බුලත්සිංහල_බැංකු රොබරිය

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    බුලත්සිංහල_බැංකු රොබරිය

    කෝටි 2 1/2ක් කොල්ලකාලා කතරගම දෙවියන්ට පූජා තියපු බුලත්සිංහල බැංකු රොබරිය !


    සංඛ්‍යා ‍ලේඛනවලට අනුව අපේ රටේ අපරාධ අඩු යැයි ‍පොලිසිය සඳහන් කළද අපරාධවල අඩු බවක් නම් ජනතාවට දැනෙන්නේ නැති තරම්ය. ඒ සංඛ්‍යාත්මකව අපරාධ අඩු වූවත් අපරාධවල බිහිසුණුකම වෙනදාට වඩා ඉහළ ගොස් ඇති බැවිනි.

    මේ තත්ත්වයට මුල් වී ඇත්තේ ගමේ ගොඩේ සිදුවන හුදෙකලා අපරාධ ක්‍රමයෙන් අඩු වන විට සංවිධානාත්මකව සිදු වන අපරාධ ඉහළ යමින් පැවතීමය. අද වන විට බිහිසුණු අපරාධයක් රටේ වාර්තා නොවන දිනයක් නැති තරම්ය. මෙරට ඉතිහාසයේ ලොකුම බැංකු සොරකම පවා සිදුවන්නේ මෙම වසරේදීය. ඒ තලාවේ ලංකා බැංකු ශාඛාවය. සේප්පු බිඳ කොල්ලකෑ මුදල් සහ රන් භාණ්ඩවල වටිනාකම පමණක් රුපියල් කෝටි 16 කට අධිකය.

    ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවය. ළඟදීම එකී සොරකමට සම්බන්ධ වූවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ඇත.

    දහඅට වංගුවේදී රුපියල් කෝටි පහමාරක මුදල් කොල්ලය පවා සිදුවන්නේ මෙම වසරේදීය. පුද්ගලික බැංකුවක මහියංගණය ශාඛාවේ අතිරික්ත මුදලක් බැංකු මූලස්ථානයට රැගෙන යමින් සිටියදී එම කොල්ලය සිදුවී තිබුණේය. එම කොල්ලය සටහන් වන්නේ මධ්‍යම පළාතේ සිදුවුණු ලොකුම කොල්ලය ලෙසිනි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මධ්‍යම පළාත් ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා යටතේ ඇති විශේෂ ‍පොලිස් ඒකකය විසින් මේ වන විටත් කොල්ලකරුවන් සියලු දෙනා හඳුනාගෙන හමාරය. එම කොල්ලයට ආරක්ෂක අංශවලින් පලා විත් සිටින්නන් මෙන්ම එම මුදල් ප්‍රවාහනය කළ ආරක්ෂක සමාගමේ සේවකයන්ගේද හවුලක් ඇති බව පැහැදිලිය.

    බුලත්සිංහලදීද රුපියල් කෝටි දෙකහමාරක මුදලක් කොල්ලකන්නේද දිගින් දිගටම සිදුවන කොල්ලකෑම් රැල්‍ලේ තවත් එක් කොල්ලකෑමක් ලෙස සනිටුහන් කරමිනි. ඒ ඉකුත් ජූනි 28 වෙනිදාය. හොරණ පැත්තේ බැංකු කිහිපයක ඒ.ටී.එම්. යන්ත්‍රවල තැන්පත් කිරීමට රැගෙන යමින් තිබුණූ එම මුදල් කොල්ලකන්නේ මුදල් ප්‍රවාහනය කරමින් සිටි සමාගමේ සේවකයින්ගේ දෑස්වලට මිරිස් කුඩු ගසාය. එම කොල්ලය සිදුවන විට මුදල් ප්‍රවාහනය කරමින් තිබුණු වෑන් රථයේ රුපියල් කෝටි තුනහමාරක මුදල් ඇසුරූ මලු 19ක්ම තිබුණේය. කොල්ලකරුවන්ට එයින් රැගෙන යාමට හැකියාව ලැබෙන්නේ කොටසක් පමණි. කොල්ලකන මුදල රුපියල් කෝටි දෙකහමාරකට සීමා වන්නේ ඒ නිසාය.

