නවතිනකෙනෙක්වෙමු…!

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,104
    1,294
    113

    නවතින කෙනෙක් වෙමු…!​


    තියපු තැනක සිටිමින් – ඔහේ අතපය සොලවන එක, හිස හරවන එක, ඇසිපිය හෙළන එක, හඬන එක, නිදියන එක, කිරි උරන එක, මලමුත්‍ර පහ කරන එක සිදු කරපු කාලයක් අප කාගේත් ජීවිතවල තිබුණා. මාස ගණනාවකට පස්සෙයි අපි ඉඳගන්න, හිට ගන්න, ඇවිදින්න පුරුදු වුණේ. අපි ඇවිදලා ගියපු පළමුවෙනි අඩි කිහිපය අපේ අම්මට තාත්තාට තාමත් මතක ඇති. “අපේ පුතා ඇවිදිනවා” කියලා ඔවුන් හරිම සතුටින් ඤාතී හිතමිත්‍රාදීන්ට කියන්නත් ඇති…
    එදා ඉඳන් මේ වෙනකොට අපි කොච්චර නම් ඇවිදලා ඇති ද…! තව ඉස්සරහට කොච්චර ඇවිදින්න වෙයි ද? ඇවිදලා, ඇවිදලා, හෙම්බත් වෙලා, ‘නවතින්න ඕනි’ කියලා හිතුණු (ඒ කිව්වේ විවේකයක් වුවමනා වුණු) එකම එක දවසක් හරිත් අපේ ජීවිතවල තිබුණා…
    මොකක්ද මේ කලබලේ…?
    අපි ‘විවේකය’ කියලා කියන්නේ කය මෙහෙයවලා කරන කෘත්‍යයන් අල්ප කරන එකට. කොවිඩ් – 19 වසංගත රෝගයේ පැතිරී යාම නිසාවෙන් යම් ආකාරයකින් අප කාගේත් ක්‍රියාකාරකම් සීමා වුණ නිසා අත්වින්ද තරමේ කායික විවේකයක් අපට ඊට පෙර සකස් කර ගන්නට බැරි වුණේ ඒ තරමට ම අප කාර්යබහුල ව, ඒ ඒ කාර්යයන්ට ම බද්ධ වුණ ජීවිත ඇතිව සිටිය නිසයි. ඒ කාර්යබහුල ස්වභාවයනට අප තුළ යම් ආකාරයක කැමැත්තක් නොතිබිලාම නෙවෙයි. ඒ නිසා ම යි වසංගත රෝගයක පැතිරීම හමුවේ හිමි වුණ ඒ කායික විවේකයත් අපට ටික කාලයකින් ම එපා වුණේ. “පරණ විදිහට වැඩ කරන්නෙ කවද්ද?” කිය කියා අප නොසන්සුන් වුණෙත් ඒ නිසයි.
    පෙර නොවූ විරූ ආකාරයෙන් සමාජ ආර්ථික පරිසරයන්ගේ සිදු වූ වෙනස්කම් සමඟ වුණත් කොවිඩ් වසංගතයේ බලපෑමෙන් වසරක් ගෙවී යන මේ කාලය වන විට ආයෙමත් අප කාර්යබහුල වෙලා. අපි හැමෝම බොහොම හදිස්සියෙන් වැඩකටයුතු ඉවර කර ගන්න උත්සාහ කරනවා. හැම හිතක ම තියෙන්නේ කලබලයක්. ඒ කලබලය නිසා ම වාහන තදබදයක මොහොතක් රැඳී සිටින්න සිද්ධ වුණත් අප නොසන්සුන් වෙනවා. හැමෝටම වුවමනයි ඉස්සර කරගෙන යන්න. හැමෝටම වුවමනයි ඉස්සර වෙන්න. මේ තරම් හදිස්සියෙන්, මේ තරම් කලබලයෙන් අප යන්නේ කොතැනට ද කියලා හිතන්න තරම් ඉස්පාසුවක් කාටවත් ම නෑ. ඒ හැම දෙයක් ම අවසානයේ දවසක නිමාව සනිටුහන් වෙන්නේ නොසන්සිඳුන, අතෘප්තකර, වෙහෙසකාරී කායමානසික ස්වභාවයන් සහිතව. අප අත්පත් කර ගන්න උත්සාහ කරන ජීවිත ඉලක්කය මේක ද?
