මට හිතෙන හැටි.....

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara


අපි හැමෝම කැමතියි සතුටින් ඉන්න. ඒ වගේම අපි බලාපො‍රොත්තු වෙන්නෙත් සතුටින් ජීවත් වෙන්න. අපි කරන රස්සාවල්, ව්‍යාපාර මේ හැමදේකම අවසන් අරමුණ අපේ සතුට. අපි කසාද බඳින්නේ, ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නේ වෙන අමුතු දෙයකට නෙමේ. සතුට ඇති කරගන්න. මේ සතුට ඇති වෙන්නේ ඇ‍ඟේ නෙමෙයි. සතුට ඇති වෙන්නේ හිතේ. හදවතේ නෙමෙයි හිතේ. අපි ඇඟ පිනෙව්වට ඒකේ වින්දනය ලබන්නේ හිත. ටිකක් හිතලා බලන්න මේ කියන දේ ඇත්ත නෙමෙයිද කියලා....


ඉතින් මේ මොක වුනත් අපි බලාපොරොත්තු වෙන්නේ සතුට. සමහරු තමුන්ට සල්ලි ටිකක් ඒ කියන්නේ තමුන් බලාපොරොත්තු වෙන ප්‍රමාණයට සල්ලි ටිකක් ලැබුනාම කියනවා මට හරිම සතුටුයි දැන් කියලා. තව කෙනෙක් ඉන්නවා ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. අපි හිතමු එයාට බලාපොරොත්තු වුන ප්‍රමාණයට වඩා අඩුවෙන් ලැබුනා කියලා. තියරිය වෙන්න ඕනා බලාපොරොත්තු වුන දේ නොලැබුන විටදී දුක් වීම නේ. නමුත් ලද දෙයින් සතුටු වෙන කෙනෙක් තමුන්ට යමක් නොලැබුනා කියලා දුක්‍ වෙන්නේ නෑ. එයා සතුටින්.


සමහරු තමුන්ට අසනීපයක් නැත්නම් කියනවා මට හරි සතුටුයි. මිනිස්සුන්ට ලෙඩ හැදිලා දුක් වෙනවා. ඒත් මට නෑනේ. සල්ලිත් ඉතුරුයි කියලා. ඒ වගේම තමයි අසනීප හැදිලා නැත්නම් අපි උදාහරණයක් විදියට ගනිමු පිළිකා රෝගියෙක්. ඒ කෙනාට දොස්තර කිව්වා කියලා හිතමුකො ඔයා තව දවස් 2 යි ජීවත් වෙන්නේ, අපිට කරන්න පුළුවන් හැ‍මදේම කලා කියලා. සාමාන්‍ය තියරිය වෙන්න ඕනා ඒ කෙනා දුක් වෙන එකනේ. මොකද මරණයට අපි හැමෝම අකමැතියි, බයයි, දුකයි. නමුත් කෙනෙක් ඉන්නවා එයා මරණානුස්මෘතිය වඩන එහෙම නැත්නම් සතිපට්ඨානය පුහුණු කරන බෞද්ධ ප්‍රතිපදාවට අනුව ජීවත් වෙන, ඒ මොකුත් නැත්නම් තමුන් මොන ආගමක් විශ්වාස කලත් ඒ ආගමේ පිළිවෙත් අනුව ජීවත් වෙන කෙනෙක්. මෙයාට දුකක් දැනෙයිද ? කවදාවත් නෑ. එයත් එතකොට සතුටින්.
මේ විදියට බැලුවම දෙයක් තියෙන කෙනත් දෙයක් නැති කෙනත් සතුටින් ඉන්න බව අපිට පෙනෙනවා. මේ දෙන්නම විඳින්නෙ එකම සතුට. කථන්දරේ තියෙන්නේ ඒක නෙමෙයි. මේ සතුට විඳින්න පුළුවන් කාල සීමාවෙයි. ඉස්සෙල්ලා අපි කථා කරපු දෙන්නනගෙන් දැන් සල්ලි හම්බවුන කෙනාගේ සතුට දිගු කාලීන නෑ. ඒ වගේම තමයි අසනීපයක් නෑ කියලා සතුටු වුන කෙනාගේ සතුටත් දිගු කාලීන නෑ. ඒ ඔක්කොම ක්ෂණයක සතුටක් විතරයි. නමුත් අනිත් දෙන්නගේ ඒ කියන්නේ අඩුවෙන් ලැබුනත් ලද දෙයින් සතුටු වන කෙනාගේ සතුටයි, හෙට මැරෙන්න නියම වුනත් මරණය ගැන දන්න කෙ‍නා විඳින සතුටයි දිගු කාලීනයි. ජීවිතය පවත්නා තෙක්ම ඒ සතුට ඒ විදියටම පවතිනවා, කිසිම හෙලවීමක් නැතිව.


හැබැයි මේ තත්වෙට පත්වෙන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. හිතන්න ඕනා. ඒ විතරක් නෙමෙයි හිතලා වැඩ කරන්න ඕනා. කිසියම් ප්‍රතිපත්ති අධිෂ්ඨානයෙන් යුතුව ආරක්ෂා කරන්නත් ඕනා. මේ වගේ තව හුඟක් ගුණාත්මක කම් අපි තුල වර්ධනය කරගන්න ඕනා. ඒ මොනවාද කියන එක බුද්ධ ධර්මය අනුව යමින් ජීවිතය ගොඩනගා ගත්ත මිනිස්සු දන්නවා.


ඉතින් මන් හිතනවා ඔයාලත් කෙටි කාලීන සතුටට වඩා දිගු කාලීන සතුටට ඒ කියන්නේ ජීවිතය පවත්නා කල් පවත්නා සතුටට කැමති ඇති කියලා. ඒ සතුටට කැමති නම් බුද්ධ ධර්මයට අනුව ජීවිතය හදා ගන්න.

