බොබ් මාර්ලි ගැන

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බොබ් මාර්ලි ගැන

    marley-man.jpg





    සබඳ සැබෑ මිනිසකු ලෙස ජීවත්වන්න !


    “මට ඇත්තේ එකම ප්‍රාර්ථනයකි. එකම එක දෙයක් සිදු වෙනු දැකීමට මගේ හදවත ආශාවෙන් බරවෙයි. කළු, සුදු, චීන ආදී හැම ජාතියක්ම මනුෂ්‍ය වර්ගයා ලෙස එකට එකතු වීම ඒ සිහිනයයි. මට අවශ්‍ය එපමණ ය...”

    ජැමෙයිකාවේ උපත ලැබ, සංගීතයෙන් ලෝකයම දිනාගත් බොබ් මාලේ වරෙක එසේ කීවේය. තුන්වැනි ලෝකයට උපන් පළමු පොප් තාරකාව ලෙස හැඳීන්වෙන ඔහු මියගොස් දැනට අවුරුදු 34 ගතවී අවසන් ය. එහෙත් අදටත් බොබ් මාලේ ගැන කතා කරන්නට බොහෝ දේ ඉතිරිව තිබෙන්නේ, ඔහු තුළ ජීවත් වූ ගායකයාට එහා ගිය සොඳුරු මිනිසා නිසා ය. පවතින සමාජ හා දේශපාලන වටපිටාව ගැන ඔහු තුළ තිබූ ගැඹුරු දර්ශනය නිසාය. බොබ් මාලේට සාමාන්‍ය කම්කරු පන්තියේ සිට සුපිරි පන්තිය දක්වා රසිකයන් කොටසක් දිනා ගන්නට පුළුවන් වූයේ ද ඒ නිසාය.

    බොබ් මාලේගේ ගීතවලට පසුබිම් වූ සමාජ දේශපාලන වටපිටාව ගොඩ නැගෙන්නේ ඔහු කුඩා කල පටන්ම ය. ඔහුගේ පියා නෝර්වාල් සින්ක්ලෙයාර් මාලේ බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති සුදු ජාතිකයෙකි.

    වුරුදු 14 දී පාසල් ගමන නවතා දැමූ ඔහු නෙවිල් බනී ලිවින්ස්ටන්, පෝ හිග්ස්, පීටර් ටොෂ් වැනි මිතුරන් සමඟ එක් වී සංගීත චාරිකාව අරඹන්නට සූදානම් විය. 1962 වසරේදී ඔහු සිය පළමු ගීත දෙක වූ Judge not හා One cup of coffee ගීත දෙක තැටි ගත කළේය.


    “විනිශ්චය නොකරන්න මා


    ඔබ ඔබව විනිශ්චය කරන්නට කලියෙන්


    විනිශ්චය නොකරන්න මා


    ඔබ ඔබ ගැන විවේචනයක් අසන්නට සූදානම් නැති


    නම්....


    ජීවිත ගමනේ ගිරිහෙල් බොහොමයි


    පය පැකිලී ඔබ ද ඇද වැටෙනු නියතයි


    ඔබ මා ගැන විවේචනය කරද්දී


    අනෙක් අය ද ඔබ විවේචනය කරනු නියතයි....”


    බොබ් මාලේ සිය Judge not ගීතයෙන් කියන්නට උත්සාහ කළ දේ එයයි. මේ ගීතයට එතරම් ලොකු අවධානයක් ලැබුණේ නැතත්, මාලේ සිය උත්සාහය අතහැර දැමුවේ නැත.

    මාලේ සිය ගීතවලට පදනම් කර ගත්තේ රෙගේ සංගීත සම්ප්‍රදායයි. එය කම්කරු පන්තියේ මිනිසුන්ගේ දැවෙන හදවත් සුව කිරීමට සුදුසු රිද්මය බව ඔහු හඳුනා ගත්තේය. වර්ණභේද වාදය ගැනත්, කම්කරු පන්තියට පාලක පන්තියෙන් එල්ල වන පීඩනය ගැනත් ඔහුගේ ගීතවලින් නිතරම කියැවිණ.

