නලින්ට වැරදුනේ කොතන ද?

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    නලින්ට වැරදුනේ කොතන ද?

    ආචාර්ය නලින් ද සිල්වා විසින් ලෝකය මනසේ නිර්මාණයකැයි කියනු ලබන්නේ ලෝකයේ නිස්සාර හා නිර්ර්ථකබව පෙන්වාදීම සඳහා ය. ඒ හරහා පුද්ගලයා සංසාරයෙන් එතර කිරීම සඳහා ය. ඒ අනුව, එය යහපත් අරමුණකින් කරල ලද්දක් බව පැහැදිළි ය. එහෙත් පිහිය රනින් කළ ද ඉන් ඇනගැනීම අප මරණයට පත් නොකරන්නේ ද? බුදුදහම විසින් ලෝකයේ නිස්සාර බව පෙන්වා දෙන්නේ ලෝකය හුදු මනස් නිර්මාණයක් යැයි පැවසෙන අතිශය ඕලාරික අර්ථයකින් ද? නලින්ගේ මේ ප්‍රශ්නයේ ප්‍රමුඛතම කොටස ඇත්තේ බුද්ධඝෝෂ හිමියන් මෙරට ඇති කළ සම්ප්‍රදාය තුළ ය. අපි පළමුව එය විමසමු.
    බුදුගොස් හිමියන් ලංකාව පැමිණියේ ඉන්දියාවේ සිට ය. මේ වන විට ඉන්දියාව පුරා නාගර්ජුනයන්ගේ මාධ්‍යමික දර්ශයන පැතිරෙමින් තිබුණි. එය පටිච්චසමුත්පාදය පාදක කරගත් අතිශය දියුණු චින්තන ධාරාවකි. මෙකී නාගාර්ජුන සම්ප්‍රදාය ලංකාවට ද ඒමේ හැකියාවක් එවක තිබුණු බව පෙනේ. බුද්ධඝෝෂ හිමියන් කලින් ම මෙහි පැමිණ මහාවිහාරය තුළ සිය අණසක පතුරුවන ලද්දේ මේ පැමිණීම අවහිර කරනු පිණිස ද? ශිල සමාධි හා ප්‍රඥා යන ‘නිවන් මාර්ගය’ කේන්ද්‍ර කරගත් බුද්ධඝෝෂ සම්ප්‍රදාය තුළ විශේෂය නම් පටිච්චසමුත්පාද ඉගැන්වීමට ප්‍රමුඛස්ථායක් හිමි නොවී ය. බුද්ධඝෝෂගේ තැත සාර්ථක විය. පටිච්චසමුත්පාදය නැමැති බුදුදහමේ කේන්ද්‍රය ලංකාව තුළ මල් පොකුරක හුදු තවත් එකක් බවට පත්විය. කේන්ද්‍රිය අමතක කොට පරිධියේ පදිංචි විය.
    අභයගිරිය වෙනස් විය ය. එය මහාවිහාරයට එරෙහි ව ගොඩ නැගුණකි. නූතන විශ්වවිද්‍යාලයක් තරමේ ම වූ අභයගිරිය තුළ නාගාර්ජුන දහම ඉගැන් වූ බව අපට සිතිය හැකි ය. එම විශ්වවිද්‍යාල තුළ ආගමික පර්යේෂනවලට අමතර ව ලෞකික ශාස්ත්‍රයන් ද (තාරකා විද්‍යාව, ගණිතය, වාරි තාක්‍ෂණය හා දර්ශනය) උගන්වා තිබේ. එහෙත් රාජ්‍ය අනුග්‍රහය නොමැති වීමෙන් මේ සම්ප්‍රදාය ඉතා ඉක්මනින් ලක්දිවෙන් අතුරුදන් විය. විටෙක, තාරකා ශාස්ත්‍ර ඉගැන්වීමේ දී පටිච්චසමුත්පාදය හරහා සාපේක්‍ෂතාවාදය වැනි ගැඹුරු කරුණු සාකච්ඡා කරන්නට ඇත. ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් අර්න්ස්ට් මක් නම් ඔස්ට්‍රියානු ජාතික බෞද්ධයාගේ “inertia originates in a kind of interaction between bodies...” යන පුරෝගාමි අදහස මත සිය සාපේක්‍ෂතාවාදය ගැන ලොවට කියන්නට පෙර අභයගිරි භික්‍ෂූන් එය දැන සිටින්නට ඇත.