මන් ප්‍රාර්ථනා කරනවා ඔයාලට දිගු කාලීන සතුට විඳින්න හැකියාව ලැබෙන්න කියලා.....
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
හොඳ හා නරක

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
[/FONT]

1c33e0e2a72ad192b5f7e9b41ce2d4de.jpg
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ධර්මය වනාහි ඇසීමට හා කියවීමටත් මතක තබා ගැනීමටත් පමණක් ඇති දෙයක් නොවේ. එය අසා, කියවා, සිත්හි දරා ගෙන පුහුණුවට ගත යුතු ය. බුදුරජාණන්වහන්සේ විසින් දේශිත සද්ධර්මය ඒකදේශික හෝ ඒකජාතික නොවේ. එය විශ්වීය දහමකි. වර්තමානයේ දී යම් යම් ගුරුවරුන් විසින් බුදුරජාණන්වහන්සේ දෙසූ ධර්මය යැයි කියන්නේ මේ යැයි කරන දේශනාවන් හා ඒ ඒ ගුරුවරුන් පසු පස භක්තියෙන් බැඳී ගමන් කරන උවැසි උවැසියන් නිසා අමුතුම ආකාරයේ විප්‍රයෝගයන් දක්නට ද ලැබේ. නමුත් මෙහිදී මා උත්සාහ කරන්නේ ඒ ගැන සාකච්ඡා කිරීමට නොවේ. හොඳ හා නරක සම්බන්ධයෙන් බුදු දහම යෙදෙන ආකාරය සාකච්ඡා කිරීමට ය. එය සමහරක්විට ඔබට ප්‍රයෝජනවත් වනු ඇතැයි මට සිතේ. [/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ලංකාවේ දැනට හඳුනාගතහැකි ආකාරයට ආගම් කීපයක් ම පවතී. බුදු දහමත් සැලකෙන්නේ ඒ අනුව ආගමක් ලෙසිනි. ලෝකය පුරා මේ ආකාරයට එකකින් අනෙක වෙන්කර දැක්වෙන ආගම් 250 කටත් වඩා ව්‍යාප්තව ඇත. මේ හැම ආගමක්ම හොඳ සහ නරක අතරේ භේදයක් පෙන්වයි. නමුත් විමසිල්ලෙන් හැදෑරීමක් කරන කෙනෙකුට යම් ස්ථානයකදී හෝ පරිසරයක දී හොඳයි කියා පිළිගන්නා දෙයක් තවත් ස්ථානයකදී හෝ පරිසරයක දී නරක ලෙසින් පිළිගන්නා ආකාරය දැකිය හැකිය. උදාහරණයකට යම් ආගම්වලට අනුව එක් තැනැත්තකුට කාන්තාවන් 4 දෙනකු හෝ 7 දෙනෙකු සමග විවාහ විය හැක. එය හොඳ දෙයකි. තවත් ආගමක එය වැරදි දෙයකි. තවත් විටක දී මද්‍යපානය හොඳ දෙයකි. එයම තවත් විටක නරක දෙයකි. ඒ ඒ ශිෂ්ඨාචාරයන් අතරේ දී හොඳ සහ නරක, හරි වැරැද්ද පිළිගන්නා හෝ නොපිළිගන්නා ආකාරයන් වෙනස් බව දැකීමට කිසිදු අපහසුවක් නැත. [/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]එය එසේ වූවත් බුදු දහමට අනුව එය එසේ නොවේ. බුදු දහමේ යම් විටක දී දෙයක් වැරදි යැයි දක්වන්නේ නම් එය සෑම කල්හිම වැරදි ය. යම් දෙයක් හරි යැයි දක්වන්නේනම් එය සෑම කල්හිම හරි ය. මෙය ද බුදු දහම අන් ආගම්වලින් වෙනස් කර දක්වන්නා වූ එක් ගුණයකි. අපි මෙහිදී සාකච්ඡා කරන්නේ ඒ ගුණය ගැනය. [/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම අත්ථි භික්ඛවෙ කුසලම්, අත්ථි භික්ඛවෙ අකුසලම් ලෙසින් දේශනා කර ඇත. එසේම තවත් විටක දී ඉදම් කුසලන්ති තේන භගවතා සුප්පඤාතම්, ඉදම් අකුසලම් තේන භගවතා සුප්පඤාතම් ලෙසින් දේශනා කර ඇත. මෙම පාඨයන්හි යෙදෙන අත්ථි (මෙහි) යන්නෙන් සහ සුප්පඤාත (බුදුරජාණන්වහන්සේ පෙන්වා දෙන) යන්නෙන් සමාජයේ පවතින කුසල (හොඳ) සහ අකුසල (නරක) සත්‍ය කරුණක් ලෙසින් පෙන්වා දෙයි. [/FONT]
[FONT=&quot]
මජ්ජිම නිකායේ සම්මාදිට්ඨි සුත්‍රයේ දී සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන්නේ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ඇවැත්නි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම අකුසලයත් දනීද අකුසලමූලයන් දනීද[/FONT][FONT=&quot]කුසලයත් දනීද කුසල මූලයත් දනීද ඇවැත්නි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම[/FONT][FONT=&quot]සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට ගියා වෙයි ධර්මයෙහි[/FONT][FONT=&quot]නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ලෙසිනි. යමෙක් හොඳ සහ නරක පවතින බව පිළිනොගන්නේ නම් ඔහුගේ දැක්ම නිවැරදි නොවේ. දෘෂ්ටිය සෘජු බවට පත්වන්නේ පුද්ගලයා හොඳ සහ නරක පවතින බව පිළිගන්නා විටදී ය. බුදුරජාණන්වහන්සේ තවත් අවස්ථා ගණනාවකදී ම හොඳ හා නරක පවතින බව දේශනා කර ඇත. [/FONT]

(1)

 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
පෙර දිනයක රථාචාරී සමග ගමනේ සිටිද්දී මේ වස්සාන සමයේ සඟුන් වහන්සේලා මුදල් බලාපොරොත්තුවෙන පිඬුසිඟා වැඩීම අරඹයා හේ මතුකල කරුණු හේතුවෙන් මේ සටහන තැබීමට සිත්විනි. රථාචාරීට අනුව මේ පිඬුසිඟීම තුල ජාත්‍යන්තරව අප සිනහවට ලක් වේ. මගේ අදහස කුමක්දැයි හෙතම විමසීය. ඇත්තෙන්ම ලංකාව බුදුදහම නිසා ජාත්‍යන්තරව ප්‍රසිද්ධද යන්න විමසිය යුතු බව මා ඔහුට කීවෙමි. කේ. ධම්මානන්ද, පියදස්සී, ආනන්ද මෛත්‍රිය, වල්පොල රාහුල, නාරද, හික්කඩුවේ සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, ගංගොඩවිල සෝම වැනි භික්ෂූන් වහන්සේලා නිසා ලංකාව බෞද්ධ මතයන් තුලින් ලොව පරිසිඳු. නමුත් වර්තමානයේ එවැනි යමෙක් සිටීදැයි ඔහුගෙන් ඇසූ විට ඒ අයගෙනුත් සමහරෙක් නොහඳුනන බවට පිළිවදන් දිනි.