    ඔහු ගැයූ Get up stand up ගීතයෙන් කියැවෙන්නේද තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිය යුතු බවය.


    අවදිවන්න නැගී සිටින්න


    ඔබේ අයිතීන් වෙනුවෙන්...


    සර්ව බලධාරී දෙවියකු අහසින් පැමිණ


    සියලු දුක් දොම්නස් රැගෙන,


    ඔබට සතුට ලබා දේ යැයි


    බොහෝ දෙනෙකු සිතනවා විය යුතුයි......


    එහෙත් ජීවිතයේ වටිනාකම් හඳුනාගත හොත් ඔබ ජීවිතය සොයන්නේ මේ මහ පොළොව මතිනි.


    එවිට පෙනේවි ඔබට ආලෝකය......


    ඉතින්.....අවදිවන්න. නැඟී සිටින්න....”


    මාලේට . මේ ගීයෙන් නොසිතූ විරූ තරම් රසිකයින් අවදි කරන්නට පුළුවන් විය. කම්කරු පන්තියේ දැවෙන හදවත් ඔහු සුබවාදී බලාපොරොත්තුවකින් දල්වාලීය. වර්ණ භේද වාදය ගැන ඔහු නිතර කතා කළේ තම ජන්මය ගැන ද උදාහරණයට ලක් කරමිනි. ඔහුට වුවමනා වුණේ කළු - සුදු ජාතීන් යැයි මනුෂ්‍ය වර්ගයා දෙකට බෙදෙනු දකින්නට නොවේ.


    “මට මං ගැන කිසිම අගතිගාමී හැඟීමක් නැහැ. මගේ තාත්තා සුදු අම්මා කළු. මං ඔය දෙකටම නැති කෙනෙක් කියල සමහරු කියනවා. ඇත්ත. මට කාගේවත් පැත්ත ගන්න ඕන නෑ. මං ඉන්නේ දෙවියන්ගේ පැත්තේ. මාව කළු සුදු ජාතීන් දෙකටම අයිති කරලා. මේ ලෝකෙට එවපු දෙවියන්ගේ පැත්තේ.


    මාලේ වරෙක කීවේය. එහෙත්, තමන්ට මිශ්‍ර සම්භවයක් තිබෙන බව දැන ගනිමින් වුවත් ඔහු තමන් කළු අප්‍රිකානුවකු ලෙස හඳුන්වා ගත්තේය. එසේ කළේ, ඒ වන විටත් සුදු ජාතීන් අතින් පීඩනයට පත් වෙමින් තිබූ කල්ලන්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීමට ය. ඒ වන විටත් ජැමෙයිකාවේ සිට ජාත්‍යන්තර වර්ණ භේදවාදයට එරෙහි අරගලයක් ගෙන ගිය මාකස් ග්‍රේවි ගේ දේශපාලන දර්ශනයට මාලේගේ සිත බෙහෙවින් ඇදී ගියේය. අප්‍රිකාවේ පමණක් නොව ලෝකයේ විවිධ රටවල වෙසෙන අප්‍රිකානු සම්භවය ඇති නීග්‍රෝ ජාතිකයන්ගේ සංවර්ධනය ගැන සිතමින් අප්‍රිකානු ‘මහාද්වීපය’ නිග්‍රෝ මිනිසුන්ගේ ජන්ම භූමිය ලෙස ඔසවා තැබීමේ දර්ශනයට මාලේ ද එකඟ විය. ‘සයන්’ ලෙස හැදින්වූ අප්‍රිකානු රාජ්‍යයට ලොකයේ නන් රටවල, පීඩාවට පත් වෙමින් සිටින නිග්‍රෝ ජාතිකයන් කැඳවීමේ සිහිනය, මාලේගේ ගීතවලට පසුබිම් විය. ඔහුගේ Zion train ගීතයෙන් කියැවෙන්නේද මේ ගැනය.