    නැවතුණොත් කොහොමද?
    යන එන ගමනෙබිමනේ මුණගැසෙන මිනිසුන් දෙස මඳක් විමසිලිමත් ව බලන්න. උදෑසන හොඳින් ඇඳ පැලඳ, සුවඳ ගැල්වූ කයින් යුතුව – එහෙත් කලබලයෙන්, ඉර වදින්නට පළමු රාජකාරියට දිව යන මිනිසුන් සහ සවස රාජකාරි අවසන දහසකුත් එකක් වැඩකටයුතු සිතෙහි තබාගෙන වෙහෙසපත් මුහුණින්, දහදිය වැකුණු ගතින් යළි මහමග කඩිමුඩියේ ඇවිද යන මිනිසුන්… අවුරුද්දේ වැඩිම දින ගණනක් සුපුරුදු මේ ජීවන රටාව තුළ අපමණ දුක්fදාම්නස් විඳින අතරේ සතුට සැනසුම ධනය ලුහුබඳින මිනිසුන්… අප සියල්ලෝ ම අනවරත ජීවන අරගලයක හවුල්කරුවන්. අල්ප වූ සැපයක්, අල්ප වූ ආස්වාදයක් වෙනුවෙන් අප්‍රමාණ දුක් කම්කටොළු අනුභව කරන්නට සිදු වීම තමයි අප කාගේත් උරුමය. සැබැවින් ම මෙය සෑම පියවරක් පාසා ම වෙහෙසකාරී ගමනක්. ඒ නිසා… නැවතුණොත් හොඳයි නේ ද…!
    අප උපන් මේ කාම ලෝකයේ ස්වභාවය තමයි කය වෙහෙසවා ධනය උපයමින් කාම සම්පත් අනුභව කරන්නට සිදු වීම. දිව්‍ය බ්‍රහ්ම ලෝකවල නම් කර්මානුරූප ව එක් එක් සත්වයනට සම්පත්තීන් පහළ වනවා. නමුත් පුණ්‍ය සම්පතින් ඔවුනට වඩා හීන මිනිස් ලෝකයේ දී වෙහෙස දරමිනුයි ඒවා උපයා ගත යුත්තේ. ‘වෙහෙසයි’ කියා එය නොකර සිටියොත් කාම සම්පත් භුක්ති විඳීමෙන් උපදනා සැපය අහිමි වනවා. ජීවිතය දුෂ්කර වනවා. නුවණැති සත්පුරුෂයන්ගේ ගැරහීමට එය හේතුවක් වනවා.
    දැහැමිව ඉපැයීම තථාගත අරහත් සම්මා සම්බුදුවරුන් විසින් ගිහි පිරිස විෂයෙහි වර්ණනා කරන ලද්දක්. එනිසා අප භවභෝග සම්පත් ඉපැයීම සුදුසුයි. එය කළ යුතුයි. එය වනාහි ප්‍රිය වූ මනාප වූ ලැබීමට දුෂ්කර වූ දෙයක් ලෙසයි දැක්වෙන්නේ. එසේ දැහැමි ව උපයමින් සැපවත් ජීවිත උපදවා ගන්නට උත්සාහ කරන අතරේ ම සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ ධර්මය අසන්නට, පුරුදු කරන්නට ලැබුණු මේ යුගයේ දී වෙහෙසෙමින් ඇවිදින ජීවිත වෙනුවට සැනසෙමින් නවතින ජීවිත උපදවා ගන්නටත් අප උත්සාහවත් විය යුතු ම යි.
    සසර යනු දුකකි
    අප සිදු කරන හැම දෙයක ම ඉලක්කය සතුටින් ජීවත් වීම යි. අප සොයන සතුට අපට අහිමි වද්දී අප පීඩාවට පත් වෙනවා. අපට දුක හිතෙනවා. අප අන් අය සමඟත්, අප සමඟත් ගැටෙනවා. රිදුනු සිතින්, ගැටුනු සිතින්, පීඩිත සිතින් අප ගුණවත්, සිල්වත් පිරිස් විසින් කිසි ලෙසකින්වත් සිදු නොකරන ආකාරයේ වැරදි සිතින්, කයින්, වචනයෙන් සිදු කරනවා. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් විදිහට අප ආයෙමත් සසරට ම වැටෙනවා. පෙරුම් පුරා පැමිණෙන බුද්ධාංකුරයන් වහන්සේලාට පවා ඒ සසර දුක්ඛිත වූවක්. දුෂ්කර වූවක්. අපට එසේ නොවී තිබේවි ද?