වරෙක බුදුරජාණන්වහන්සේගෙන් අනඳ හිමි සැම තැන එක ලෙස පැතිරෙන සුවඳක් වේදැයි පුළුවස්නා කල්හි, සිල් සුවඳ දසත පැතිරෙන සුවඳ බව වදාළ සේකැ. සීලය ගිහියන්ට පංචවත් පැවිද්දන්ට ⁣කෝටියක් සංවර සීලයත් ආදී ලෙසින් දේශිතව ඇත. දැන දැන බුද්ධභාෂිතයට පටහැනි වන්නන්ගේ සීලය කෙබඳුදැයි මා ඇසීමි. රථාචාරීගේ පිළිතුර වූයේ උන්ට ඇති සිලක් නොදක්නා බවයි. යහපත් කල්ක්‍රියාව, යහපත් වචනය සහ යහපත් සිතුවිලි සීලය සම්ප්‍රයුත් කෙරෙත්. ගිහියන් විසිය යුතු අන්දමත් පැවිද්දන් විසිය යුතු වතත් බුදුරජාණන්වහන්සේ වදාරා ඇත. ඒ වත නොගන්නවුන් දරණ සීලයක් නම් නැත් මා වැඩිදුර දැක්වීමි. මහත, බුද්ධභාෂිතයක මෙතැනදි දැක්විය හැකිද රථාචාරී විමසයි. හැකිය, හොඳින් අසව. ත්‍රිපිටකයේ සූත්‍ර පිඨකයේ, ඛුද්දක නිකායේ, සුත්ත නිපාතයේ චූල වර්ගයේ ධම්මික සුතුරැයි පරිසිඳු එක් සුතුරෙක් වෙයි. එහිදී ධම්මික උපාසකයනට මෙසේ පැවිදිවත වදාරා ඇත්තේය. කෙසේද යත්,

"මහණෙනි, ක්ලේශධුනනය කරන්නා වූ මාගේ ප්‍ර‍තිපත්තිධර්මය තොපට අස්වමි. හැමදෙන එය ධරව. හිතානුදර්ශී ප්‍රාඥ තෙමේ පැවිද්දනට අනුලොම් වූ ඒ චතුර්විධ ඊර්‍ය්‍යාපථය සෙවුනේ ය.

මහණ නොකල්හි ගම් නොවදනේ ය. සුදුසුකල්හි ම පිඬු සිඟායන්නේ ය. රාගාදි නොයෙක් සඞ්ගයෝ අකාලාචාරී මහණ වැළැඳගන්නාහ. එහෙයින් චතුස්සත්‍යබුද්ධ වූ ආර්‍ය්‍යපුද්ගලයෝ නොකල්හි ගම් නො වදනාහ.

රූප හා ශබ්ද හා රස හා ගන්‍ධ හා ස්පර්‍ශ යන යම් බාහිරායතන කෙනෙක් සත්ත්වයන් මදයට පමුණුවත් නම්, තෙල ධර්මයන්හි ඡන්‍දරාගය දුරු කොට හේ ප්‍රාතරාසස්ථානයට සුදුසු කල්හි වදනේය.

මහණ පෙරවරුයෙහි පිඬු ලබා හුදෙකලා වූයේ පෙර ලා අවුත් ස්කන්‍ධසන්තානය (ත්‍රිලක්ෂණයට නංවා) සිතනසුලුයේ රහොගත ව හිඳිනේ ය. (රූපාදි) බැහැරි අරමුණෙහි සිත් නොයොදනේ ය. භාවනාරම්මණය කෙරෙහි මොනොවට ගිය සිත් ඇතිවන්නේ ය.

ඉදින් ඒ යෝගාවචර අන්තොටු සව්වකු හා වේවයි මෙ සස්නෙහි කිසියම් මහණකු හා සමග වේවයි සංලාප කෙරේ නම්, ඒ ප්‍ර‍ණීත වූ ධර්මය ම කියන්නේ ය. පෙහෙසුන් නො කියන්නේ ය. පරෝපවාද නො කියන්නේ ය.

ඇතැම් කෙනෙක් පරෝපවාද සඞ්ඛ්‍යාත විග්‍රාහික කථාවාදය විරුද්ධ කොට ගණිත්. අල්පප්‍රාඥ ඔවුන් නො පසසම්හ (කවර හෙයින් යත් එ එ වාදමාර්‍ගහේතුයෙන් වාදසඞ්ඝයෝ එ වාදීන් වැළැඳගනිත් ද එහෙයිනි, (කමටහනින්) චිත්තය දුරෙහි වේ ද එපරිදි ඔහුසිත පරෝපවාදයෙහි ලා මෙහෙයත්.

උත්තමප්‍ර‍ඥා ඇති ශ්‍රාවක නොහොත් වරප්‍රාඥවූ බුදුන්ගේ ශ්‍රාවක තෙම සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය අසා පිණ්ඩාපාත යැ, වෙහෙර යැ, හැඳපුටු යැ සඟලසිවුරෙහි රජස් දුරු කරණ ජලය යැ යන මේ දෑ ප්‍ර‍ත්‍යවේක්ෂා කොට සෙවුනේ ය.

එහෙයින් මැ පිඬුවායෙහි ද සෙනසුන්හි ද සඟළ සිවුරෙහි රජස් දෝනා දියෙහි ද යන තෙල චතුස්ප්‍ර‍ත්‍යයධර්මයන්හි පොකුරු පත්හි දියබිඳු සෙයින් මහණ නො ඇලුනේ වේ."

