ප්රභාකරන් අත්අඩංගුවට
මේ සමඟම නොවැම්බර් මස 8 වෙනිදා තමිල්නාඩු පොලිසිය සිය මෙහෙයුම ආරම්භ කළේය. එහිදී සටන්කාමීන් සතුව තිබූ අවි ආයුධ රැසක් අල්ලාගනු ලැබුණි.
ප්රභාකරන් ද අත්අඩංගුවට පත්විය. ප්රභාකරන්ගෙන් ප්රශ්න කරන ලද අතර එහිදී තමිල්නාඩු පොලීසිය ප්රභාකරන්ගේ ඡායාරූප සහ ඇගිලි සලකුණු ද ලබා ගත්තේය.
ඒ සමඟම ප්රභාකරන් සහ බාලසිංහම්ව නිවාස අඩස්සියේ තබන ලදී. මෙහිදී ප්රභාකරන් සතු සන්නිවේදන උපකරණ රැසක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි. මෙයින් ප්රභාකරන් කෝපයට පත්විය. තම සන්නිවේදන උපකරණ ආපසු ලබාදෙන තෙක් තමා මාරාන්තික උපවාසයක් කරන බව ප්රභාකරන් ප්රකාශ කෙළේය.
පසුව ඇන්ටන් බාලසිංහම් සිටි මදුරාසියේ නිවසට විත් ඔහු මාරාන්තික උපවාසය ඇරඹීය. මෙහිදී ප්රභාකරන්ගේ සහයට සිටි තමිල්නාඩු ප්රාදේශීය දේශපාලනඥයෝ ජනතාව උසිගැන්වූහ.
ඒ අනුව ප්රභාකරන්ට සහය දක්වමින් තමිල්නාඩුවේ ජනතාව එම ස්ථානයට රැස්විය. මින් පසුව අත්අඩංගුවට ගත් සන්නිවේදන උපකරණ සහ ආයුධ ද ආපසු ලබාදෙන මෙන් එම්. ජී. ආර්. තමිල්නාඩු පොලිසියට දැන්වීය. ඒ අනුව ප්රභාකරන්ගේ උපවාසය පැය 24ක් යන්නටත් මත්තෙන් අවසන් විය.
පසුව එලැඹි තත්ත්වය අනුව ප්රභාකරන් ලංකාව බලා යාමට තීරණය කළේය. ඒ අනුව 1987 ජනවාරි මස 4 වෙනිදා ප්රභාකරන් නැවතත් ලංකාවට පැමිණියේය.
තමිල්නාඩුවේ පැවැති අනාරක්ෂිත තත්ත්වය මත තමා තමිල්නාඩුව හැරයන බව ප්රභාකරන් විසින් නැදුමරන්ට ප්රකාශ කර තිබුණි. එහෙත් එහි සැගවුණු තවත් කතාවක් තිබුණි.
ඒ ප්රභාකරන්ගේ නායකත්වයට යාපනයේ විකල්පයක් මතුවෙමින් තිබීම ය. 1986 මැයි මාසයේ ආරක්ෂක හමුදා අරඹා තිබූ ප්රබල සටන නිසා ඔක්තෝම්බර් මාසයේදී එල්. ටී. ටී. ඊ. මන්නාරම් ප්රදේශයේ නායක වික්ටර් මරුමුවට පත්විය. වික්ටර් ප්රභාකරන්ගේ මෙන්ම කිට්ටුගේ ද හිතවතෙක් විය.
වික්ටර්ගේ සිරුර ජනතාවගේ ගෞරවය සඳහා ස්ථාන කිහිපයකම තැබීමට කටයුතු කෙරිණි. වික්ටර්ට අවසන් ගෞරවය දැක්වීම සඳහා ජනතාව රැස්වූ විට කිට්ටු කතා පැවැත්වීය. මේ කතා පැවැත්වීම නිසා ජනතාව කිට්ටු කෙරේ වැඩිවැඩියෙන් ආකර්ශනය වනු දක්නට ලැබුණි. එක් අවස්ථාවකදී වෙනත් එල්. ටී. ටී. ඊ. නායකයන් මෙන් වික්ටර් ද සෙබලුන් සමඟ සටන් පෙරමුණේ සිටි නායකයකු බව කිට්ටු ප්රකාශ කෙළේය.
මෙය ප්රභාකරන්ට කළ ඇනුම්පදයක් මෙන් විය. ඒ වන විට ප්රභාකරන් ඉන්දියාවට වී අවුරුදු කිහිපයක් ගතවී තිබුණු හෙයිණි. මේ අනුව එල්. ටී. ටී. ඊ. ය තුළ කිට්ටුගේ වර්ධනය වලක්වාලීමේ අදහසින් ප්රභාකරන් ලංකාවට නැවත පැමිණි බව විශ්වාස කෙරේ.