    “අවුරුදු දෙදහසක ඉතිහාසය


    පහසුවෙන් අතු ගා දමන්නට නොහැකිය


    අවුරුදු දෙදහසක කළු මිනිසුන්ගේ ඉතිහාසය


    පහසුවෙන් අතු ගා දමන්නට නොහැකිය”


    Zion train ගීතයේ එක් පද වැලකදී මාලේ එසේ කියන්නේය. මේ ගීතය පමණක් නොව, Black Surviour, Bady lon system වැනි ගීතවලින්ද ඔහු ‘බාබිලෝනය’ ලෙස ඔහු හඳුන්වන බටහිර ජාතීන් විසින් කල්ලන්ගේ ශ්‍රමය යන අයිතීන් උදුරා ගන්නා බවත්, එයට එරෙහිව නැගී සිටිය යුතු බවත් යෝජනා කළේය.


    1966 වසරේදී ඔහු රීටා ඇන්ඩර්සන් හා විවාහ විය. මාලේ දිගින් දිගටම ජනතාව වෙනුවෙන් ගී ගැයුවේය. ඔහුගේ මේ රැඩිකල් ගීතවලින් ජනතාව පිබිදෙනු දුටු පාලක පන්තියද තරමක් වියපත් වෙන්නට ඇත. ඔහුට ජීවිත තර්ජන පවා එල්ල වෙන්නට ඔහුගේ මේ ගීත විප්ලවය හේතු විය. මේ කාලය වන විට බොබ් මාලේගේ සංගීත සංදර්ශන දේශපාලන රැලියක් මෙන් විය. දුක් විඳින සහ දුක හඳුනන රසිකයෝ ඔහු වටා එකතු වෙමින් සිටියහ. 1976 වසරේදී නාඳුනන තුවක්කුකරුවෙක් ඔහුගේ නිවෙසට පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඉන් මාලේ බිරිය සහ ඔවුන්ගේ කළමනාකරු ලෙස වැඩ කළ දොන් ටේලර් තුවාල ලැබීය. ඉන් දින දෙකකට පසුව, කලින් නියම කරගෙන තිබුණු පරිදි මාලේ ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයකට සහභාගී වෙමින් ගී ගැයුවේය. එසේ කළේ ඇයි දැයි බොහෝ දෙනෙකු ඇසූ විට මාලේ ගේ පිළිතුර වූයේ


    “මේ ලෝකෙ නරක අතට හරවන්න වැඩ කරන මිනිස්සු එක දවසක්වත්, මොන දේ වුණත් නිවාඩුවක් ගන්නෙ නෑ. ඉතින් ලෝකෙට හොඳක් කරන්න හදන මමත් එහෙම වෙනවා. එහෙම නොවී කොහොමද ?”


    මාලේගේ දේශපාලන දර්ශනය මිනිසුන් භේද භින්න කරවන්නක් නොවීය. ඔහු ගී ගැයුවේ පක්ෂ හා ජාතිභේද නොතකා හැමදෙනා එකතු කිරීමට ය. මාලේ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවට අවතීර්ණ වී ගී ගැයුවේ අද බොහෝ දෙනෙකු කරන්නාක් මෙන් එක් පක්ෂයකට ආවැඩීමට නොවේ. ඔහුට වුවමනා වූයේ පක්ෂ අතර සමගිය ඇති කරවන්නට ය. 1978 වසරේදී ජැමෙයිකාවේදී ඔහු පැවැත්වූ one love peace concert ද එවැන්නකි. ප්‍රසංගය අවසානයේ දී මාලේගේ ඉල්ලීම අනුව, එවකට පාලක පක්ෂය වූ මහජන ජාතික පක්ෂයේ නායකයා වූ මයිකල් මැන්ලේ සහ ජැමෙයිකානු කම්කරු පක්ෂයේ නායක එඩ්වඩ් සියාගා අතට අත දී සුහදතාව පළ කළේය.