    මහා ප්‍රශ්නය; එසේ නම් ලංකාව තුළ බුදුදහම බණ සම්ප්‍රදායෙන් එපිට ගොස් තියුණු දාර්ශනික සංකල්පීකරණයන්ට යා නොහැකි වූයේ මේ උඩුයටිකුරු කිරීම හේතුවෙන් ද?
    අභයගිරිය අප‍ට අහිමි වූ අතර ඉතිරි වූයේ ඉහත කිවූ බණ සම්ප්‍රදායයි. නලින් වැන්නන් ද පිහිට පැතුවේ මේ සම්ප්‍රදායෙනි. කෙසේ වෙතත්, ආචා; නලින්ගේ ගණිත දැනුම ද දේශප්‍රේමය ද සැලකිය යුතු බුද්ධිය ද හේතු කොට ගෙන බණ සම්ප්‍රදාය තුළ පමණක් රැඳීම ඔහුට ප්‍රමාණවත් නොවී ය.එළියට යා යුතු විය. එහෙත් ප්‍රශ්නය වූයේ ඒ සම්ප්‍රදාය තුළ ඔහුට අවශ්‍ය වූ තරමේ සංකල්පීය චින්තනයකට පසුබිමක් නොමැති වීම ය. එහෙත් එය කළයුතු වූ නිසා ඔහු තමා සතු ව තිබෙන උපකරණ ආශ්‍රයෙන් සිය චින්තනය ගොඩනැගුවේ ය. කෙසේ වෙතත්, එය මූලික බුදුදහමට ම එරෙහි වන්නක් බව ඔහුට ම නොදැනීම පුදුමයක් නොවේ.
    බුදුදහම යනු පටිච්චසමුත්පාදය ම ය. එය නැති ව බුදුදහමක් නැත. එවන් පටිච්චසමුත්පාද දහම ආචා; නලින්ට සම්ප්‍රදායෙන් ම එතරම් වැදගත් එකක් නොවීමේ ඵලය වූයේ ලෝකයේ නිස්සාර හා නිරර්ථක බව පෙන්වා දීම සඳහා ඔවුන් වෙනත් මාර්ගවල පිහිට පැතීම ය. ලෝකයේ ගත යුත්තක් නැත. එය අසාර ය. බුදුදහම එය පිළිගනී. එහෙත් බුදුන් වහන්සේ එසේ කියන්නේ කුමන අරමුණින් ද? ලෝකය මනසේ නිර්මාණයක් කියමින් ද?
    නැත.පටිච්චසමුත්පාදයේ එකම අරුත නම් ලෝකයේ සාරය අසාර කිරීම ය.ආත්මය අනාත්ම කිරීම ය. එය සිදු වන්නේ ඉතා තාර්තික හා දියුණු ක්‍රමයකිනි. එනම් ලෝකය එකිනෙක මත යැපෙමින් හට ගැනීම හා වියෝවීම හරහා ලෝකයට ස්ථිර සාරයක් (essence) අහිමි කිරීම ය. එකක් හටගැනීම තවෙකක් මත යැපෙන්නේ නම් එකකටවත් ස්වාධීන පැවැත්මක් තිබිය නොහැකි ය. සියල්ල පරායත්ත ය. පරාධීන ය. සාපේක්‍ෂ ය. අනන්‍යතා හා සාර අහිමි ය. එහි අනිත් අරුත නම් ලෝකය අසාර බව ය. ගතහැකි පරමයක් නැති බව ය. නලින් ද සිල්වා වැනි වියතුන් වරදවා ගෙන ඇති තැන මේ ය. ඔවුන් මේ අසාර බව කියන්නට උත්සාහ කරන්නේ ලෝකය හුදු මනසේ නිර්මාණයක් ය බව කියමිනි. එහෙත් ඒ, බුදුදහම මගින් එම අරමුණ ඉටුකර ගැනු වස් ම ඊට සපුරා වෙනස් දියුණු හා තාර්කික ක්‍රමයක් යෝජනා කොට ඇති බව නොදැන ය.

    By Mahinda Pathirana