    එදා එම කොල්ලය සිදුවන විට වෑන් රථයේ සිව් දෙනෙක් ගමන් කරමින් සිටියහ. ඒ අය අතර රියදුරාත් ආරක්ෂක නිලධාරියාත්, මුදල් භාරකරුවන් දෙදෙනකුත් සිටියෝය. කෝටි තුනහමාරක ආරක්ෂාවට ආරක්ෂක නිලධාරියා අත වූයේ ෂොට්ගන් වර්ගයේ පැරණි තුවක්කුවක් පමණි. කොල්ලය සිදුවන විට එම තුවක්කුව පවා ඔහු අත නොවීය. ඔහු එය වෑන් රථයේ තබා හොරණ – බුලත්සිංහල මාර්ගයේ පිහිටි හෝටලයකට ගොඩ වී සිටියේ දහවල් ආහාරය ගැනීමටය. වෑන් රථයේ රැඳී සිටියේ රියදුරා පමණි. ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් හෝටලය අසල නතර කෙරෙන්නේ ඔය අතරතුරදීය.

    එම රථයෙන් බැස ගන්නා සිව් දෙනෙක් හෝටලය වෙත පිය නගන්නට විය. ඒ අතර සිටියෙක් එකවරම බැංකු ආරක්ෂකයා අසලට යමින් ඔහුට එල්ල කරන්නේ තමන් අත වූ වූ පාර්සලයකි එය මිරිස් කුඩු ප්‍රහාරයකි. ඒ වන විට මුදල් භාරව සිටි මුදල් භාරකරුවන් දෙදෙනා සිටියේ වැසිකිළියට ගොසිනි. බැකු ආරක්ෂකයාට මිරිස් කුඩු ප්‍රහාරය එල්ල කළවුන් අතර සිටි අය දිව යන්නේ මුදල් ප්‍රවාහනය කරමින් තිබුණු වෑන් රථය වෙතය. ඒ, එක් අයෙක් අත මිටියකි. එම මිටියෙන් වෑන් රථයේ මුදල් බෑග් තිබූ තහඩු පෙට්ටියේ අගුළු ඔහු කැඩුවේය. ඒ අතර තවත් අයෙක් වෑන් රථයේ අසුනක් මත තිබුණූ බැංකු ආරක්ෂකයාගේ ගිනි අවිය තම සන්තකයට ගත්තේය. වෑන් රථයේ තිබුණු මුදල් මලු එකිනෙක ඔවුන් තමන් පැමිණි ජීප් රථයට පටවන්නට ගත්තේය. එසේ ඔවුන්ට පටවන්නට හැකිවන්නේ මලු 12 ක් පමණි. කලබල වූ ඔවුන් මලු කිහිපයක් අතහැර පලායන්නේ හොරණ දෙසටය.

    මෙම මුදල් කොල්ලය සම්බන්ධයෙන් මූලික විමර්ශන පැවරෙන්නේ බුලත්සිංහල ‍පොලිසියට වූවත් පසුව එම පරීක්ෂණ කළුතර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය ‍පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ ‍පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න යන මහත්වරු විසින් පවරන්නේ සහකාර ‍පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසටය. විශේෂ ‍පොලිස් කණ්ඩායම් රැසක් සමග ඔහු පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්නේ විද්‍යාත්මක සාක්ෂි රැස් කරමිනි. ඒ වන විට ජීප් රථයේ අංකය පවා ‍පොලිසිය සතු වූයේය. එම අංකය පරීක්ෂා කිරීමේදී අනාවරණය වන්නේ එය හිටපු ඇමැතිවරයෙක් වන දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දු මහතාගේ නමින් ලියාපදිංචි වී ඇති එකක් බවය. වත්මන් හිමිකරු කවුරුන්දැයි කළ පරීක්ෂාවේදී අනාවරණය වන්නේ ඔහු මෙම කොල්ලයට කිසි සම්බන්ධකමක් ඇති අයෙක් නොවන බවය. ඒ අනුව පැහැදිලි වන්නේ ව්‍යාජ අංකයකින් එම ජීප් රථය ධාවනය කර ඇති බවය.