    “සසර සැරිසරා යෑම වනාහී මහා ඛේදජනක ගමනෙකි. කෙතරම් පරෙස්සමින් යන්ට සිතුව ද සිතූ දේ නොවන, නොසිතූ දේ ම සිදුවන දුෂ්කර ගමනෙකි. අතිදුක්ඛිත ගමනෙකි.”
    (අච්ඡරිය මනුස්සෝ – පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ)
    මේ තමයි අප කාගේත් සසර කථාව. මහා පුරිස් ලකුණු දෙතිසක් සහිතව සසරේ රැස් කළ පුණ්‍ය වාසනා මහිමය සිරුරෙහි පවා විද්‍යාමාන කරවමින් ලොව ඉපිද, සතර මහ දිවයින් දැහැමින් පාලනය කරලමින් සක්විති රාජ්‍යයක් බිහි කරවා ජනයාගේ සුඛිත මුදිත භාවය – ධාර්මික භාවය පිහිටුවා අපමණ පින් රැස් කොට කල්ප ගණනින් දිව්‍ය කාම සම්පත්තීන් භුක්ති විඳිනා සක්විති රජවරුන් පවා යම් කලෙක ඒ පුණ්‍ය සංස්කාරයන්ගේ ගෙවී යාමෙන් පිනෙන් පිරිහී සතර අපායෙහි උපදිනවා. ඒ කියන්නේ, සසර ගමන යනු ප්‍රවේශම් වෙමින්, සුගති සැප ම රැකගෙන යා හැක්කක් නොවෙයි. ‘සසර ගමනේ දී පරිස්සම් වෙන්න ඕනි’ කියලා කෝටි ප්‍රකෝටි වාර ගණනින් සිතුණත් ඒ සිතුවිල්ල පවා අයිති වන්නේ සම්බුදුවරුන්ගේ යුගයට පමණයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි අප සැරිසරා යන මේ දුක්ඛිත ගමනේ යථා ස්වභාවය ඒ ආකාරයෙන් ම පරිපූර්ණ වශයෙන් අවබෝධ කළේ. ඒ අනවරාග්‍ර ගමනේ අප්‍රමාණ දුක්ඛපීඩාවන් උසුලන ලෝසත දුකින් නිදහස් කරවන ශ්‍රී සද්ධර්මය උන්වහන්සේලා වදාළේ ලෝකානුකම්පාවෙන් යුතුව ම යි. ඒ උතුම් ධර්මය අසන්න ලැබෙද්දියි අපට සිතුණේ ‘මේ සසර ගමන දුකක්’ කියලා. එසේ නොවන්නට, අඩුම තරමේ පරිස්සම් වන්නට ඕනෑ කියාවත් අපට සිතෙන්නේ නැහැ…
    ආයෙ ආයෙමත්…
    ආයෙමත් අපට සම්බුද්ධ ශාසනයක් මුණගැසිලා. ඔව්… ආයෙමත්… කලින් මුණගැසුනු සම්බුද්ධ ශාසනයන්ගේ අප ප්‍රමාද වෙලා. ප්‍රමාදී ජනයාගේ ඤාතියාගේ වසඟයෙන් මිදී යන්නට අපට බැරි වුණේ ඒ නිසයි. ඒ ප්‍රමාදය නිසා අප සසරේ නොවිඳි දුකක්, නොහෙළුෑ කඳුළක්, පිටනොකළ සුසුමක්, නොඉසිලූ ගින්දරක් නැහැ. ශුද්ධාවාස බ්‍රහ්මතලය හැර අන් සියලු උත්පත්ති ස්ථාන අපට මගහැරී නැහැ. කවරාකාරයේ මාරාන්තික, කටුක, අතිශයින් කර්කශ දුක් ලෝකයේ තිබෙනවා ද ඒවා අපට ආගන්තුක දේවල් නොවෙයි. එකම ස්ත්‍රිය අරබයා, එකම පුරුෂයා අරබයා, එකම වස්තුවක් අරබයා උපන් කාම පරිදාහයෙන් අප සසරේ බොහෝ වාර ගණනින් දැවී