එදා මෙදා තුර සිදුවූ යුධ ගැටුම් වලදී මිනිසා විසින් භාවිතා කරන ලද වඩාත්ම විනාශකාරී ආයුධකි නේපාම් බෝම්බ (Napalm Bomb)..
.නේපාම් බෝම්බ තුල අන්තර්ගත වන්නේ වැඩිදියුණු කල පෙට්‍රෝලියම් ජෙලිය...බෝම්බය පුපුරා යන විට මුදා හරින එම ජෙලි වැනි ඇලෙන සුළු ද්‍රවය අධික උෂ්ණත්වයකින් ගිනි ගනියි...සාමාන්‍යයෙන් මෙම උෂ්ණත්වය සෙල්සියස් අංශක 800 ත් 1,200 ක් පමණ අගයක් ගනී...නේපාම් බෝම්බ වලින් විශාල ගිනි ජාලා හට ගන්නා නිසා ඒවා firebombed යනුවෙන්ද හදුන්වයි.
දෙවන ලෝක සංග්‍රාමයේදී මහා පරිමාණ ලෙස භාවිතා කල නේපාම් බෝම්බ , ඉන්පසු කොරියානු යුද්ධය , වියට්නාම් යුද්ධය සහ 2003 වර්ෂයේදී එක්සත් ජනපද හමුදා ඉරාකය ආක්‍රමණය කිරීම ඇතුළු ලොව පුරා ප්‍රධාන යුධ ගැටුම්වල අංක එකේ ආයුධය බවට පත්විය.
දෙවන ලෝක යුධ සමයේ මිත්‍ර හමුදා විසින් භාවිතා කරන පෙට්‍රල් ද්‍රව මිශ්‍රණයට ආදේශකයක් ලෙස හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාඥ ලුවී ෆයිසර්ගේ මූලිකත්වයෙන් යුත් හාවඩ් රසායන විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් " නේපාම් " සොයා ගත්තේය.
1942 වර්ෂයේදී ලුවී ෆයිසර් සහ ඔහුගේ කණ්ඩායම බොරතෙල් වලින් නැප්තනික් අම්ලය (naphthenic acid) සහ පොල්තෙල් වලින් පැල්මිටික් අම්ලය (palmitic acid) නිස්සාරණය කර එය aluminium alkoxides සමග මිශ්‍ර කර අමුතුම ආකාරයේ ඝන සංඝටකයක් නිර්මාණය කළහ...එය පෙට්‍රල් සමඟ මිශ්‍ර කළ විට අතිශයින්ම ඇලෙන සුළු හා වහා ගිනි ඇවිළෙන සුළු ජෙලි වැනි ද්‍රව්‍යයක් නිර්මාණය විය...අඩු පිරිවැයකින් නිපදවිය හැකි අතිශය ක්‍රියාකාරී මෙම ද්‍රව්‍යය නේපාම් යනුවන් ඔවුන් නම් කළහ.
නේපාම් බෝම්බ ප්‍රහාර නිසා දරුණු පිළිස්සුම් තුවාල ඇති වී හෝ හුස්ම හිරවී මරණයට පත් විය හැක...නේපාම් බෝම්බ පුපුරා යාමේදී වාතයේ ඇති ඔක්සිජන් උරා ගෙන කාබන් මොනොක්සයිඩ් විශාල ලෙස මුදා හරින අතර බෝම්බ ප්‍රහාරයට ලක් වූ ප්‍රදේශයක කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතය සියයට 20 ක් හෝ ඊටත් වඩා වැඩි විය හැකිය...වියට්නාම් යුධ සමයේ ගංගා ඉවුරු වල සැගවී සිටි අයවලුන් , නේපාම් බෝම්බ ප්‍රහාර වලින් ජනනය කරන අධික උෂ්ණත්වය නිසා පණපිටින් තැම්බී මිය ගිය අවස්ථාද වාර්තා වී ඇත .