ලෙසිනි. ඉතින් මහත බහුතරයක් භික්ෂූන් වහන්සේලා දරන පිලිවෙත ඔයිට පටහැනි නොවේද හේ පුළුවසැයි. රථාචාරී, එය නුඹ විසින් නුවණින් විමසිය යුත්තකි. තවත් එකෙක් නුඹට කයමියි මා කියන්නෙමි. වරෙක් උතුර සාමනේර⁣යෝ නිකරුණේ සොරකු ලෙසින් වදයට නියම කොට උල තබන්නට යන කල්හි බුදුරජාණන්වහන්සේ එය දිවැසින් දැක එහි වැඩම කොට සමනෙරන්දෑට දම් දෙසීය. හේ ඒ අසා උල මතදීම මග පසක් කල සේක් උලින්ද මිදුනු සේකැ. එහිදී සියල්ල දත් බුදුරජාණන්වහන්සේ රජුගෙන් සමනෙරුන් නිකරුණේ වද නොකරන්නැයි නොඉල්ලුවේ ය. රථාචාරී සැහැල්ලුවෙන් සිතනු, බුදුරජාණන්වහන්සේ එසේ රජුගෙන් ඉල්ලුවානම් රජු ඒ ඉල්ලීමට කන් නොදෙතැයි නුඹ සිතනවාද? මා අසමි. නැත, මහත. රජු අනිවාර්යයෙන්ම එය අසනු ඇත, හේ පිළිවැදී. රාජනීතිය බුදුරජාණන්වහන්සේ කිසිවිට විචාලේ නැත. දෙසුවේ දැහැමින් රට රකින ලෙසිනි. දම් මග නොදන්නා වූ එහි නොපිළිපන් පෘථග්ජනයෝ හිස මුඩු කොට කරන ක්‍රියා මිස වෙනත් යමක් නම් මා නොදකිමියැයි මා කීවෙමි. එසේමැයි මහත මට වැටහේ රථාචාරී කියයි. මහතැ ඔබ පැවිදි වත බුදුරජාණන්වහන්සේ දෙසූ හැටි කීවත් ගිහි වත නොකී ⁣ය, එය බුදුරජාණන්වහන්සේ වදාරා ඇත්තේ කෙසේදැයි දැන ගනු කැමැත්තෙමි හේ පුළුවසැයි. මිතුර, එයත් පෙර කී ධම්මික සුතුරේ ම වදාරා ඇත. ඒ පහත ලෙසිනි.

"යථාකාරී ගෘහස්ථශ්‍රාවක සත්පුරුෂ වේ නම්, එ ගිහිවත තොපට කියමි. තෙල පිරිපුන් මහණදම් (කෙත්වත් ඈ) පරිග්‍ර‍හයෙන් යුත් ගිහියා විසින් ලබන්නට නොහැකි වෙයි.

ලොව්හි ස්ථාවර වූ යම් සත්ත්ව කෙනෙක් වෙත් නම්, යම් බඳු ජඞ්ගම සත්ත්ව කෙනෙක් වෙත් නම්, ඒ හැම සත්ත්වයන් කෙරෙහි දඬු බහාතබා පරපණ නො නසන්නේ ය, නො ද නස්වන්නේ ය, පරපණ නසන මෙරෙමාහට ද නො අනුදන්නේ ය.

ඉක්බිති ‘මේ පරාසතු දැයෙකැ’යි දන්නා ගිහි සවු (ගම්හි වේවයි වලැ වේවයි) කිසිදු තැනෙක්හි වූ ස්වල්ප හෝ බොහෝ වූ හෝ නුදුන් කිසිවක් නොගෙණ හරණේ ය. නො ද හැර ගන්වන්නේ ය. පැහැරගණුවනට නො ද අනුදන්නේ ය. එබඳු හැම අයිනාදන් හැරලන්නේ ය.

විඥශ්‍රාවක දිලියෙන අඟුරුවළක්සෙයින් අබ්‍ර‍හ්මචර්‍ය්‍යාව දුරු කරන්නේ ය. (උඩත් පිරිසෙයින්) බ්‍ර‍ම්සර රැකිය නොහෙනුයේ පරදාරයන් කරා නො යන්නේය.

සභාවකට ගියේ වේවයි පිරිස්මැදට ගියේ හෝ වේවයි එකලා වූයේ ම එකකහට මුසවා නො කියන්නේ ය. නො ද බණවන්නේ ය. බණනවුනට ද නො ද අනුදන්නේ ය. හැම අභූතය දුරලන්නේ ය.

ගෘහස්ථ තෙම මත්පැන් ද නො සෙවුනේ ය. යම් ගෘස්ථයෙක් මේ මද්‍යපානවිරති ධර්මය රුස්නේ නම් මෙය උන්මාදනය ඇති කරවන්නෙකැයි දැන (අනුන් ලවා) නො ද පානය කරවන්නේ ය. බොනවුන්හට නො ද අනුදන්නේ ය.

මද හේතුයෙන් අඥයෝ පව් කෙරෙත්. අන් දනන් ද ප්‍ර‍මත්ත කෙරෙත්. පරලොව්හි උමතු බව ඇති කරණ මෙලොව්හි මුළාව දනවන බාලයනට කාන්ත වූ තෙල අපුණ්‍යායතනය හැරලන්නේ ය.

ප්‍රාණඝාත නොකරන්නේ ය, අයිනාදන් නොගන්නේ ය, මුසවා නො බණන්නේ ය, මද්‍යප ද නො වන්නේ ය, මෙථූනසඞ්ඛ්‍යාත අබ්‍ර‍ම්සරින් වෙන් වන්නේ ය, විකාලභොජන සඞ්ඛ්‍යාත රාත්‍රිභෝජන නො වළඳනේ ය.

මල්දම් නො දරන්නේ ය. සුවඳවිලෙවුන් ගැල්වීම් නො ද කරන්නේ ය, කැපසරුප් පරිදි අතුළ කැප හැඳෙහි හෝ බිම්හි හෝ හෝනේ ය, වර්ත්තදුඃඛයාගේ අන්තයට ගිය බුදුරදුන් විසින් ප්‍ර‍කාශිත වූ තෙල අෂ්ටාඞ්ගික වූ උපොසථ යයි කියත්.

ඉක්බිති පහන් සිතැතියේ පක්ෂය පිළිබඳ චාතුද්දසී උපොසථය ද පණ්ණරසී උපොසථය ද අටඨමි උපොසථය ද පාටිහාරිය පක්ඛ උපොසථය ද සුපිරිපුන් කොට අටඟින් යුත් පෙහෙවස් වසවු.

ඉක්බිති විඥ ගිහිසවු විසූ පෙහෙවස් ඇතියේ පසුදින පූර්‍වභාගයෙහි පහන් සිතැත්තේ නරතුරු මොදමාන වූයේ සුදුසුපරිද්දෙන් අහර පැනින් බික්සඟුන් වළඳවන්නේ ය.