තැවී තිබෙනවා. එකම සිත්තැවුල, එකම නොහොඳ නෝක්කාඩුව, එකම අර්බුදය අපට සසරේ බොහෝ වාර ගණනින් මුණගැසී තිබෙනවා. එකම ගුටිය අපට සසරේ නොසෑහෙන්නට වැදී තිබෙනවා. කනට යහුලකින් අනින්නාක් වැනි වූ දරුණු, කර්කශ බැණුම් අප අනන්තවත් අසා තිබෙනවා. එහෙව් සසරකට ආයෙමත් වැටෙන්නට අප කැමති විය යුතු නැහැ. එයට අකමැති නම්… ඇලෙමින් ගැටෙමින් සාධාරණය – අසාධාරණය සොයමින්, හරි වැරැද්ද සොයමින්, ඒවාට ම ජීවිතය කැප කොට යන ජීවිත ස්වභාවය වෙනස් කළ යුතු ම යි…
    සිතුවිල්ලකින් ඒ දේ කළ හැකි නම් අප සියල්ලෝම මේ වන විට සසරින් නිදහස් වූවන් ව සිටිය යුතුව තිබෙනවා. එහෙත්, මෙය සිතුවිල්ලකින් කළ නොහැකියි; ප්‍රාර්ථනාවකින් කළ නොහැකියි. සිත මෙහෙයවමින් ප්‍රතිපදාවක් දියුණු කිරීමෙන් පමණමයි එය කළ හැක්කේ. ඒ ප්‍රතිපදාවේ මුල තිබෙන්නේ පිරිසිදු සීලයත්, ඍජු දෘෂ්ටියත් බව ධර්ම සේනාධිපති වූ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කොට වදාළා.
    සසර නවතන මග
    දෘෂ්ටිය ඍජු කරලන පිවිතුරු දහම්පද කල්‍යාණමිත්‍ර වූ සත්පුරුෂයන් වහන්සේලා නිරන්තරයෙන් පහදා දෙනවා. කුසලය අකුසලය වෙන් කර හඳුනා ගන්නට, කුසල් සිතින් අකුසල් සිතට නිග්‍රහ කරමින් අකුසලය මැඩලන්නට, කුසලය දියුණු කරන්නට උපකාරක වන්නේ ඒ දහම්පද මැනැවින් සිතෙහි දරා ගනිමින් නිරන්තරයෙන් නුවණින් විමසීම යි. සම්බුද්ධ ශාසනයක් මුණගැසී ඒ සිරිසදහම් නුවණින් විමසනවා කියා යම් උතුම් කාරණයක් ඇද්ද එය උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීම පිණිස අත්‍යන්තයෙන් ම තිබිය යුතු අභ්‍යන්තරික ගුණාංගය වන යෝනිසෝ මනසිකාරය ඉපදීම පිණිස උපකාරක වනවා ම යි. මේ කිසිවක් ඉබේ හටගන්නේ නැහැ. අනායාසයෙන් ම අයාලේ දිව යන සිතට තරවටු කරමින්, මෙහෙයවමින් ධර්මය සිහි කරන ස්වභාවය උපදවාලීම අතිශය දුෂ්කර අභියෝගයක්. ඒ දුෂ්කර දේ ජය නොගත්තොත් අප ආයෙමත් වැටෙන්නේ සසරට. බැලූ බැල්මට අපට නොතේරුනාට, සසර කියන්නේත් අතිශයින් ම දුෂ්කර ගමනක්…
    සසර නවතන කෙනෙක් වන මාර්ගය අපගේ ශාස්තෘන් වහන්සේ ලේ වැකුණු අත් ඇතිව, අසිපත් දරාගෙන, බිහිසුණු රූ ඇතිව වන මැද දිව ආ අංගුලිමාලයන් හට මේ ආකාරයෙන් වදාළා.
    “පින්වත් අංගුලිමාල, මම සිටියෙමි. ඔබත් සිටින්න.”
