කාලාම සුත්‍රය
කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ක්ෂත්‍රීයයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.
“වහන්ස කේසපුත්තයට එන ඇතැම් මහන බමුණෝ ඇත. ඔවුහු ඔවුන්ගේ ලබ්ධියම (ආගම,ඇදහීම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ඇදහීම, විශ්වාසය සමග ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. වහන්ස අන්‍ය වූ වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝද කෙසපුත්තයට එති. ඔවුහුද ඔවුන්ගේ ලබ්ධියම (ආගම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. භාග්‍යවතුන් වහන්ස එහෙයින් අපට මේ මහණ බමුණන් අතරින් කවරෙක් නම් සත්‍යය කියයිද, කවරෙක් නම් බොරු කියයිද යි, සැක ඇතිවේය.” යනුවෙනි.
එවිට භාග්‍යවතුන් වහන්සේ කාලාමයන්ට මෙසේ කීහ. “තොප විසින් සැක කරන්නට සුදුසුමය. විචිකිච්ඡා කරන්නට සුදුසුමය. සැක කටයුතු තැනම තොපට සැකය උපන්නේය. කාලාමයෙනි තොපි අසව.
තොප,
1.අනුශ්‍රව කතාවෙන් නොගනුව -(මා අනුස්සවෙන), – ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව .
2.පරම්පරා කථායෙනුද නොගනුව (මා පරම්පරාය), – පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව,
3.තෙල මෙසේ වීලයිද නොගනුව, (මා ඉතිකිරාය), – යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව,
4.අපගේ පෙළ හා යෙදෙතියිද නොගනුව, (මා පිටක සම්පදානෙන), තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව,
5.තර්කග්‍රාහයෙන්ද නොගනුව, (මා තක්ක හේතු), හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව,
6.න්‍යායග්‍රහයෙන්ද නොගනුව, (මා නය හේතු), හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව,
7.ආකාර පරිවිතර්කයෙන්ද නොගනුව, (මා ආකාර පරිවිතක්කෙන), යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව,
8.අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා ගැලපේ යයිද නොගනුව, (මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා), තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව,
9.භව්‍යරූප්‍යතාවෙන්ද නොගනුව, (මා භබ්බරූපතාය), මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව,
10.මේ මහණ අපට ගුරු යයිද නොගනුව, (මා සමණෝ නො ගරොති), තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව,
මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහතකී නිර්ණායක දහය මත පමණක් පදනම්ව සත්‍ය අසත්‍ය තීරණය නොකළයුතු බවට අවවාද දුන් සේක.