ධර්මයෙන් ලත් භෝගයෙන් මාපියන් පුස්නේය. හෙ දැහැමි වණික්කර්ම කරන්නේ ය. අප්‍ර‍මත්ත වූ ගිහිගේ වැසි තෙම තෙල වත පවත්නේ ස්වයම්ප්‍ර‍භ නම් වූ (කාමවචර සදෙව්ලෝ වැසි) දෙවියන් කරා (උපත් විසින්) එළඹෙන්නේ යයි."

අනේ මහත, මේ අද දින ඇසුවා මිස ⁣මින් පෙර ඇසූවක් නොවේ, මා එය සිත්හි දරාගමියි රථාචාරී කියයි. එසේය එය නුඹට වැඩ පිණිස පවතිනු ඇතැයි පවසමින් ඒ සල්ලාපය නිම් කලෙම්.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මහත, පිඬුසිඟූ බික්සඟනට අහර පිදූවන් සහ පොලිස් නිලදරුවන් අතර වූ හබය දුටිමි, ඒ දකිද්දී ඇති වූයේ මහත් දුකෙකි, රථාචාරී සුපුරුදු කථාව ඇරඹීය.

මා ද එය දුටිමි, නමුත් මා තුල ඉන් යමක් නොඉපදුනි, මා පිළිබැන්දෙමි.

මහත, එවැනි සිදුවිම් දකිනාවිට, අසනාවිට දුක් ඇති නොකර ගනිමින් වසන්නේ කෙසේද ? පැනයකි රථාචාරී අසන්නේ.

මාගේ අදහස කියමි. නමුත් එය එසේමැයි නොපිලිගෙන හෝ ප්‍රතික්ෂේප නොකර විමසන්නේනම් යහපති.

ලෝකයේ හටගැන්ම බුදුරජාණන්වහන්සේ විසින් සූත්‍ර පිඨකයේ දීඝ නිකායේ අග්ගජ්ජ සූත්‍රයේදී දේශනා කර ඇත. සත්ත්වයාගේ උපතද එහිම වෙයි. සත්ත්වයා පව් කිරීම ඇරඹීම සහ පින් කෙරෙහි යොමු විමද එහි වෙයි. බුදුවරයකුගේ උපත පිළිබඳව ද එහි වෙයි. බුදුරජාණන්වහන්සේ ලොව පහල වන්නේ සියලු සතුන්ට සතුට ලබා දීම පිණිස ය. ඒ සඳහා වන මාර්ගය බුදුරජාණන්වහන්සේ පෙන්වා දෙයි. හිතඇත්⁣තෝ එහි ගමන් කරති. මේ මාර්ගයේ ගමන් කරන අපි කුසල් වඩති, අකුසල් දුරැලති. කුසල් යනු සරලව ගත්විට අලෝභ, අමෝහ සහ අද්වේශ යන ගුණාංග මුල් ව ඇති සිත් ඇතිව සිදු කරනා දේ ය. අකුසලය එහි විරුදු පසයි. කාලාම සුතුරේදී මේ ද්විත්වයේ වෙනස හඳුන්වාදීමට ගෞතම බුදුරජාණන්වහන්සේ කටයුතු කර ඇති අතර අදටත් එය වලංගු ය. දුක ඇති වන්නේ කුමක් නිසාද රථාචාරී ? මා අසමි.

නොදනිමි මහත පිළිතුරය එය ඔහුගේ.

එක් අතකට අකුසලය මුල් වන ක්‍රියාවකට යොමුවීම දුකකි. එසේම බුදුරජාණන්වහන්සේ දම්සැක් පැවුතුම් සුතුරේදී දේශිත පටිච්ච සමුප්පාදයේ ද දුක දක්වා තිබේ. ඊට අනුව සරලවම දුක තණ්හාව නිසා හට ගනී රථාචාරී. තණ්හාව සරලව ගත්විට අල්ලා ගැනීම, නැත්නම් යම් අරමුණකට බැඳීම සහ එය අත්හැරීමට හිතට ඇති නොහැකියාව පෙන්නුම් කරයි.

අප ඇතුලු අවට ලෝකයේ කුමන දෙයක වුවද අංග 2 ක් ස්ථිරවම පවතී. ඒ නාම සහ රූප ය. නාම-රූප සංකලනය ස්වභාවයෙන්ම ත්‍රිලක්ෂණය මුල් කොට ගනිමින් පවතී. නමුත් මේ පිළිබඳ ඇති නොදැනීම නිසා සහ බුදුරජාණන්වහන්සේ ඒ ගැන දේශනා කලද අපට එය වටහා ගැනීමට පාරමිතා සපුරා නොමැතිවීමේ ඵලය නිසා එය නොවැටහීමෙන් එහි එම ලාක්ෂණිකයන් අපි නොදකින්නෙමුය. එනිසා අපි යමක් පවතින බව සිතා අත්කරගත්ත ද එය වෙනස් වන විට දුකට පත්වෙන්නෙමු. එසේම අප්‍රිය දේ ලං වීමෙන්ද දුකට පත්වෙමු. ප්‍රිය දේ වූවද, අප්‍රිය දේ වූවද ත්‍රිලක්ෂණය සහිතව දකින්නේ නම් එහි යථාව දකින හෙයින් ඊට ඇලීමක් නොවේ. මා නුඹට නිදසුනක් සපයමි. නුඹට මෙලොව හිතැති දෙයක් වේ නම් පවසනු..

මහත, මාගේ බිරිඳ සහ දරුවන් මා හට පණ හා සමානයැයි රථාචාරී පිළිවදනී.

හොඳයි නුඹේ බිරිඳ මුල් වරට දකින විට සිටි ලෙසම දැන් සිටින්නේ ද මා අසමි.

නැත මහත, මුල් වරට මා ඈ දකිද්දී ඈ තරුණියෙක, නමුත් දැන් ඈ වියපත් ය ඔහු කියයි.

හොඳයි නුඹේ දරුවන් වැඩෙනවා ඇස් දෙකින්ම නොදැක්කේ ද මා යළි අසමි.

දැක්කෙමි මහත, ඔවුන් ද දැන් මා හා සමාන ලෙස වැඩී අැත ඔහුගේ පිළිතුර ය.

නුඹට මතකද නුඹත් එවැනි කලක් ගෙවූවා.. මා අසමි.

එසේය මහත, මා ද මගේ දරුවන් මෙන් කුඩා කාලයක් ගෙව්වෙමි හේ පවසයි.

වෙනස්වීම ඇස් පනාපිටම නොවේදැයි මා අසමි.