    දිවෙන අසු පන්නා ගොස් අල්වන, දිවෙන ඇතු පන්නා ගොස් අල්වන බල ඇත්තේ වූව ද සන්සුන් පියවි ගමනින් වඩිනා මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ පසුපස යොදුන් තුනක් පුරා දිව ඇවිත් තමනට මේ ශ්‍රමණයා පසු කොට යා නොහැකි බව අවබෝධ වී ඒ වනවිටත් නැවතී හුන් අංගුලිමාල, තවමත් ප්‍රකෘති ගමනින් ශාන්ත ව වඩිමින් ම “සිටින්නෙමි” කියන ඒ මුනි වචනය අසා පුදුමයට පත් වූවා. සත්‍යවාදී වූ, සත්‍යය ප්‍රතිඥා දෙන්නා වූ ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේනමක් යන අතරේ “සිටින්නෙමි” කියන මේ කරුණ ගැන අංගුලිමාලයන් විමසා සිටියා.
    යන අතරේ ම නවතිමු
    “ඒයි ශ්‍රමණය, ඔය යන ගමන් නේද සිටියා කියලා කියන්නේ? සිටින්නා වූ මට නේද නොසිටිනවයි කියන්නේ? ඒයි ශ්‍රමණය, මේ කථාවේ තේරුමයි මං දැන් අහන්නෙ. ඔබ ඔය විදිහට ඉන්නෙ කොහොමද? මං මේ විදිහට නොඉන්නෙ කොහොමද?”
    ජීවිතයේ සැප සම්පත් ලුහුබඳිමින් යන අතරේ ම, නවතින්නේ කොහොමද කියා අපගේ ශාස්තෘන් වහන්සේ ඒ මොහොතේ මේ ආකාරයෙන් වදාළා.
    “අංගුලිමාල, මං ඉන්නෙ මෙන්න මෙහෙමයි. හැම තිස්සේ ම හැම සතුන් කෙරෙහි ම වද දීම් අතහැරල. ඒ වුණාට ඔබ නොසිටින්නෙ මෙහෙමයි. ඔබ සතුන් ගැන කිසි අනුකම්පාවක් නෑ. ඒ නිසා මං නැවතිලා ඉන්නවා. ඔබ නැවතිලා නෑ.”
    (අංගුලිමාල සූත්‍රය – ම. නි. 2)
    ඒ තමයි නවතින ක්‍රමය… ඒ එක ම එක බණ පදය අහලා අංගුලිමාලයන් අවිආයුධ අත්හැරලා, එතෙක් සිතෙහි දරා සිටි මිසදිටු අත්හැරලා, කෙලෙස් යුද්ධයට වැදුණා. පසු කලෙක සියලු කෙලෙස් නසා අමා මහ නිවන් දුටුවා. පිරිනිවනට වැඩියා…
    ඉතින්… සතුන් මරන එක සදහට ම අත්හැරලා අපි නවතින්නේ කවද ද? අන් සතු දෙය සොර සිතින් ගැනීම අත්හැරලා අපි නවතින්නේ කවද ද? වැරදි කාම සේවනයෙන් වැළකිලා අපි නවතින්නේ කවද ද? මුසාවෙන් වැළකිලා, සත්‍යවාදී ව, සත්‍යය ම රැකගෙන අපි නවතින්නෙ කවද ද? මදයට, ප්‍රමාදයට හේතුවන සුරාවෙන් අත්මිදිලා අපි නවතින්නේ කවද ද?
    උතුම් සීල සංවරය දිවි දෙවැනි කොටගෙන ආරක්ෂා කර ගනිමින් මේ ආකාරයට නවතින්නට අපට හැකි වුණොත් සිතින් සිතා ගන්නට හෝ නොහැකි තරමේ මහා දුක්ඛපීඩාවන් උසුලමින් යන මේ සසර ගමන නවතන්නට පුළුවන්. ශ්‍රාවකයන් කෙරෙහි අනුකම්පා ඇති යම් ශාස්තෘන් වහන්සේනමක් විමුක්තිය පිණිස අනුශාසනා කරන්නේ යම් ආකාරයකින් ද අපගේ ශාස්තෘන් වහන්සේ අපට අනුශාසනා කොට තිබෙන්නේ ඒ ආකාරයෙන් ම යි. සංකීර්ණතා, හැලහැප්පිලි, වෙහෙස අඩුවක් නැති ලෝකයේ අඛණ්ඩ ව කාමයන් ලුහුබඳිමින්, කාම සම්පත් උපයමින් සිටින අපට අනපේක්ෂිත විවේකයක් හිමි වුණු මේ යුගයේ ඒ උතුම් බණපද ඇසුනු පින අපතේ නොයාවා!!!
    තෙරුවන් සරණයි!
    සටහන – උදුලා පද්මාවතී