    මේ වන විට මාලේ ගේ ගීත කළු ජාතිකයන් අතර පමණක් නොව ලෝකයේ නන් දෙස සිටි සෑම ජාතියකටම අයත් රසිකයන් කුල්මත් කරමින් තිබුණි. ඔහුගේ Buffalo Soldierගීතයට ලැබුණේ ඉතා ඉහළ ජනප්‍රිය බවකි.


    “සංගීතයේ ඇති එක් හොඳ දෙයක් වන්නේ, එය ඔබේ හදවතට කාවදින විට, ඔබේ වේදනාව දුරු වී යන නිසා යැයි බොබ් මාලේ වරෙක කීවේ, ජීවිතයේ අනන්ත දුක් කම්කටොළු ඉදිරියේ තැවෙන සිත සංගීතයෙන් සුවපත් කිරීමේ බලය ගැන ය.


    මාලේ රස්ටෆාරි Rastafari දර්ශනයේ අනුගාමිකයකු විය. රස්ටෆාරි යනු 1930 ගණන්වල ජැමෙයිකාවේ ක්‍රිස්තියානි ලබ්ධිකයන් අතරින් ඉස්මතු වූ නව ආගමික දර්ශනයක් විය. මේ දර්ශනය බටහිර ජාතීන් ප්‍රතික්ෂේප කළේය. අප්‍රිකානු මහාද්වීපය, සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ උපත සිදුවූ ස්ථානය හැටියට සැලකුවේය. මේ දර්ශනය අනුව යමින් මාලේ සිය ජීවිතය හැඩගස්වා ගත් බව පෙනිණ. ඒ අනුව ඔහු මස් මාංශ ආහාරයෙන් වැලකුණේය. ඔහු ආහාරයට ගත්තේ ශාකමය ආහාර පමණි.

    බොබ් මාලේ ගේ සංගීත දිවියේ ආරම්භකයකු වූ ජෝ හිග්ස් ද දැඩි රස්ටෆාරී මතධාරියෙකි. මවගේ බලපෑමෙන් මිදුණු බොබ්මාලේ ද වැඩිකලක් යෑමට පෙර දැඩි රස්ටෆාරී මතධාරියකු බවට පත්විය.

    ජැමෙයිකානු ජනපි‍්‍රය සංගීතය වූ රැගේ සංගීතඥයකු ලෙස බොබ් මාලේ රට පුරා ප්‍රසිද්ධ විය. ඒ නිසාම ඔහු අනුගමනය කරමින් රට පුරා බොහෝ දෙනා රස්ටෆාරී ආගමික විශ්වාසයනට නැඹුරු වූහ.

    බොබ් මාලේ නිසාම ලොව පුරා මේ විශ්වාසයනට නැඹුරු වූ පිරිස මිලියනයකට අධිකය. රස්ටෆාරී විශ්වාසයන් යනු බොහෝදුරට එක්තරා පදනමකට අනුව ජීවත්වීම ය.

    ඒ අනුගාමිකයෝ බොහේ දුරට පරිසරය සමඟ වෙලී ජීවත් වූ අතර කෘත්‍රිම දේ වැද්ද නොගත් හ.


    පෞද්ගලික ජීවිතයේ දී ද බොබ් මාලේ අසම්මත විප්ලවයක් කළ කෙනෙකු විය. ඔහු සිය බිරිය රීටා සමඟ එක් වී දරුවන් එකොළොස් දෙනෙකුට රැකවරණය දුන්නේය. එහෙත් ඉන් ඔහුටත් රීටාටත් දාව බිහිවූ දරුවන් වූයේ තිදෙනෙකු පමණි. තවත් දරුවන් හය දෙනෙකු ඔහු වෙනත් කාන්තාවන් ඇසුරු කිරීමෙන් බිහිවූ දරුවන් විය. වඩාත්ම වැදගත් වන්නේ එය නොවේ. ඔහු සිය බිරිය රීටා වෙනත් පුද්ගලයන් සමග පැවැත්වූ සබඳකම්වලින් බිහිවූ දරුවන් දෙදෙනෙකුටද සිය සෙනෙහස ලබා දීම ය. ඔවුන්ගේ විවාහය සොඳුරු අධ්‍යාත්මික ඵලයක් වීමට මාලේ තුළ පැවැති මේ ගැඹුරු ජීවන දර්ශනය බෙහෙවින් බලපෑවේය.