1945 වර්ෂයේ මාර්තු 9 සහ 10 යන දිනවල ජපානයේ ටෝකියෝ නගරය එක්සත් ජනපද ගුවන් හමුදාවේ නේපාම් බෝම්බ වර්ෂාවකට ගොදුරු විය...ඉතිහාසඥයින් පවසන්නේ මානව ඉතිහාසයේ සිදු වූ වඩාත්ම විනාශකාරී බෝම්බ ප්‍රහාර මාලාව එය බවය ( හිරෝෂිමා නාගසාකි නගර වලට එල්ල වූයේ න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර 2 කි ) තුන්සියකට අධික Boeing B-29 Superfortress වර්ගයේ ගුවන් යානා , ටෝකියෝ අගනගරයට ඉහළ ආකාසයේ පියාසර කරමින් නේපාම් බෝම්බ වර්ෂාවක් ටෝකියෝවට හෙලුහ...එය ආසන්න වශයෙන් ටොන් 2,000 ක පමණ වන බෝම්බ ප්‍රමාණයක් බව පැවසේ...එයින් සිවිල් වැසියන් 80,000 - 130,000 කට අධික ප්‍රමාණයක් පිලිස්සී මිය ගියහ.
ටෝකියෝවට හෙලූ එක් නේපාම් cluster බෝම්බයක් කිලෝග්‍රෑම් 226 පමණ බරකින් යුක්ත විය...ගුවන් යානයෙන් මුදා හල පසු අඩි 2000 මට්ටමේදී එය කොටස් 38 කට කැඩී යන ආකාරයට නිමවා තිබී ඇත...එළෙස විසිරී යන කොටස් විශාල ප්‍රදේශයක් ආවරණය කරන පරිදි බිමට පතිත වී තත්පර 3 ත් 5 අතර කාලයකදී ඇති වන්නේ මහා විශාල ගිනි ජාලාය...මෙම බෝම්බ ප්‍රහාර මාලාව නිසා ටෝකියෝ නගරයේ වර්ග කිලෝමීටර් 25 ක පමණ ප්‍රදේශයක් මුළු මනින්ම දැවී අළුවී ගියේය...බෝම්බ ප්‍රහාරයෙන් පසු ගිනි ගෙන දැවුණු ටෝකියෝවේ වාතලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 800 පමණ වූ බව පැවසේ...මේ මිනිස් සංහාරයේ ප්‍රබලත්වය කොතරම්ද යත් දැවෙන මස් දුර්ගන්ධයෙන් ඉහළ අහසේ පියාසර කරමින් සිටි එක්සත් ජනපද ගුවන් නියමුවන් වමනය දැමු බව ඉතිහාසයේ ලියැවී ඇත.
නේපාම් බෝම්බ , වියට්නාම් යුද්ධයෙදී එක්සත් ජනපද මිලටරි යාන්ත්‍රණයට නැතුවම බැරි ආයුධයක් විය...කොරියානු යුද්ධයේදී වසර තුනක් තිස්සේ භාවිතා කර තිබුණේ ටොන් 32,357 නේපාම් බෝම්බ විය...නමුත් 1963 - 1973 අතර කාලයේ එක්සත් ජනපද හමුදා විසින් වියට්නාමයට නේපාම් බෝම්බ ටොන් 388,000 කින් පමණ පහර දී තිබිණි...යුධ මර්මස්ථාන අරුණු කොට සිවිල් වැසියන් පවා ඉලක්ක කර එල්ල කෙරනු මෙම බෝම්බ ප්‍රහාර නිසා දහස් ගණනකට ජිවිතයෙන් වන්දි ගෙවන්නට සිදු විය.