    ඒ නිසාම ජීප් රථය පලාගිය මග දෙපස ඇති ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමට ‍පොලිස් විමර්ශකයන් පියවර ගත්තේය. ජීප් රථය මතුගම පැත්තට ගොස් ගාලු පාරට පිවිස අලුත්ගම, ගාල්ල, මාතර, හක්මන ඔස්සේ හම්බන්තොට දක්වා ගමන් කර ඇති බව හෙළිවන්නේ එවිටය. එතෙක් ජීප් රථයේ 64 – — ලෙස සටහන්ව තිබුණු අංක කහඩුව කේ.ටී. ලෙස වෙනස්වන්නේ මාතර පසුකරන විටදීය. එම අංකය ආරක්ෂක කැමරාවලින් හෙළිකරගත් ‍පොලිස් විමර්ශකයන් එහි ලියාපදිංචි හිමිකරු කවුරුන්දැයි මුලින්ම සොයා බැලුවේය. ජීප් රථය ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයකුට අයත් එකක් බව හෙළිවන්නේ එවිටය.

    ඔය කියන දවසේ මගේ යාළුවෙක් ජීප් එක ඉල්ලගෙන ගියා කෙල්ලෙක්ව බලන්න කියල. ව්‍යාපාරිකයා ‍පොලිසියට කියන්නට වූයේ එවන් කථාවකි.

    එසේ ඔහුගෙන් ජීප් රථය රැගෙන ගොස් තිබුණේ වැලි ව්‍යාපාරයේ නිරතව සිටින්නෙකි. ඔහු කමාන්ඩෝ බළකායේ වසර 09 ක් සේවයේ නිරතවූවෙකි. උඩවලව පැත්තේ පදිංචිකරුවෙක් වූ ඔහුව ඒ පැත්තේ කොයි කවුරුත් දැන සිටියේ සෙබලා යැයි කියූ විටය.

    ‍පොලිස් විමර්ශනවලින් පෙනී යන්නේ බුලත්සිංහල කෝටි දෙකහමාරේ කොල්ලයේ මහ මොළකරු ඔහු බවය. ඒ අනුව ‍පොලිස් විමර්ශකයන් මුලින්ම අත්අඩංගුවට ගන්නේ ඔහුවය. පසුව ඔහුගේ තොරතුරු මත තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තේය. ඒ අය අතර සෙබළාගේ වැලි ටිපර් පදවන රියැදුරෙක්ද සිටියේය. ඔහු කොළඹගේ ආරේය. ඊට අමතරව යුද හමුදාවේ සිවිල් කාර්ය මණ්ඩලයේ සේවයේ නිරතවූවෙක්ද සිටියේය. ඔහු සෙවණගලය. පුෂ්ප කුමාර නම් වූ ඔහු මෙම කොල්ලයට සූදානම් වන්නේ දින 17 ක් මුදල් ප්‍රවාහනය කර සමාගමේ ආරක්ෂකයෙක් ලෙස සේවයේ නිරත වෙමිනි. ඒ ජුලි 03 වෙනිදා සිට 20 වෙනිදා දක්වාය.

    මේ කොල්ලයට ඔවුන් සිව් දෙනාට අමතරව තවත් අයෙක්ද සම්බන්ධව සිටියේය. ඔහු මුදල් ප්‍රවාහනය කරන සමාගමේ ආරක්ෂකයෙකි. මුදල් කොල්ලකන්නට සියලු තොරතුරු කොල්ලකරුවන්ට දෙන්නේ ඔහුය. ඒ දින 17 ක් එම සමාගමේ ආරක්ෂකයෙක් ලෙස සේවයේ නිරත වූ පුෂ්පකුමාර හරහාය. මුදල් ප්‍රවාහනය කරනු ලබන වේලාවන් සහ ක්‍රමවේදය පිළිබඳව බොහෝ තොරතුරු ඔහු පුෂ්පකුමාරගේ කනෙහි තැබුවේය. අත්අඩංගුවට ගත් පුෂ්පකුමාරගෙන් ඒ තොරතුරු හෙළිවීමත් සමග ‍පොලිස් විමර්ශකයන් ගල්නෑවට ගොස් ඔහුව අත්අඩංගුවට ගන්නේ නිවසේ රැඳී සිටියදීය.