    “ඔබ ඇයගේ පළමු හෝ අවසන් පෙම්වතා නොවිය හැකි ය. එකම පෙම්වතා ද නොවිය හැකි ය. ඇය කලින් ආදරය කරන්නට ඇත. පසුවටත් ආදරය කරන්නට ඉඩ ඇත. ඒත් දැන් ඇය ඔබට ආදරය කරන්නේ නම්, තවත් කතා කුමටද ? ඇය පරිපූර්ණ ගැහැනියක නොවේ. ඔබ ද පරිපූර්ණ නැත. ඔබ දෙදෙනාට පරිපූර්ණ වීමට කිසිදා නොහැකිය. එහෙත් ඔබට සිනාවක් ගෙන ඒමට ඇයට හැකි නම් ඔබට දෙවරක් සිතන්නට ඇය ඉඩ සලසයි නම් මිනිසෙකු ලෙස වැරදි සිදුවීමට ඉඩ ඇති බව පිළිගනියි නම් ඔබේ තුරුලට ඇය ගෙන ඇයට හැකි තරම් ආදරය ලබා දෙන්න. ඇයට රිදවන්න එපා. ඇය වෙනස් කරන්නට තැත් කරන්නත් එපා. ඇය විශ්ලේෂණය කරන්නට යන්න එපා. ඇයට දෙන්නට බැරි තරම් දේ ඇයගෙන් බලාපොරොත්තු වන්නටත් එපා. ඇය ඔබට සතුට ගෙන එද්දී සිනාවෙන්න....”


    බොබ් මාලේ ආදරය සම්බන්ධව ද සිතුවේ ඒ විදියට ය. එහෙත් මේ සොඳුරු මිනිසාට දීර්ඝායුෂ ලබා දෙන්නට තරම් දෛවය කරුණාවන්ත නොවීය. 1980 වසරේදී යුරෝපා සංචාරයක් අතරතුරදී ඔහු ගිලන් විය. අමෙරිකාවේදී පවත්වන ලද සංගීත සංදර්ශන දෙකකට පසු දැඩි ලෙස රෝගාතුර වූ බොබ්මාලේ රෝහල් ගත කරන ලදී. ඒ වන විටත් පිළිකාවක් ඔහුගේ සිරුරේ ඔඩු දුවමින් තිබිණි.


    ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හේතුව බොහෝ දෙනා නොදනිති. වැඩිදෙනෙක් සිතුවේ බටහිර ඇතැම් ගායකයන් මෙන් ඔහු ද මතට ඇබ්බැහි වූ බවකි. එහෙත් ඒ ඇබ්බැහිකම ආගමික විශ්වාසය නිසා ඇතිවූවක් බව දන්නේ ඔහු ළඟින් ම ආශ්‍රය කළ කීපදෙනෙකු පමණි. මේ සියල්ල හෙළි වූයේ ඔහුගේ අකල් මරණයත් සමඟ ය.


    bob-marley-1.jpg


    වයස අවුරුදු 14 දී පාසලෙන් සමුගත් බොබ් මාලේ සංගීත දිවිය ආරම්භ කළේ නෙවිල් ලිව්ංස්ටන් නමැති මිතුරා හමුවීමත් සමඟය. ඉන් පසු වයස අවුරුදු 14 දී එරට ජැමෙයිකාවේ ප්‍රසිද්ධ ගායකයකු වූ ජෝ හිග්ස් ගේ ඇසුරට වැටුණු බොබ් මාලේ සිය සංගීත දිවියේ මුල් අඩිතාලම දැම්මේය.


