නස්රුදින්ගේ "පණ" සහ තවත් කතා
නස්රුදින් එයාගෙ බිරිඳට පිස්සුවෙන් වගේ ආදරේ කළා. කොච්චරද කියනවා නම් ඔහු ඇයට කීවේ "මගේ පණ" කියලා.
දවසක් රෑ මරණයේ දූතයා යම ලෝකයේ ඉඳන් නස්රුදින්ව ගෙනියන්න ආවා. "මම ආවෙ නුඹේ පණ අරන් යන්නයි...!" යමයා කිවුවා.
එතකොට, නස්රුදින් අනික් ඇලයට හැරිලා එයාගෙ බිරිඳව ඇහැරවමින් මෙහෙම කෑ ගැහුවා.
"ඒයි නැගිටිනවා... මෙන්න ඔහේව අරන් යන්න කවුද ඇවිත්....!"
2. නස්රුදින් නැමැති බේගල්කාරයා
පුරපති- ඒයි නස්රුදින් තමුසෙ හරි ප්‍රසිද්ධයිලු නේද බොරු කියන්න? හා එහෙනම් මටත් බොරුවක් කියනවා බලන්න. හිත හිතා ඉන්නැතුව උණු උණු බොරුවක් කිවුවොත් මං තමුසෙට ඩොලර් පණහක් දෙනවා.
නස්රුදින්- ඈ? ඩොලර් පණහක්? ඇයි දැං චුට්ටකට කලින් පොරොන්දු වුණේ ඩොලර් සීයක් නේද?
3. බැල්ලිගෙ පුතා
දවසක් නස්රුදින් ගමනක් යද්දි, ඇවිදලා ඇවිදලා මහන්සිය නිසා ගලක් උඩට වෙලා ඉන්න ගමන් නිකමට "බැල්ලිගෙ පුතෝ" කියලා කෑ ගැහුවා.
කරුමෙට, ඒ වෙලාවෙම, එතන පහු කරගෙන ගිය මිනිහෙක් හිතුවා නස්රුදින් ඒ කෑ ගැහුවෙ තමුන්ටයි කියලා. ඉතින් ඒ මිනිහා හොඳටම කේන්ති ගිහින් නස්රුදින්ව උසාවියට අරන් ගියා.
නඩුව අහපු නඩුකාරයා අර මිනිහට කරපු අපහාසයට වන්දි වශයෙන් ඩොලර් පහක් ගෙවන්න කියලා නස්රුදින්ට නියෝග කළා. නස්රුදින් ඩොලර් දහයක් නඩුකාරයට දුන්නා. නඩුකාරයා ඉතුරු සල්ලි දෙන්න සල්ලි මාරු කරන්න එහාට මෙහාට දඟලද්දි නස්රුදින් නඩුකාරයගෙන් මෙහෙම ඇහුවා.
"කාට හරි සාප කළොත් දඩ ගහන්නෙ ඩොලර් පහයි නේද?"
"ඔව්."
"එහෙනම්, ඉතුරු දෙන්න ඕනෙ නෑ, ඒ ඩොලර් පහ උඹ ම තියා ගනිං බැල්ලිගෙ පුතෝ."
4. භක්තිමත්ම රැවුලා
දිනක්, නගරයේ පූජකයා මිනිසුන් පිරිසකට දේශනා කරමින් හිටියා.
"භක්තිමත් මිනිසුන්ට රැවුල තියනවා." ඔහු කෑ ගසා කිවුවා. "හොඳ ඝන රැවුලක් කියන්නේ පාරිශුද්ධභාවය බාහිරට ප්‍රකාශමාන වීමක්."
"මේ නගරයේ කාටත් වඩා හොඳ ඝනකම්ම රැවුල තියෙන්නෙ මගෙ එළුවට." නස්රුදින් කට ඇරියා. "ඔබතුමා කියන්නේ අපි හැමෝටම වඩා භක්තිවන්තයා එළුවා කියලද?"
5. මම නිදි!
නස්රුදින් ඇස් දෙක පියාගෙන කවිච්චියක ඇල වෙලා හිටියා.
එයාගෙ මස්සිනා ඇවිත් ඇහුවා "ඔහේ නිදිද නස්රුදින්?"
"ඇයි මොකටද අහන්නෙ?" නස්රුදින් ඇහුවා.
"මං මේ බැලුවෙ ඔහේගෙන් ඩොලර් තුන්සීයක් ණයට ඉල්ල ගන්න පුළුවන්ද කියලා..." මස්සිනා කිවුවා.
"හොඳයි...." නස්රුදින් මෙහෙම කිවුවා; "අපි යමු අර මුලින් ඔහේ අහපු ප්‍රශ්ණයට- 'මම නිදිද?' උත්තරය; 'ඔව් මම නිදි...!' යනවා යන්න මෙතනින් මට ඉන්න දීලා."
6. තුන් නිවුන්නු
ගැබ්බරව උන්නු නස්රුදින්ගෙ බිරිඳගෙ ප්‍රසූති දිනය ළඟා වෙමින් තිබුනා.
දවසක් දෙන්නම නිදියන් ඉන්න වෙලාවක බිරිඳ නස්රුදින්ව හොලවලා මෙහෙම කිවුවා.
"නස්රුදින් බබා එනවා...!"
ඒක අහපු නස්රුදින් ඉක්මනින් ඉටිපන්දමක් දල්වලා අලුත් බබා එළියට එන විදිහ බලන් හිටියා.
ඒත්, විනාඩි ගාණක් ඇතුළත නස්රුදින් බලාගෙන ඉද්දිම මෙන්න බොලේ තවත් බබෙක් එළියට ආවා. එයිනුත් විනාඩි ගාණක් ගියාම, ඔන්න තවත් බබෙක්; තුන්වෙනි බබා- එළියට ආවා.
තුන්වැනියා ආව ගමන් ම නස්රුදින් හදිසියෙන් වගේ ඉටිපන්දම කටින් පිඹලා නිවලා දැම්මා.
"මොකද්ද මනුස්සයො ඒ කළේ?" බිරිඳ ඇහුවා.
"මේකයි" නස්රුදින් කිවුවා; "ඔය ඉටිපන්දම් එළිය තියෙද්දි එක බබෙක් ආවා. ඊගාවට තවත් බබෙක්. ඊටත් පස්සෙ තවත් බබෙක්. ඇයි යකෝ ඔය ඉටිපන්දම දිගටම පත්තු කරං උන්නා නම් තව කී දෙනෙක් ඒවිද කවුද දන්නේ?"
ෙහාදනම් බම්ප් ඒකක්වත් දාලා යන්න අමතක කරන්න ඒපා ඔන්න...





Last edited:
