පෙර දිනයක රථාචාරී සමග ගමනේ සිටිද්දී මේ වස්සාන සමයේ සඟුන් වහන්සේලා මුදල් බලාපොරොත්තුවෙන පිඬුසිඟා වැඩීම අරඹයා හේ මතුකල කරුණු හේතුවෙන් මේ සටහන තැබීමට සිත්විනි. රථාචාරීට අනුව මේ පිඬුසිඟීම තුල ජාත්‍යන්තරව අප සිනහවට ලක් වේ. මගේ අදහස කුමක්දැයි හෙතම විමසීය. ඇත්තෙන්ම ලංකාව බුදුදහම නිසා ජාත්‍යන්තරව ප්‍රසිද්ධද යන්න විමසිය යුතු බව මා ඔහුට කීවෙමි. කේ. ධම්මානන්ද, පියදස්සී, ආනන්ද මෛත්‍රිය, වල්පොල රාහුල, නාරද, හික්කඩුවේ සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, ගංගොඩවිල සෝම වැනි භික්ෂූන් වහන්සේලා නිසා ලංකාව බෞද්ධ මතයන් තුලින් ලොව පරිසිඳු. නමුත් වර්තමානයේ එවැනි යමෙක් සිටීදැයි ඔහුගෙන් ඇසූ විට ඒ අයගෙනුත් සමහරෙක් නොහඳුනන බවට පිළිවදන් දිනි.
වරෙක බුදුරජාණන්වහන්සේගෙන් අනඳ හිමි සැම තැන එක ලෙස පැතිරෙන සුවඳක් වේදැයි පුළුවස්නා කල්හි, සිල් සුවඳ දසත පැතිරෙන සුවඳ බව වදාළ සේකැ. සීලය ගිහියන්ට පංචවත් පැවිද්දන්ට කෝටියක් සංවර සීලයත් ආදී ලෙසින් දේශිතව ඇත. දැන දැන බුද්ධභාෂිතයට පටහැනි වන්නන්ගේ සීලය කෙබඳුදැයි මා ඇසීමි. රථාචාරීගේ පිළිතුර වූයේ උන්ට ඇති සිලක් නොදක්නා බවයි. යහපත් කල්ක්‍රියාව, යහපත් වචනය සහ යහපත් සිතුවිලි සීලය සම්ප්රයුත් කෙරෙත්. ගිහියන් විසිය යුතු අන්දමත් පැවිද්දන් විසිය යුතු වතත් බුදුරජාණන්වහන්සේ වදාරා ඇත. ඒ වත නොගන්නවුන් දරණ සීලයක් නම් නැත් මා වැඩිදුර දැක්වීමි. මහත, බුද්ධභාෂිතයක මෙතැනදි දැක්විය හැකිද රථාචාරී විමසයි. හැකිය, හොඳින් අසව. ත්‍රිපිටකයේ සූත්‍ර පිඨකයේ, ඛුද්දක නිකායේ, සුත්ත නිපාතයේ චූල වර්ගයේ ධම්මික සුතුරැයි පරිසිඳු එක් සුතුරෙක් වෙයි. එහිදී ධම්මික උපාසකයනට මෙසේ පැවිදිවත වදාරා ඇත්තේය. කෙසේද යත්,
"මහණෙනි, ක්ලේශධුනනය කරන්නා වූ මාගේ ප්රතිපත්තිධර්මය තොපට අස්වමි. හැමදෙන එය ධරව. හිතානුදර්ශී ප්‍රාඥ තෙමේ පැවිද්දනට අනුලොම් වූ ඒ චතුර්විධ ඊර්‍ය්‍යාපථය සෙවුනේ ය.
මහණ නොකල්හි ගම් නොවදනේ ය. සුදුසුකල්හි ම පිඬු සිඟායන්නේ ය. රාගාදි නොයෙක් සඞ්ගයෝ අකාලාචාරී මහණ වැළැඳගන්නාහ. එහෙයින් චතුස්සත්යබුද්ධ වූ ආර්‍ය්‍යපුද්ගලයෝ නොකල්හි ගම් නො වදනාහ.
රූප හා ශබ්ද හා රස හා ගන්ධ හා ස්පර්ශ යන යම් බාහිරායතන කෙනෙක් සත්ත්වයන් මදයට පමුණුවත් නම්, තෙල ධර්මයන්හි ඡන්දරාගය දුරු කොට හේ ප්රාතරාසස්ථානයට සුදුසු කල්හි වදනේය.
මහණ පෙරවරුයෙහි පිඬු ලබා හුදෙකලා වූයේ පෙර ලා අවුත් ස්කන්ධසන්තානය (ත්රිලක්ෂණයට නංවා) සිතනසුලුයේ රහොගත ව හිඳිනේ ය. (රූපාදි) බැහැරි අරමුණෙහි සිත් නොයොදනේ ය. භාවනාරම්මණය කෙරෙහි මොනොවට ගිය සිත් ඇතිවන්නේ ය.
