-- නොකී කතාවක් --

Oct 10, 2015
2
0
0
ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක්. කියන්න බැරි තරම් ඉක්මනට වෙනස් වෙලා යනවා. මේ දැන් සිදුවුන දෙයක් අතීතය හා එක්වෙන්නේ හිතාගන්න බැරි තරමේ වේගයකින්. දැන් ගතකරන තත්පර කිහිපය කියන්නේ තවත් මොහොතකින් අතීතයට අයිති දෙයක්. ජීවිතය හිතාගන්න බැරි විධියට වෙනස් වුනත් මතක අනාගතයට ඇදෙනවා. ඒ මතකයන් එක්ක අපි ජීවත් වෙනවා. අතීතයේ මිහිරියාවත්, කටුකත්වයත් රැදෙන්නේ අපේ මතකයන් එක්ක. මිහිරි මතකයන් අපිට ලස්සන අතීතයක උරුමයත්, කටුක මතක දුක්බර අතීතයකුත් අපිට ගේනවා.

මේ මගේ කතාව.මගේ ජීවිතය. හැමතැනකම, හැම කෙනෙකුගෙන්ම මම මගේ කතාව දකින්න දැගලුවා. ඒත් ඒ එක්කෙනෙක් ලගවත් මෙහෙම කතාවක් තිබුනේ නෑ. අඩුම ගානේ ටිකක් හරි සමාන කතාවක්වත් තිබුන නම්... ඉතින් මම හිතුවා කවදා හරි තවත් මම වගේ කෙනෙක් මම වගේ එයාගේ කතාවත් අතීතයෙන් හොයයි කියලා. ඉතින් ජීවිතේ මුල ඉදලම ලියන්න පටන් ගත්තා. කවද හරි, කවුරු හරි, මගේ මේ නොකී කතාව කියවයි. එදාට මම මේ ගත්ත උත්සාහය ගැන මටම සතුටු වෙන්න පුළුවන් වෙයි. කොහේ හරි ඉදලා මම ඒ ගැන සතුටු වෙයි. කතාව ගලපන්න ලොකු උත්සාහයක් ගත්තා. අඩුපාඩු ගොඩක් ඇති. ඒ ගැන සමාව ඉල්ලනවා මුලින්ම. අන්තිම වෙනකං කියවලා අදහසක් දෙන්න.


_-_-**-_-_​

මේ දවස් ටිකේ මට ගොඩක් ප්‍රශ්න. හිතාගන්න බැරි විධියට එකෙන් එක ප්‍රශ්න එන්න පටන් ගෙන. කවදාවත් නැති තරමට. ඒත් මට මේක නුහුරු ජීවිතයක් නෙවෙයි. මෙහෙම අවස්ථාවක් ජීවිතේ මීට කලින් එක අවස්ථාවකදී මුණ ගැහුනා. ඒත් ඒ වෙලාවේ මෙච්චර හිත දුක් වින්දේ නෑ. ඇත්තටම ඒ වෙලාවේ හිතට දුකක් දැනෙන්න මම ඉඩ දුන්නේ නෑ. ඇත්ත ඒකයි.

මේ දවස් ටිකේ මොනවද මේ වෙන්නේ කියලා හිතන ගමන් ඇස් දෙක පියාගත්තේ බොහොම අමාරුවෙන්. ඇස් පියවෙන්නෙත් නෑ වගේ. පුදුම වේදනාවක්. දවස් කීපයක් හරියට නින්ද නැති මට මෙහෙම වේදනාවක් බලාපොරොත්තු වෙන්න වෙනවනේ. ඒ විතරක් නෙවෙයිනේ. කීප දවසක්ම හරි හැටි කෑමක්වත් නෑනේ. මොනව කරන්නද.. අද රෑටත් තේ කෝප්පයක් විතරයි. කෑම කන්න ඕන කියලවත් හිතුනේ නෑ ගෙවුනු දවස් ටිකේ.

කොච්චර ලස්සන ජීවිතයක් හීන මැව්වද මමත් ඒ කාලේ. හිමීට ඇස් පියාගෙන ඒ මැව්ව අතීතය සිහිකරගත්තා. ඒත් හිත හිතුවටත් වඩා අතීතයකට ඇදිලා ගියා. දන්නෙම නැතුව... ජීවිතයේ මුලටම ගියා. මුලටම...