හේ, එසේයැ මහත ලෙසින් පිළිවදන් දෙයි.

නුඹට එ් වෙනස්වීම පාලනය කල හැකිද මා අසමි.

නොහැක මහත, එය ස්වභාවයයි.

ඉතින් එය එසේ නම් නුඹගේ අතීතයේදී ඔවුන් නිසා දුක් විඳි අවස්ථා වේ නම් ඒ සියල්ල නිෂ්ඵල දුක්වීම් බව නොතේරෙන්නෙහිද...

හ්ම්.. එසේය මහත, තේරේ.

අනාගතයේද එලෙසම නුඹට දුක දැනේ. ඒ ඔවුන්ව නුඹ අල්ලාගෙන සිටින නිසාය. ඔවුන්ව අතහැරි විට එය නුඹ කෙරේ නොඑනු ඇත. නමුත් නුඹගේ දරු මුණුපුරන් සහ බිරිඳ කෙරේ විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට කටයුතු කරනු...මා දැන්වීමි. එසේම රථාචාරී, පිඬුවැඩිවුන් කෙරේ වන සිදුවීමද දුක ඇති කරන්නේ අල්ලා ගැනීම නිසාවෙනි. නුඹ උන්ව හෝ උන්ගේ විරුදුපස අල්ලා ගෙන ඇත. එය හඳුනාගැනීමට නිසල මනසක් තිබිය යුතු නිසා හැකි හැම විට සමාධිය වඩව. සමාධිගත මනසින් නුඹට ඉක්මණින් විදසුන් වඩා ජීවිතයට පැමිණෙන දුක්, ඉරු දැකි පිණි නැතිවෙන්නා සේ නැති කල හැක. සදා සතුටින් විසිය හැක. එයයි මා දන්නා මග රථාචාරී... මා පිළිබැන්දෙමි.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
"බලන්න මහත අද කාලයේ අසන්නට ලැබෙන ගීත. ඒවා ගීත ද නැත්නම් මොනවාදැයි හිතා ගත නොහැක. සමහරක් ගී ඇසෙද්දී කෝපයද ඇති වේ" රථාචාරී කියවයි. මා සිනාසෙමි. "ඔබතුමන් සියල්ල සැහැල්ලුවෙන් සලකන්නේ වූවත් අපට එය නොහැකි නිසා හිනා වෙන්නේ නොවේදැ"යි හේ අසයි.

"අනේ නැත රථාචාරී. එසේ නැත. ඔබට ඇති පැන, බොහෝ දෙනකුට ඇති පැනයකි. නමුත් ඇති විසඳුම් නොදැක සිටීම නිසාවෙන් සිනා මතු විය" මා පිළිබැන්දෙමි.....

"විසඳුම? මහත, එය මටත් පෙන්වුව මැනැ"යි හේ ආරාධනා කරයි.

"කියමි. මැනවින් ඇසුව මැන" මා පැවසුවෙමි.

"අපට සවන් සේම මුඛයක් පිහිටා ඇත්තේ ය. ඇස්ද නාසයද ඇත්තේ ය. ස්වභාවයෙන්ම මේවා පිහිටා ඇත්තේ ලොව දැකීමට සහ විඳීමටයි. ඇස් නැත්තාට ලොව ඇස් ඇත්තා සේ දැකිය නොහැක. කන් නැත්තාට කන් ඇත්තා සේ ඇසිය නොහැක. එය ඔබ තේරුම්ගත යුතුය" මා නැවතුනෙමි.

"එසේයැ මහත" හේ හූ මිට දෙයි.

"මේ ඉන්ද්‍රියන් සයක් ලෙසින් බුදුරජාණන්වහන්සේ වදාරා ඇත්තේය. ඇස, කන, නාසය, දිව, සම සහ මනස ලෙසිනි. මේ ෂඩ් ඉන්ද්‍රියන් අපව බැහැර සමග සම්බන්ධ කරයි. ඒ නිසා රූප දැකිය හැක, ශබ්ද ඇසිය හැක, රස විඳිය හැක, සුවඳ විඳිය හැක, ස්පර්ශ විඳිය හැක, සිතිය හැක. ඔබ කියන්නේද මින් එකක් ගැන ය. එනම්, ශබ්දය ගැනය. සිහි තබා ගන්න මිතුර, ශබ්දය ඇසිය හැකිවා සේ ම ඇසෙන්නට සැලැස්වීමට හැකි බව" ..

"මොකක්" ...

"එසේය. ඔබ යම් ශබ්දයක් අවධානයෙන් මනස යොදා අල්ලා ගන්නේ නම් ඒ ඔස්සේ අරමුණු හට ගැනීමට මග සලස්වයි. නොයෙක් සිහින මවයි. ඒ ඔස්සේ එක්කෝ ද්වේශය නැත්නම් රාගය වැනි සිතුවිලි ඇති කිරීමට ඒ අල්ලා ගැනීම හේතු වෙයි. දැන් ඔබේ සිදුවීමේදී එය ද්වේශය ඇති කරවා ඇති බව ඔබට පෙනෙනු ඇත."...

"එසේය මහත. ඒ බව වැටහේ."..

"ඊට හේතුව ඔබ ඒ ශබ්දය ඇසීමට සැලැස්වීම යි. එයින් එය අල්ලා ගැනීමයි. නමුත් එය අසා, අල්ලා නොගත්තා නම්.. එවිට අරමුණු හට ගැනීමක් නොවන නිසා ද්වේශයක් නැත."..

"එසේය, එයද වැ⁣ටහේ. නමුත් එය කියනවා සේ කිරීම පහසු නොවේ මහත"...

"සැබෑය, අනන්ත සසරේ පුරුදු කර ඇත්තේ අල්ලා ගැනීමම නිසා එය පහසු කාර්යයක් නොවේ. එහෙත් අවශ්‍යතාවය හඳුනාගෙන අධිෂ්ඨානයක් තබා වීර්යයෙන් සහ උපේක්ෂාවෙන් අතෑරීමට කටයුතු කලහොත් එය අපහසු කාර්යයක් නොවේ රථාචාරී."..

"මහත,වැටහේ. ඔබ එය කියනායුරු වැටහේ. ඒ අනුව කෝපය මතු කල ගී නෑසුවානම්, නැත්නම් ඇසුනත් ඒ ගැන නොසිතා සිටියා නම් කෝපය හට නොගනී."..