ඉදින් ඒ යෝගාවචර අන්තොටු සව්වකු හා වේවයි මෙ සස්නෙහි කිසියම් මහණකු හා සමග වේවයි සංලාප කෙරේ නම්, ඒ ප්‍රණීත වූ ධර්මය ම කියන්නේ ය. පෙහෙසුන් නො කියන්නේ ය. පරෝපවාද නො කියන්නේ ය.
ඇතැම් කෙනෙක් පරෝපවාද සඞ්ඛ්‍යාත විග්‍රාහික කථාවාදය විරුද්ධ කොට ගණිත්. අල්පප්රාඥ ඔවුන් නො පසසම්හ (කවර හෙයින් යත් එ එ වාදමාර්ගහේතුයෙන් වාදසඞ්ඝයෝ එ වාදීන් වැළැඳගනිත් ද එහෙයිනි, (කමටහනින්) චිත්තය දුරෙහි වේ ද එපරිදි ඔහුසිත පරෝපවාදයෙහි ලා මෙහෙයත්.
උත්තමප්‍රඥා ඇති ශ්‍රාවක නොහොත් වරප්රාඥවූ බුදුන්ගේ ශ්‍රාවක තෙම සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය අසා පිණ්ඩාපාත යැ, වෙහෙර යැ, හැඳපුටු යැ සඟලසිවුරෙහි රජස් දුරු කරණ ජලය යැ යන මේ දෑ ප්රත්යවේක්ෂා කොට සෙවුනේ ය.
එහෙයින් මැ පිඬුවායෙහි ද සෙනසුන්හි ද සඟළ සිවුරෙහි රජස් දෝනා දියෙහි ද යන තෙල චතුස්ප්රත්යයධර්මයන්හි පොකුරු පත්හි දියබිඳු සෙයින් මහණ නො ඇලුනේ වේ."
ලෙසිනි. ඉතින් මහත බහුතරයක් භික්ෂූන් වහන්සේලා දරන පිලිවෙත ඔයිට පටහැනි නොවේද හේ පුළුවසැයි. රථාචාරී, එය නුඹ විසින් නුවණින් විමසිය යුත්තකි. තවත් එකෙක් නුඹට කයමියි මා කියන්නෙමි. වරෙක් උතුර සාමනේරයෝ නිකරුණේ සොරකු ලෙසින් වදයට නියම කොට උල තබන්නට යන කල්හි බුදුරජාණන්වහන්සේ එය දිවැසින් දැක එහි වැඩම කොට සමනෙරන්දෑට දම් දෙසීය. හේ ඒ අසා උල මතදීම මග පසක් කල සේක් උලින්ද මිදුනු සේකැ. එහිදී සියල්ල දත් බුදුරජාණන්වහන්සේ රජුගෙන් සමනෙරුන් නිකරුණේ වද නොකරන්නැයි නොඉල්ලුවේ ය. රථාචාරී සැහැල්ලුවෙන් සිතනු, බුදුරජාණන්වහන්සේ එසේ රජුගෙන් ඉල්ලුවානම් රජු ඒ ඉල්ලීමට කන් නොදෙතැයි නුඹ සිතනවාද? මා අසමි. නැත, මහත. රජු අනිවාර්යයෙන්ම එය අසනු ඇත, හේ පිළිවැදී. රාජනීතිය බුදුරජාණන්වහන්සේ කිසිවිට විචාලේ නැත. දෙසුවේ දැහැමින් රට රකින ලෙසිනි. දම් මග නොදන්නා වූ එහි නොපිළිපන් පෘථග්ජනයෝ හිස මුඩු කොට කරන ක්‍රියා මිස වෙනත් යමක් නම් මා නොදකිමියැයි මා කීවෙමි. එසේමැයි මහත මට වැටහේ රථාචාරී කියයි. මහතැ ඔබ පැවිදි වත බුදුරජාණන්වහන්සේ දෙසූ හැටි කීවත් ගිහි වත නොකී ය, එය බුදුරජාණන්වහන්සේ වදාරා ඇත්තේ කෙසේදැයි දැන ගනු කැමැත්තෙමි හේ පුළුවසැයි. මිතුර, එයත් පෙර කී ධම්මික සුතුරේ ම වදාරා ඇත. ඒ පහත ලෙසිනි.
"යථාකාරී ගෘහස්ථශ්රාවක සත්පුරුෂ වේ නම්, එ ගිහිවත තොපට කියමි. තෙල පිරිපුන් මහණදම් (කෙත්වත් ඈ) පරිග්‍රහයෙන් යුත් ගිහියා විසින් ලබන්නට නොහැකි වෙයි.