    කොල්ලයට සූදානම්ව සෙබළා ඇතුළු පිරිස මුලින්ම එන්නේ කොළඹටය. සෙබළා සහ පුෂ්පකුමාර එන්නේ මැණික් ව්‍යාපාරිකයාගෙන් ඉල්ලාගත් ජීප් රථයේ නැගීය. සෙබළාගේ ගෝලයින් දෙදෙනා එන්නේ වැලි ලොරියක නැගීය. වැලි ලොරිය කොළඹ, ඔවුන් වැලි ගොඩබාන ස්ථානයක නතර කරනු ලැබිය. වැලි ලොරියේ සිටියවුන්ද ජීප් රථයට නැග්ගේය. කොළඹ සිට ඔවුන් ගමන් ගන්නට වූයේ හොරණටය. සැලසුම් කරන්නේ හොරණදී මුදල් කොල්ලකන්නටය.

    ඔවුන් ගමන් කරමින් සිටි ජීප් රථයට සමානකමක් ඇති ජීප් රථයක් ඔවුන්ට මුණ ගැසෙන්නේ ඒ යන අතරතුරදීය. ඒ ගොඩගම පැත්තේදීය. සෙබළා එම ජීප් රථයේ අංකය සටහන් කර ගනිමින් එම අංකයට සමාන ව්‍යාජ අංකයක් වාහන අංක තහඩු සකස්කරන ස්ථානයකින් සකස් කර ගන්නේ බණ්ඩාරගමදීය. නියමිත වේලාවටම ඔවුන් හොරණට ගියේය. මුදල් ප්‍රවාහනය කරමින් තිබුණු වෑන් රථය පස්සෙන්ම ගියේය. මුදල් කොල්ලකන්නට අවස්ථාවක් ලැබෙන්නේ බුලත්සිංහලදීය. එදා ඔවුන් කෙළින්ම යන්නේ උඩවලවටය. ඒ මතුගමින් අලුත්ගමට පැමිණ ගාලු පාර ඔස්සේ ගාල්ලට පැමිණය.

    මුදල් තොගයද එදා රෑම ඔවුන් සමානව බෙදා ගත්තේය. ඒ උඩවලවේ වැලි තොටුපළකදීය. එක් කොටසක් ගල්නෑවේ ආරක්ෂකයාටත් බෙදී ගියේය. පහු වෙනිදා එම ජීප් රථයේම නැගී ඔවුන් සිව් දෙනා යන්නේ කතරගම වන්දනාවේය. ඒ සාර්ථක මංකොල්ලය වෙනුවෙන් දෙවියන්ට පූජාවක් පැවැත්වීමටය. එදා රුපියල් 5000 පූජාවට්ටි හතරක්ම දෙවියන්ට පූජාකරන ඔවුන් කතරගම දෙවියන්ට භාරයක් ගැටගසන්නේ ‍පොලිසියට හසුනොවන්නැයි කියාය. විශේෂත්වයක් වන්නේ මෙම කොල්ල කල්ලිය අල්ලා ගන්නට ඉවහල් වන විද්‍යාත්මක සාක්ෂි ‍පොලිසියට ලැබෙන්නේ ඔවුන් ඒ භාරය වන මොහොතේම වීමය.

    – ගයාන් කුමාර වීරසිංහ
    (රිවිර)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    විශේෂත්වයක් වන්නේ මෙම කොල්ල කල්ලිය අල්ලා ගන්නට ඉවහල් වන විද්‍යාත්මක සාක්ෂි ‍පොලිසියට ලැබෙන්නේ ඔවුන් ඒ භාරය වන මොහොතේම වීමය

    දෙයියෝ පොලීසිය පැත්තේ
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    විශේෂත්වයක් වන්නේ මෙම කොල්ල කල්ලිය අල්ලා ගන්නට ඉවහල් වන විද්‍යාත්මක සාක්ෂි ‍පොලිසියට ලැබෙන්නේ ඔවුන් ඒ භාරය වන මොහොතේම වීමය

    දෙයියෝ පොලීසිය පැත්තේ

    :lol::lol:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    විශේෂත්වයක් වන්නේ මෙම කොල්ල කල්ලිය අල්ලා ගන්නට ඉවහල් වන විද්‍යාත්මක සාක්ෂි ‍පොලිසියට ලැබෙන්නේ ඔවුන් ඒ භාරය වන මොහොතේම වීමය.

    meka patta, deviyoth sakshi kuduwara nagiy ehenam