරන හැම වැඩක් ම වහලා වහලා සාධාරණීකරණය කරනවා.
ඇතුළතින් වගේ ම පිටතිනුත් දේශපාලන වහලුන් වූ අය දේශපාලන පක්ෂවල රැස්වීම් වලට යනවා. ශාඛා සමිති, කාන්තා සමිති වගේ ඒවාට බැඳෙනවා. ක්‍රියාකාරීව ඒ පක්ෂවලට වැඩ කරනවා. නොයෙකුත් ආකාරයට තමන් ගේ ස්වාමිවරුන් වෙනුවෙන් වැඩ කරනවා.
ඇතුළතින් පමණක් වහලුන් වූ අය මනසින් කිසියම් පක්ෂයක් අල්ලගෙන ඉන්නවා. ඔවුන් එළියේ ඒ පක්ෂය වෙනුවෙන් වැඩක් නොකරනවා වෙන්න පුළුවන් - ඒත් ඇතුළතින් කැමැත්තක් තියනවා. ඔවුන් නිතර ම තමන් කැමති පක්ෂයේ නායකයා කියන කතාව හරියි කියලා හිතනවා. තමන් කැමති පක්ෂයේ නායකයා මොන තරම් මෝඩ කතාවක් කිව්වත්, මෝඩ වැඩක් කළත් ඒක තමන් ගේ ඇතුළතින් සාධාරණීකරනය කරන්න උත්සාහ කරනවා. මේක ඇතුළෙත් තියෙන්නේ දේශපාලන වහල්කම විතරයි.
දේශපාලන වහලෙකු නොවන සාමාන්‍ය පුරවැසියාට එහෙම කිසිම පක්ෂයක් ගැන හෝ දේශපාලනඥයෙකු ගැන විශේෂ මානසික බැඳියාවක් නැහැ. ඔවුන් කිසිම කෙනෙක් ඒකාන්තයෙන් ඇත්ත කියනවා යැයි විශ්වාස කරන්නේත් නැහැ. ඡන්දයක් වෙලාවට ඒ ඒ පක්ෂ කරන කියන දේ සලකා බලලා තමන් ගේ තෝරා ගැනීම කළත් එතැනින් එහාට විශේෂ පක්ෂපාතී බවක් නැහැ.
දේශපාලන වහලෙකුට හැමවෙලාවෙම තියෙන ප්රශ්නය තමයි "කවුද හරි?" කියන එක. වහලෙකු නොවන පුරවැසියෙකුට තියෙන ප්රශ්නය "කුමක්ද හරි?" කියන එක. රටක් දේශපාලන වශයෙන් පරිණත වෙන්නේ "කවුද හරි" කියලා හොයන දේශපාලන වහලුන්ට වඩා "කුමක්ද හරි" කියලා හිතන පුරවැසියන් වැඩිවුණු දවසට.
දැන් කෙනෙකුට කියන්න පුළුවන් ලෝකයේ දියුණු රටවල්වලත් එක් එක් පක්ෂවලට විශේෂයෙන් මානසිකව බැඳුණු "වහලුන්" ඕනෙ තරම් ඉන්නවා කියලා. ලෝකයේ කොතැන හිටියත් වහලා වහලාමයි. නමුත් ලංකාව වගේ බුද්ධියෙන් නොමේරූ, ආත්මාර්ථයෙන් පිරුණු, තමන් ගේ සමාජ වගකීම් ගැන ජීවිතේ කවදාකවත් අධ්‍යාපනයක් ලබලා නැති මිනිසුන් අති බහුතරයක් ඉන්න රටක මේ දේශපාලන වහල්කම අතිභයානකයි.
තමන් මොන අමන වැඩේ කළත් ඒ වැඩේ හොඳයි, තමන් කියන ඕනෑ බොරුවක් ඉස්මුදුනින් පිළිගන්න තමන් ගේ ම වහලුන් පිරිසක් ලංකාවේ ඉන්නවයි කියලා මේ රටේ හැම පක්ෂකයක ම දේශපාලනඥයන් දන්නවා. මේ නිසා ඔවුන් බයක් සැකක් නැතුව හැම පාදඩ වැඩක් ම කරනවා. වහලුන් ඒ හැම දෙයක් ම සුද්ද කරනවා. ඡන්දවල දී මේ පාදඩයන් මනාප ලැයිස්තුවල ඉහළට ම ඇවිත් පාර්ලිමේන්තු එනවා.
ලංකාව මේ තරම් දරුණු විනාශයකට ඇදගෙන ගියේ වෙන කවුරුත් නෙවෙයි, තමන්ට 'ස්වාමිවරුන්' හදාගෙන ඒ ස්වාමිවරුන් බලයට ගේන්න දරදිය ඇදපු, ඡන්දය දුන්, ඒ ස්වාමිවරුන් ආරක්ෂා කළ දේශපාලන වහලුන්. මේ වහලුන් ලංකාවේ ඉන්නකල් මේ රටට යහපත් අනාගතයක් ගැන බලාපොරොත්තු තියාගන්න බැහැ.
මේ දේශපාලන වහලුන් රටෙන් වඳ කරලා දමන්නට නම් කිසිම දේශපාලන පක්ෂයකට විශේෂ බැඳියාවක් නැති මිනිසුන් වැඩි වැඩියෙන් මේ රටේ බිහි කරන්න ඕනෙ.
දේශපාලනඥයන් තඹ සතේකට ගණන් ගන්නේ නැති, දේශපාලනඥයින්ට කිසිම උත්සවයකට ආරාධනා කරන්නේවත් නැති, දේශපාලනඥයන්ට තමන් ගේ ජීවිතවල කිසිම වටිනාකමක් දෙන්නේ නැති මිනිසුන් මේ රටේ බිහි කරන්න ඕනෙ.
දේශපාලන වහලුන් තුරන් වී පුරවැසියන් බිහිවුණු රටක දේශපාලනඥයන්ට විශාල පීඩනයක් එල්ල වෙනවා. ඔවුන් කරන හැම පුංචි දෙයක් ගැන ම මිනිසුන් විමසිලිමත්ව බලාගෙන ඉන්නවා. කිසිම දේශපාලනඥයෙකුට ඡන්ද බැංකු කියලා දෙයක් නැහැ. වැරදි වැඩ කළොත් නීතියෙන් බේරුණත් රටේ ඉන්න මිනිසුන්ගෙන් සෙරෙප්පු පාර කන්න වෙනවා කියලා ඔවුන් දන්නවා.
මේක බොහොම දුරස්ථ සිහිනයක් කියලා ඔබට දැනට හිතෙන්න පුළුවන්. ඒත් ඔබ අද ඉඳන් හරි වෙනස් වෙන්න පටන් ගත්තොත්, ඔබ ළඟින් ආශ්‍රය කරන අයටත් දේශපාලන වහල්බවෙන් මිදෙන්න උදව් කරන්න පටන් ගත්තොත් අපේ ජීවිත කාලය තුළ මේ සිහිනය ඇත්තක් කරගන්නට පුළුවන්.
-
රසික ජයකොඩි
23 - 11 - 2021
#lka #SriLanka #life