ලොව්හි ස්ථාවර වූ යම් සත්ත්ව කෙනෙක් වෙත් නම්, යම් බඳු ජඞ්ගම සත්ත්ව කෙනෙක් වෙත් නම්, ඒ හැම සත්ත්වයන් කෙරෙහි දඬු බහාතබා පරපණ නො නසන්නේ ය, නො ද නස්වන්නේ ය, පරපණ නසන මෙරෙමාහට ද නො අනුදන්නේ ය.
ඉක්බිති ‘මේ පරාසතු දැයෙකැ’යි දන්නා ගිහි සවු (ගම්හි වේවයි වලැ වේවයි) කිසිදු තැනෙක්හි වූ ස්වල්ප හෝ බොහෝ වූ හෝ නුදුන් කිසිවක් නොගෙණ හරණේ ය. නො ද හැර ගන්වන්නේ ය. පැහැරගණුවනට නො ද අනුදන්නේ ය. එබඳු හැම අයිනාදන් හැරලන්නේ ය.
විඥශ්‍රාවක දිලියෙන අඟුරුවළක්සෙයින් අබ්‍රහ්මචර්‍ය්‍යාව දුරු කරන්නේ ය. (උඩත් පිරිසෙයින්) බ්‍රම්සර රැකිය නොහෙනුයේ පරදාරයන් කරා නො යන්නේය.
සභාවකට ගියේ වේවයි පිරිස්මැදට ගියේ හෝ වේවයි එකලා වූයේ ම එකකහට මුසවා නො කියන්නේ ය. නො ද බණවන්නේ ය. බණනවුනට ද නො ද අනුදන්නේ ය. හැම අභූතය දුරලන්නේ ය.
ගෘහස්ථ තෙම මත්පැන් ද නො සෙවුනේ ය. යම් ගෘස්ථයෙක් මේ මද්‍යපානවිරති ධර්මය රුස්නේ නම් මෙය උන්මාදනය ඇති කරවන්නෙකැයි දැන (අනුන් ලවා) නො ද පානය කරවන්නේ ය. බොනවුන්හට නො ද අනුදන්නේ ය.
මද හේතුයෙන් අඥයෝ පව් කෙරෙත්. අන් දනන් ද ප්‍රමත්ත කෙරෙත්. පරලොව්හි උමතු බව ඇති කරණ මෙලොව්හි මුළාව දනවන බාලයනට කාන්ත වූ තෙල අපුණ්‍යායතනය හැරලන්නේ ය.
ප්‍රාණඝාත නොකරන්නේ ය, අයිනාදන් නොගන්නේ ය, මුසවා නො බණන්නේ ය, මද්‍යප ද නො වන්නේ ය, මෙථූනසඞ්ඛ්‍යාත අබ්රම්සරින් වෙන් වන්නේ ය, විකාලභොජන සඞ්ඛ්‍යාත රාත්‍රිභෝජන නො වළඳනේ ය.
මල්දම් නො දරන්නේ ය. සුවඳවිලෙවුන් ගැල්වීම් නො ද කරන්නේ ය, කැපසරුප් පරිදි අතුළ කැප හැඳෙහි හෝ බිම්හි හෝ හෝනේ ය, වර්ත්තදුඃඛයාගේ අන්තයට ගිය බුදුරදුන් විසින් ප්‍රකාශිත වූ තෙල අෂ්ටාඞ්ගික වූ උපොසථ යයි කියත්.
ඉක්බිති පහන් සිතැතියේ පක්ෂය පිළිබඳ චාතුද්දසී උපොසථය ද පණ්ණරසී උපොසථය ද අටඨමි උපොසථය ද පාටිහාරිය පක්ඛ උපොසථය ද සුපිරිපුන් කොට අටඟින් යුත් පෙහෙවස් වසවු.
ඉක්බිති විඥ ගිහිසවු විසූ පෙහෙවස් ඇතියේ පසුදින පූර්වභාගයෙහි පහන් සිතැත්තේ නරතුරු මොදමාන වූයේ සුදුසුපරිද්දෙන් අහර පැනින් බික්සඟුන් වළඳවන්නේ ය.
ධර්මයෙන් ලත් භෝගයෙන් මාපියන් පුස්නේය. හෙ දැහැමි වණික්කර්ම කරන්නේ ය. අප්‍රමත්ත වූ ගිහිගේ වැසි තෙම තෙල වත පවත්නේ ස්වයම්ප්‍රභ නම් වූ (කාමවචර සදෙව්ලෝ වැසි) දෙවියන් කරා (උපත් විසින්) එළඹෙන්නේ යයි."
අනේ මහත, මේ අද දින ඇසුවා මිස මින් පෙර ඇසූවක් නොවේ, මා එය සිත්හි දරාගමියි රථාචාරී කියයි. එසේය එය නුඹට වැඩ පිණිස පවතිනු ඇතැයි පවසමින් ඒ සල්ලාපය නිම් කලෙම්.