බුදුරජාණන් වහන්සේව දකින්නට තියෙන එකම ක්‍රමය නම් ධර්මය දැකීමයි. ඒ සඳහා ධර්මය නිවැරදි ලෙස ඉගෙනගෙන තිබිය යුතුයි. ඒ ධර්මය මනාකොට හදාරා නැති කෙනා හැමතිස්සේම ඉන්නේ බාහිර පුද්ගලයෙක්ව පිළිසරණ කරගෙනයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා තිබෙන්නේ, අප විසින් පිළිසරණය කරගත යුතු වන්නේ උන්වහන්සේගේ ධර්මය බවයි. ඒ ධර්මය තුළින් අපට හඳුනාගත හැකිවෙනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? යන වග, ශ්‍රී සද්ධර්මය නම් කුමක්ද? යන්න හා මහා සංඝරත්නය කවුද? යන වග. ඔය කරුණු හඳුනාගත් පසු අපට තේරුම් යනවා සංසාරය සකස් වෙන්නේ අපේ සිතේ බව. දුක සකස් වෙන්නේ ජීවිතය තුළින් බවත්, සකස් වෙන දෙයක් හෙයින් එය අනිත්‍ය බවත්, අනිත්‍ය දෙයක් වූ දුකෙහි සකස්වීම හේතුවක් අනුව සිදුවන්නක් බවත්, ඒ හේතුව නැති කිරීමෙන් දුක නැති කිරීමට පුළුවන් බවත් තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන ප්‍රායෝගිකව ධර්මයෙහි හැසිරෙමින් පුරුදු කරගෙන යද්දී, දුක ඇතිවෙන්නෙ මේ මේ ආකාරයටයි කියා තේරුම් යද්දි මේ දුක නැතිකර දාන්නට පුළුවන් කියන අදහස එනවා. තමන් අදහන ධර්මය තමන්ට විශ්වාස නම් විතරයි ඒ මතය ඇතිවෙන්නේ. මානසිකව බලවත් වෙන්නේ නිසැක භාවයට පත්වෙමින් යන ගමනකුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැමවිටම ප්‍රකාශ කරනු ලබන කාරණයක් තමයි ‘ඒහිපස්සික…‘ ඇවිත් නුවණින් විමසා බලන්න.
මතක තියාගන්න, මේ මිනිස් ජීවිතය අපට කලාතුරකින් ලැබුණ දෙයක්. ඊළඟ ජීවිතයෙ කොහේ යයි දැයි නොදන්නා, අනතුරක් පවතින මේ සංසාර ගමනේ, කලාතුරකින් ලද මේ අවස්ථාවේදී පැහැදිලිවම අපේ මනස දියුණුව කරා ගෙනියන්න පුළුවන්කම තියෙද්දිත්, වැරදි මතවාද වලින් එය ආවරණය කර ගැනීම අප විසින් අපටම සිදුකර ගන්නා විශාල හානියක්. එහෙම හානියක් කර නොගෙන පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාර්ගය තුළ ගමන් කරමු. පෘථග්ජන පිරිස හැටියට නොමැරී මාර්ගඵලලාභීන් හැටියට ජීවිතය අවසන් කරමු….
බුදු රජාණන් වහන්සේ ගැන අල්ප මාත්‍රයක් වත් නොදැන මත පල කිරීම ගැන නම් හරිම කණගාටුයි.
බුදු රජාණන් වහන්සේ කියලා දුන්නේ ආගමක් වශයෙන් වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
උන් වහන්සේ කිව්වේ මේ ලෝක වල තියෙන සත්‍යය.
දෙවියන්ගෙත් ශාස්තෘන් වහන්සේ වෙන්නේ බුදු රජාණන් වහන්සේ. ධජග්ග සූත්‍රය අහලා ඇතිනේ නේද....