 
Oct 10, 2015
2
0
0
වර්ෂය 1984 හෝ ඊට ආසන්න කාලයක, තාත්තා ගාල්ලෙන් උසස්පෙළට මුහුණ දෙනවා. වානිජ විෂය ධාරාව යටතේ. දන්න විධියට ඒ කාලේ කැම්පස් යන්න රිසල්ට්ස් දුන්නේ ලකුණු වලින්. බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරලා ජීවිතේ ලොකු සටනක් දීලා හිටිය නිසා එක අතකින් උසස්පෙළ කියන්නේ තාත්තට ලොකු දෙයක් නොවෙන්න ඇති. තවත් විධියකින් බැලුවොත් උසස්පෙළ කියන්නේ මහා බරක් වෙන්නත් ඇති. හොදට වැඩ කරපු නිසා කැම්පස් යන්න පුළුවන් හොද ලකුණක් තාත්තට ලැබෙනවා. ඒ රුහුණට. රුහුණු විශ්වවිද්‍යාලයට.


තාත්තා ඒ කාලේ ඉදලම ලොකු උත්සාහයක් ගත්ත දියුණු වෙන්න. මහ ගෙදරින් ටිකක් දුරට වෙන්න වෙනම ඉඩමක අලුතින් ගෙයක් හදලා, ඒ ගෙදර වටේටම තේ හිටවලා ගත කරපු ජීවිතේ මිහිරි මතක ගොන්නක් තාත්ත ලග තියෙනවා තවමත්. දවසක් කියපු විධියට පාසලට ගිය සමහර දවස් වලට කකුලට දාන්න සෙරෙප්පුවක්වත් පාවිච්චි කරල නෑ. ඒ නිසාම ඒ අතීතය ගැන මම අහන්න ගියේ නෑ තාමත්. දුක හිතුනොත්... තාත්තට ඉන්නවා මල්ලිලා දෙන්නයි, නංගි කෙනෙකුයි. මේ තුන් දෙනාගෙන් එක මල්ලි කෙනෙක් විතරයි හොදට ඉගෙන ගත්තේ. අනිත් මල්ලි ලොකු අධ්‍යාපනයක් ලැබුවේ නෑ. හදිසියෙම තාත්තගේ අම්මා, ආච්චි අසනීප වුන නිසා තාත්තගේ නංගිගෙත් අධ්‍යාපනය මැද නතර වෙලා. තාත්තගේ තාත්තා, සීයත් පුළුවන් හැම දෙයක්ම කරා පවුල ගොඩ දාන්න. ඕන දෙයක් හොදට කරන්න පුළුවන් හැකියාවක් එයාට තිබුනා.

1985 වගේ වෙනකොට තාත්තා රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසර උපාධි අපේක්ෂකයෙක්. ඒ කාලේ විධියට ඒක ලොකු දෙයක්. පවුලට ලොකු ආඩම්බරයක්. තාත්තා කැම්පස් ගියත් ගෙදර ගැන හොදට හොයල බැලුවා. ඒ නිසා තමයි එක මල්ලි කෙනෙක් හරි හොදට ඉගෙන ගත්තේ. ඒ අතින් එයා වාසනාවන්තයි හොද අයියා කෙනෙක් ලබන්න. කොළඹ එක්කගෙන ඇවිත් බෝඩින් වල නතර කරගෙන තමයි තාත්ත එයාට උගන්නලා තියෙන්නේ.

අම්මටත් අයියලා අක්කලා මල්ලිලා හතර දෙනෙක්. අම්මා පවුලේ හතරවෙනියා. අම්මගේ තාත්තා ඒ කාලේ ඉදලම කුඹුරු වගාවෙන් ජීවත් වෙනවා. අම්මගේ පවුලෙනුත් අම්මා විතරයි ඉගෙන ගෙන තියෙන්නේ. තාත්තා තරමටම නැතත් අම්මත් ටිකක් හරි දුක් විදලා තියෙනවා. ඒත් ඒ කාලේ හැටියට ඒක ඒ හැටි ලොකු දුකක් නෙවෙයි. අම්මා උසස් පෙළ දෙපාරක් කරල තමයි කැම්පස් එන්නේ. අම්මගේ අයියලා මල්ලිලා ගෙදර බර කරට ගත්තේ අම්මා ඉගෙනගන්න කාලෙදිමයි.

අම්මත් රුහුණු විශ්වවිද්‍යාලයටම තේරිලා එන්නේ දෙවෙනි පාර උසස් පෙළ රිසාල්ට්ස් වලින්. හැබැයි ඒ වානිජ වලින් නෙවෙයි. ආර්ට් වලින්. අම්මා මාතරමයි. ගෙදර ඉදන් තමයි කැම්පස් ගිහින් තියෙන්නේ. ඒත් තාත්ත නම් නැවතිලා ඉදලත් තියෙනවා. තාත්ත කැම්පස් එකේ දෙවෙනි වසරට යනකොට තමයි අම්මා පළමු වසරට තේරෙන්නේ. එකම අවුරුද්දේ ඉපදුනත් කැම්පස් එකේදී තාත්තට වඩා අවුරුද්දක් බාලයි අම්මා. ඔන්න ඔහොමයි ඒ දෙන්න හමු වෙලා තියෙන්නේ...