    ඔහු සිය ප්‍රථම ගීත දෙක පටිගත කළේ වයස අවුරුදු 17 දීය. 1963 දී ඔහු තවත් මිතුරන් පිරිසක් සමඟ සිය ප්‍රථම සංගීත කණ්ඩායම බිහිකළේ ය. වරින් වර නම් වෙනස් කරමින් ඉදිරියට ගෙන ආ ඒ සංගීත කණ්ඩායම අවසානයේ ‘ද වෙයිලර්ස්’ නමින් ලොව පුරා සුපතළ විය. ඒ වනවිට එහි ඉතිරිව සිටියේ බොබ් මාලේ සමඟ තවත් ගායකයන් දෙදෙනෙකු පමණි.

    1973 දී වෙයිලර්ස් ගේ පළමු ගී තැටි දෙක ජාත්‍යන්තතරව ලොව පුරා සංගීත ලෝලීන් අතර උන්මාදයක් බවට පත්වූයේ මේ අවදියේදී ය.


    ඉතා දිළිඳු ජනයා ඇසුරු කරමින් ඉතා කුඩා නිවාසවල කල් ගතකරමින් සිටි බොබ් මාලේ අත මුදල් ගැවසෙන්නට පටන් ගත්තේ ද මේ කාලයේ දී ය.


    ලොව පුරා ප්‍රසිද්ධ වූ වෙයිලර්ස් කණ්ඩායමට ලෝකයේ නන් දෙසින් සංගීත සංදර්ශන සඳහා ආරාධනා ලැබෙන්නට විය. කණ්ඩායම ලොව වටා යද්දී රීටා මාලේ ගෙදරට වී දයාබර මවක මෙන් බොබ්මාලේ ගේ දරුවන් බලා කියා ගත්තා ය.ඇය සැබවින්ම ආදරබර බිරියක් වූවාය.
    කෙතරම් ප්‍රශ්න ආවත් රීටා කිසි දිනක බොබ් මාලේ අතැර නොගියාය. ඔවුන්ට මුදල් නොතිබූ යුගයේ විදුලි බලය හා ජල පහසුකම් නොතිබූ නිවෙසේ සිටිමින් ඇය ඔහුගේ එකම ඇඳුම දිනපතා සෝදා පිරිසුදු කළාය.ඔහුගේ ගී තැටි පාපැදියේ පිටුපස තබා බැඳගෙන විකිණීමට ගෙන ගියාය. වෙන මොනවා නැතිවුණත් ඇය සංගීතයෙන් සතුටුවූවාය. බොබ් ගේ ගායනය, වාදනය හා සංගීත නිර්මාණ හඳුනා ගෙන ඔහු ගේ දියුණුවට ම අත දුන්නාය.

    බොබ් මාලේ ඇතුළු සංගීත කණ්ඩායමේ ජනපි‍්‍රයත්වය ඉහළ යද්දී බොබ් මාලේ ලොව පුරා හැඳින්වූයේ රැගේ සංගීතයේ සංකේතය ලෙසිනි. එහෙත් වැඩිකල් නොයාම ඔවුන්ගේ සංගීත කණ්ඩායම විසුරුවා හැරියෙන් තිදෙනාම වෙන්ව ගී ගැයීම ආරම්භ කළහ.


    සංගීත කණ්ඩායමෙන් වෙන් වූ බොබ් 1975 දී ගායනා කළ ‘නෝ වුමන් නෝ ක්‍රයි’ ගීතය සති හතරෙන් ලෝක ප්‍රසිද්ධියට පත්විය. මේ අතරේදී 1976 දී ජැමෙයිකාවේ පැවැත් වූ මහා සංගීත සංදර්ශනයකට සැරසෙමින් සිටිය දී බොබ් මාලේ , බිරිය රීටා සහ කළමණාකරු නිවෙස තුළදීම වෙඩි ප්‍රහාරයකට ලක්වූහ. ඉන් ඔවුහු තුවාල ලැබුව ද දිවිගලවා ගැනීමට සමත්වූහ. බොබ් ඉන් දෙදිනකට පසු සංගීත සංදර්ශනය පැවැත්වීය.