"එසේමැයි රථාචාරී. සවන් ඟුල් දැමීමේ හෝ බිහිරි වීමේ අවැසිතාවක් නැත. අප කල යුත්තේ ඇසෙන දේ ඇසීමට සලස්වා ඒ ඔස්සේ අරමුණු හට ගැනීමට ඉඩ නොදීමයි. එසේම යම් හෙයකින් අරමුණු හට ගන්නේ නම් ඒ කුමක් ද යන්න හඳුනා ගැනීමයි."

.."ඒ කුමක් නිසාද මහත ?"...

"සසරේ නිවීමට මග උතුම් සම්මා සම්බුදු දේශනාවයි රථාචාරී. එය ඔබට ඇසිය හැකිවා සේම ඔබ එය ඇසිය යුතු ය. ඒ ඔස්සේ නිවන්මග පසක් කර ගැනීමට ඔබ කටයුතු කළ යුතු ය. එනිසා ඔබ ධර්මය ඇසිය යුතුවා සේම දැරිය යුතුය. සමහරුන් ධර්මය ද අත්හරිති. එසේ නොකල යුතු ය. ඔබ අසනා දේ නිවැරදි දැක්මෙන් සහ නිවැරදි කල්පනාවෙන් අසා, නිවැරදි සිහිය පිහිටුවාගනිමින් සහ ඒ ඔස්සේ නිවැරදි සිතුවිලි ඇති කර ගනිමින්, නිවැරදිව කටයුතු කරමින් නිවැරදි ජීවිතය සාදා ගැනීමට කටයුතු කළ යුතු ය."..

"මහත මදක් සිටින්න. මහත මදක් සිටින්න.. ඔබ ඒ කීවේ අරි අටැඟි මගෙහි අංගයන් නොවේදැයි?" රථාචාරී ඉපිලෙමින් අසයි.

"එසේයැ රථාචාරී. ඔබ සවන් යොමු කල යුත්තේ ඒ සඳහා පමණි. දෙඇස් යොමු කල යුත්තේ ද ඒ සඳහා ය. අනෙක් ඉන්ද්‍රියන් යොමු කල යුත්තේ ද එයට ය. ඔබට කර්මානුරූපව ලද ඉන්ද්‍රියන් අරි අටැඟි මග තුල ගමන් කිරීමට යොදා ගන්නෙහි නම් අද ඇසෙන ගීත ඇසූ විට කෝපය හට නොගනු ඇත. නොසැලී සිටිය හැකි වනු ඇත."

... "ඔබ කියූ දේ පැහැදිලිය මහත. මගේ වරද මට තේරේ. මා නොකල යුතු දේ කල නිසා අකුසල මූලයක් උපදවා ඇත. මා එය දුරලමි."...

"එහි සැනසීම ඔබටමය රථාචාරී. උන්ගේ හෙළුවට නුඹගේ මනස සෙලවීමට ඉඩ නොදීම නුඹටම යහපත ගෙනෙනු ඇත."

මා සුබ පැතුවෙමි. ⁣
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
වාහනයට ගොඩ වීමට එනවිටම රථාචාරීගේ මැල ව තිබූ මුහුණ මා දු⁣⁣ටු නිසා ව්‍යාජ සිනහව හඳුනා ගැනීමට අපහසුවක් නැත. කුමක්වීදැයි ඇසිය යුතුය.

"රථාචාරී, කුමක් වීද ඔබට" විමසමින්ම රථයට ගොඩවිනි.

"අපි වැනි දුප්පතුන්ට ඇත්තේ ප්‍රශ්න පමනකැ"යි මහත ඔහු පිළිවදන් දුනි.

"ඔබේ ප්‍රධානියාට කීමෙන් විසඳුමක් නොවේයැයි හැඟෙන ප්‍රශ්නයක්දැ"යි මා ඇසුවෙමි.

"අනේ නැහැ මහත එසේ නොවේ. මගේ බාල දුවණියගේ උපන් දිනය අනිද්දාට යෙදී ඇත. උන්ගේ පන්තියේ යහළුවන් සමග එය සැමරීමට අවශ්‍යලු. වියදම දැරීමට ඇති අපහසුවය මගේ මුසප්පුව." ඔහු කියන්නේ මා දෙසවත් බලමින් නොවේ.

"ඔහෝ.. එයද නුඹේ පැනය. ඉතින් මා හට කීවානම් මක් වේද.. මින් පෙර මා නුඹට උදව් කර නැත්ද.. උන්ගේ හිත් නොරිදවා අවැසි දේ සූදානම් කරව. මා ඊට බරපැන දරමි." මා පිළිවදන් දුන්නේ සිනාසෙමිනි.

"ඔබට පින් මහත. දැන් හැදෙන උන්ගේ මේ හැසිරීම් කොහේ කෙසේ හමාර වන්නේදැයි මා හට නම් හිතා ගත නොහැක"

'එය නුඹ සිතිය යුත්තක් නොවේ රථාචාරී. බුදුරජාණන්වහන්සේ දේශනා කලේ සියල්ල නැති වන බවයි. සිරිත් විරිත්, සංස්කෘතීන් ආදී සියල්ලටම එය අදාළ ය. ඊටත් වඩා මීළඟ බුදුරජාණන්වහන්සේගේ ඉපැත්මට කාලය සකස්වීමද සිදු විය යුතුව ඇත්තේ ය. අප කැමැතිවූවත් අකමැතිවූවත් ඊට මුහුණ දිය යුතු ය.'

'ඇත්තෙන්ම මහත උපත අප කෙසේ සැමරිය යුතු ද' හේ අසයි.

'මා කියන දේ නිවැරදිද නැද්ද නුඹ නුඹගෙන්ම විමසමින් ඇහුම් කන් දෙන්නේ නම් මා කියමි."

'එසේය මහත, ඔබ සෑමකල්හිම මා හට කියා ඇත්තේ සැබෑවක්මය. මා අසමි.'