මිලිටරි ඉලක්ක වලට එරෙහිව නේපාම් බෝම්බ භාවිතා කිරීම ජාත්‍යන්තර යුධ නීතිය මගින් තහනම් කර නැත...නමුත් සිවිල් ජනතාව ඉලක්ක කර නේපාම් බෝම්බ භාවිතා කිරීම 1980 United Nations Convention on Certain Conventional Weapons (CCW) විසින් තහනම් කර ඇත...නමුත් මෙම සම්මුතියට බලවත් යැයි කියා ගන්නා රටවල් සහ ලොව විශාල වශයෙන් යුධ නීති කඩ කල රටවල් අත්සන් කර තිබුණේ නැත...කෙසේ වෙතත් වසර 29 කට පසු එක්සත් ජනපදයේ ජනාධිපති බැරැක් ඔබාමාගේ ධුර කාලය ආරම්භ වන පළමු දිනයේම එනම් 2009 ජනවාරි 21 දිනම එක්සත් ජනපදය එම සම්මුතියට අත්සන් කිරීම සුවිශේෂී කාරණයක් ලෙස හුවා දැක්විය හැකිය.
+ + + + + + + + + + + + +
ප . ලි
ඒ 1972 වසරේ ජූනි 8 වැනි දිනයි...වියට්නාම් යුද්ධයේ කුරිරුතම අවස්ථාවක් සනිටුවහන් කරමින් දකුණු වියට්නාමයේ ගම්මානයකට ඇමරිකානු ගුවන් හමුදා විසින් නේපාම් බෝම්බ හෙලනු ලැබීය.
නේපාම් බෝම්බ ප්‍රහාරයකට ලක්ව ගම්මුන් හිස් ලු ලු අත දුවදිදී නව හැවිරිදි දැරියක් තම ගිනිගෙන දැවෙන සිරුරත් සමග නිරුවතින් දුව ගියේ යන එන ඉස්සව්වක් නොදැනය...බෝම්බ ප්‍රහාරයට ලක්ව ඇයගේ ඇදුම් පිලිස්සී තිබු අතර ඇයගේ පසු පස ප්‍රදේශයේ පිලිස්සුණු සම එල්ලා වැටෙමින් තිබිණි.
යුද්ධයේ කෲරත්වය කැමරාවට හසු කරගැනීමට මාන බලමින් සිටි ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press ) ආයතනයේ යුධ වාර්තාකරුවෙකු වන නික් උට් (Nick Ut ) ට මේ දැරියව දකින්න ලැබෙන්නේ අහම්බෙනි.
නිරුවතින් හඩමින් දිවයන ඇයගේ ජායාරුපයක් කැමරාවට හසු කරගන්නා ඔහු දැරියව අසල පිහිටි රෝහලක් කරා ගෙන ගොස් ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
පසුව නික් උට් විසින් ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය හරහා මෙම සේයාරුව පලකරනු ලබයි...එය ලොවක් කැලඹූ ජායාරුපයක් බවට පත්වීමට යන්නේ නිමේෂයකි...නික් උට් ට 1973 වර්ෂයේදී කීර්තිමත් පුලිට්සර් සම්මානයෙන් පවා පිදුම් ලැබීමට එම ජායාරුපය සමත් විය...එමෙන්ම එය එම වසරේ විශිෂ්ඨතම දේශපාලන ජායාරුපය ලෙසද නම් කෙරිණ.
දහතුන් මසක් රෝහලේ නේවාසික ප්‍රතිකාර ගත් ඒ නව හැවිරිදි දැරිය රෝහලෙන් නික්ම ගියාය...ඇය නමින් පෑන් තී (Phan Thi Kim Phuc ) ය...නේපාම් දැරිය (Napalm Girl)වශයෙන්ද ලෝක ප්‍රසිද්ධ වූ ඇය වියට්නාම් යුද්ධයේ සංකේතයක් වශයෙන්ද සැලකේ...සැත්කම් ගණනාවකින් පසු නව ජීවයක් ලද පෑන් තී , වර්තමානයේ තම දරු දෙදෙනා සහ සැමියා සමග කැනඩාවේ ජිවත් වන්නීය.
04/12/2020 | පියැසි කවුළුව - Piyasi Kawuluwa