    ඉන්පසු රටින් පිට වූ බොබ් මාලේ තවත් රටවල් කීපයක සංචාරය කර වසර දෙකක් පමණ තමාම රටින් පිටුවහල්ව එංගලන්තයේ වාසය කළේ ය. මේ අවදියේ දී ඔහු තව තවත් ගී ඇල්බම නිකුත් කිරීමට සමත් විය.


    1977 වසර බොබ්ට එතරම් සුබදායක වසරක් නොවීය. ඔහු එවක සිටියේ යුරෝපා සංචාරයකට සූදානම් වෙමිනි. සංගීතඥයකු මෙන්ම පාපන්දු ක්‍රීඩාවට ද ආශාවක් දැක් වූ බොබ් මිතුරන් සමඟ පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටියදී ඔහුගේ මාපටැගිල්ල තුවාල විය.


    මේ තුවාලය එතරම් ගණන් නොගැනීම නිසා ඔඩු දිවීමට වැඩි කාලයක් ගත නොවීය. ප්‍රතිකාර ලෙස ශල්‍යකර්මයක් කළ යුතු වුවත් ආගමික ඇදහිලි නිසා බොබ් ඊට අකැමැති වූයේ ය. එහෙත් පසුව කළ ශල්‍යකර්මයෙන් තුවාලය තරමක් ගුණදායක තත්ත්වයට පත්විය.


    මේ අවදිය වෙද්දී ඔහු තදින් මරිජුවානා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටියේය. එයට හේතුව වූයේ ද ඔහුගේ ආගමික ඇදහීම් ය. ඔවුන් ඇදහූයේ මරිජුවානා ඉරීම ශුද්ධ වූ ආගමික චාරිත්‍රයක් ලෙස ය. බොබ් මාලේ නිසා එකල මරිජුවානා ඉරීමට ඇබ්බැහි වූ පිරිස ද අතිමහත් ය.


    මාපටැඟිල්ලේ තුවාලයෙන් ඇති වූ සෞඛ්‍ය පිරිහීම නිසා බොබ් මාලේ ඉන්පසු නිතරම සිටියේ අසනීප ගතියෙනි. ඔහුගේ වෛද්‍ය වාර්තා කවදාවත් ප්‍රසිද්ධ නොවූ අතර වරක් ඔහු නිව්යෝර්ක් හිදී සංදර්ශන වේදිකාව මතදීම ඇදගෙන වැටිණි. තවත් දිනෙක උදෑසන ව්‍යායාම් කරද්දී ඇද වැටිණි. මේ සියලු අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් මධ්‍යයේ ඔහු 1980 දී බොබ් සිය ලෝක සංචාරය ආරම්භ කළේ ය.


    අමෙරිකාවේදී ඉතා සාර්ථක සංගීත සංදර්ශනයක් නිමාකර ජර්මනිය කරා පැමිණි විට බොබ් මාලේ ට සිය සෞඛ්‍ය තත්ත්වය ඉතා දැඩි ලෙස පිරිහී ඇති බවක් වැටහිණි. ඒ අනුව හමු වූ වෛද්‍යවරයා පැවැසුවේ බොබ් මාලේ ගේ ආයු කාලය තව සති 3 ක් පමණක් බවය.


    මාපටඟිල්ලෙන් හටගත් තුවාලය මේ වන විට පිළිකාවක් බවට පත්වී ශරීරය පුරාම ඔඩුදුවා තිබිණි. ඒ සමඟම සිය සංචාරය අතරමඟ නවතා දැමූ බොබ් පිළිකාව සඳහා ප්‍රතිකාර පටන් ගත්තේ ද සිය ආගමික ඇඳහිලිවලට අනුගත වෙමිනි. එහෙත් ඒ වනවිටත් ඔහු පමා වූවා වැඩිය. මේනිසා ඔහු කළේ වහාම සිය මවුරට බලා පිටත්වීමය.


