දෙමටගොඩදී පෙරේදා (17) පොලිස් බාරයට ගත් වයඹ ඩිස්‍ටිලරීස් සමාගමේ මත්පැන් බෝතල් 68,000ක තොගය නිත්‍යානුකූල ඒවා බව සුරාබදු නිලධාරීන් අද අධිකරණය හමුවේ පිළිගෙන තිබේ.
ඒ අනුව නීත්‍යානුකූල නොවන බව පවසමින් පොලිසිය විසින් බාරයට ගත් මත්පැන් තොගය මුදාහැරීමට මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ පුද්ගලයන් අතුරින් එක් අයෙකු රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප හා අනෙක් සැකකරුවන් 7දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප සහ රුපියල් 20,000 බැගින් වූ මුදල් ඇප මත මුදාහැර තිබේ.
-----------
පිළියන්දල ප්‍රදේශයේ නිවසක ලැම්බෝගිනි මෝටර් රථයක් සඟවා තිබෙන බවට ඊයේ (18 වැනිදා) ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධව පිළියන්දල පොලිසිය සිදුකළ විමර්ශනයේදී එය ධාවන තරග සඳහා සූදානම් කළ රේසින් වර්ගයේ මෝටර් රථයක් බව අනාවරණයවී ඇත.
නිවසක් තුළ ලැම්බෝගිනි මෝටර් රථයක් සඟවාගෙන සිටින බවට ප්‍රදේශවාසීන් විසින් බස්‌නාහිර (එජාප) පළාත් සභා මන්ත්‍රීවරයකුට කරන ලද දැනුම්දීම මත ඔහු මේ බව පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව පොලිසිය එම නිවසට ගොස් වාහනය සිය භාරයට ගෙන එහි හිමිකරුවන් ගැන සොයා බැලීමේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ වාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකුට අයත් එකක් බව හෙළි වී ඇත.
එම ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කිරීමේදී වාහනයේ චැසි අංකය, එන්ජින් අංකය නිවැරදි බවත් ඒවා නියමාකාරයෙන් බදු මුදල් ගෙවා මෙරටට ගෙන්වා ඇති බවට ලිපි ලේඛන ඔහු පොලිසියට ඉදිරිපත් කර ඇත.
ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවීන්ද්‍ර කරවිට, සහකාර පොලිස් අධිකාරී රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිස් ස්‌ථානාධිපති විජයමුනි සෝමරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.