    ඒ 1981 මැයි මස 11 වැනිදාය. ජර්මනියේ සිට ජැමෙයිකාව බලා යන අතරමඟදී මියෑම් හිදී ඔහු බරපතළ ලෙස අසනීප විය. මියාම්හි දී රෝහල්ගත කළ බොබ් ජීවිතයෙන් සමුගත්තේ සිය මව, බිරිය සහ වැඩිමල් පුත් සිගී ද ළඟ සිටියදීයි.


    ඔහු අවසන්වරට කතා කළේ පුතුට ය.” ජීවිතය සල්ලිවලට ගන්න බෑ” ඒ ඔහුගේ අවසන් වචන විය. බොබ් මාලේගේ අවසන් කටයුතු ජැමෙයිකාවේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරුණු අතර එයට ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූහ.


    තෙවැනි ලෝකයේ රටවල පළමු පොප් ගායකයා වූ බොබ් මාලේ ජැමෙයිකානු රැගේ සංගීතය ලෝකයට ගෙන ගියේය. ඔහුගේ ගී හඬින් මෙන් ම පද රචනා ද ලොව පුරා සංගීත ලෝලීන් මුසපත් කළ අතර බොහෝ දෙනා ඔහු සම කළේ බීට්ල්ස් ගායක ජෝන් ලෙනත් ට පමණි.


    2001 දී ග්‍රාමි සම්මාන උලෙළේ දී බොබ් මාලේ ජීවිත කාලය පුරාම එක්වරක් පිදෙන සම්මානයෙන් උපහාර ලැබීය. මොහු මියගොස් වසර තුනකට පසු නිකුත් වූ ඔහුගේ ‘ලෙජන්ඩ්’ නම් වූ ගී තැටිය ලොව පුරා පිටපත් මිලියන 20 කට වැඩියෙන් අලෙවි විය.


    ලොව පුරා ස්වදේශී ගෝත්‍ර ජනතාව අතර බොබ් මාලේ ගේ ගී සහ ඉන් ඔහු ගෙන ගිය පණිවුඩය තවමත් රැව්පිළිරැව් දෙයි.


    “බොබ් මාලේ කියන්නේ විශේෂ පුද්ගලයෙක්. ඔහු සිය ජීවිත කාලයේ දී කළ දේ කවදාවත් මැකී යන්නේ නෑ. ඔහුට මුළු ලෝකයක් සසල කිරීමේ හැකියාවක් තිබුණා.


    බොබ් ගේ බිරිය රීටා ඔහු ගැන පවසන්නේ එලෙසිනි .


    1981 මැයි මාසයේ 11 වැනිදා අමෙරිකාවේ මයාම් හි රෝහලක දී ඔහු අවසන් හුස්ම හෙලුවේය.


    දුක් විඳින මිනිසුන් ගේ සිත් නළවමින් ගී ගැයූ අසහාය සුපිරි තාරකාව අහසින් බැස ගියේය. එහෙත් අදටත් ඔහුගේ ගීත, රසික සිත් තුළ ජීවමානව නින්නාද වන්නේය.


    “ජීවිතය කියන්නේ සංඥා හුඟක් තියෙන ලොකු පාරක්. ඒ පාර දිගේ යනවිට, ඔබේ සිත ව්‍යාකූ®ල කරගන්න එපා. වෛරය, ඉරිසියාව, වැනි සිතුවිලිවලින් ඔබේ සිත නිදහස් කරගන්න. ඔබේ සිතුවිලි වළ දමන්න එපා. ඔබේ ජීවිත දර්ශනය යථාර්ථයක් කරගන්න අවදිවී ජීවත්වන්න.....


    06-bob_marley_quotes.jpg