'බුදුරජාණන්වහන්සේ උපත පිළිබඳව දේශනා කරන්නේ ඉපැදෙන සියලු දේ නැසෙන බවට පෙන්වමිනි. උන්වහන්සේ ද මරණයට පත්විය. අනිකුත් රහතන් වහන්සේලාටද එයම විය. අපටද වන්නේ එයයි. මරණය කිසිවිට සැපයක් නොවේ රථාචාරී. එනිසා ය අප බෝසතුන් මරණය නැවතීමට ක්‍රමය සෙව්වේ. ඉතින් මරණය නැවතීමේ ක්‍රමය සොයාගත් උන්වහන්සේ බුද්ධත්වයට පත් විය. මරණය නැවතීමේ හේතුව උපත නැවතීම බව බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් සේක. ඉතින් උපත යනු සැමරිය යුත්තක්දැයි අප ප්‍රඥාවෙන් විමසිය යුතු ය. උපන්දා සිට අප සිරුර තුළට ගන්නා සුසුම් පොද පිට කරන වාරයක් පාසා ලං වන්නේ මරණයට ය. උපන් දිනයක් යනු මා දකින්නේ මරුට ලං වන තවත් දිනයකි. එය සමරන්නේ කෙසේදැයි සිතා ගත නොහැක. නුඹට එක් කතාවක් කියමි.

බුදුන් දවස සුදත්ත සිටාණන්ගේ මිණිබිරිය අ තිබූ පිටියෙන් සාදා තිබූ බෝනික්කා බිඳුනු විට උන් නැලවීමට නොහැකි තරමින් හඬන්නට විය. එකල්හි සිටාණෝ මිණිබිරිය අස්වැස්සූවේ බුදුන් ප්‍රමුඛ සඟනට දන් දී ඒ බෝනික්කාට පින් පමුණුමවමුයි ඇයට දන්වමිනි. දන් පිළිගෙන අවසානයේ දනට හේතුව අසා බුදුරජාණන්වහන්සේ එය පසසමින් ප්‍රකාශ කලේ ප්‍රඥාවන්තයෝ ජීවිතයේ සෑම අවස්ථාවක්ම පින සඳහා ම යොදා ගෙන ඉන් සැනසෙන බව දක්වමිනි.

මරණින් මතු අපි යන්නේ කොහේදැයි අපි දන්නේ නැත. කොහේගියත් පින නොමැති නම් විඳවීම නියත ය. ඉතින් මරණයට ලං වන අපි නිරතුරු පින්හි යෙදිය යුතු. පංතියේ යහළුවන්ට නැත්නම් වැඩපොලේ මිතුරන්ට උපන්දින දා කෑම වේලක් ලබා දීම දානයක්ද යන්න විමසිය යුතු ය. දානය යනු නිවන අරමුණු කර ගනිමින් දෙන්නකි. නමුත් මෙය එවැන්නක් ද යන් නුඹම විමසන්න. උපන් දිනය ද පින් වැඩෙන දිනක් බවට පත් කර ගැනීම අපහසු කාර්යයක් නොවේ."

"මහත පින් කිරීම පිළිබඳව බුදුරජාණන්වහන්සේ දෙසූ තවත් කෙටි භාෂිතයක් කිව හැකිද"

"රථාචාරී සෑම බුදුවරයකුගේම ඉගැන්වීමක් තිබේ. නුඹ එය අසා ඇතුවාට සැක නැත. සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහා වග්ගයේ මහා පදාන සූත්‍රයේදී 'සබ්බ පාපස්ස අකරණං' ලෙස දක්වා ඇති ගය."

"එසේයැ මහත, එය නොදන්නකු සිටීද".

"එසේයි අසා ඇත්තෝ නම් එමට ඇතත්, පිළිපින්නෝ ඉතා අල්පයැ. සෑම පාපයක්ම නොකන්නැයි කියන්නේ පින්ද නොකරන්න කියා නොවෙයි. පව් නොකරන අය පින් කිරීමට යොමුවිය යුතු ය. කුසල් රැස්කරන්නෝ අකුසල් දුරු කල යුතු ය."

"මහත පින හා කුසලය දෙකක් බව ඔබ කියනවා මා අසා තිබේ."

"එසේය රථාචාරී, පින සහ කුසල් නම් දෙකක්ම ය. එනිසා පින් සහ කුසල් වෙන් වෙන් වශයෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබේ. සබ්බ පාපස්ස අකරණං යැයි ඇසෙන විට පින් කළ යුතු බව ප්‍රඥාවන්තයා තේරුම් ගනී. එසේම 'කුසලස්ස උපසම්පදා' යැයි ඇසෙද්දී අකුසලයෙන් වැලකිය යුතු බව ද ප්‍රඥාවත් තෙමේ දනී."

"මහත පැනයකි. අප විසින් කුසල් අකුසල් වෙන් වෙන් ලෙස දැන ගන්නේ කෙසේද?"

"රථාචාරී ඔබ නම් අගනේ යැ"

"ඔන්න ඉතින් මට ඔලොක්කුවට හිනාවෙනවා ඔබතුමා"...

"නැත නැත රථාචාරී. බුදුරජාණන්වහන්සේගේ සමයේදීද ඔවැනි ප්‍රශ්නයක් කේසපුත්තකයිනට ඇති ව විමසූ විට උන්වහන්සේ පිළිතුරු ලබා දී ඇති බැව් සිහි වී සිනහ මතුවිනි. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ අකුසල් මූල සහිත සිත්වලින් කරන දේ අකුසල් බවත් කුසල මූල සහිත සිත් අැතිව කරන දේ කුසල බවත්ය. ඔබ යමක් කරන්නේ ලෝබ, ද්වේශ, මෝහ යන සිතුවිලි සහිතවද ඔබ කරන්නේ අකුසල් ය. අලෝබ, අ⁣ද්වේශ, අමෝහ සිත් ඇතිව ඔබ යමක් කරන්නේ ද එය කුසල් ය. පාටි දමා උපන් දිල සැමරීම කුසල් ද අකුසල් ද යන වග දැන් ඔබට පෙනෙනු ඇත."

"මහත, අප විසින් එම සැමරුම සමරන ආකාරය අනුව එහි ප්‍රතිඵලය සකස්වෙන බව මට හැඟේ."

"එසේය රථාචාරී. චේතනාහං බික්කවේ කම්මං වදාමි ලෙසින් බුදුරජාණන්වහන්සේ දක්වා ඇත්තේ ද මෙයයි. නමුත් වර්තමානයේ පව, පින් පරදවමින් ද අකුසලය, කුසලය පරදවමින් ද ක්‍රියාත්මක වන නිසා ඔබගේ දරුවාට ඇති තත්ත්වය උද්ගත වූ තවත් දරුවන් සමාජයේ එම ඇත. එසේම ඔබට අද ඇති වූ ප්‍රශ්නය ම ඇති තවත් පියවරු, මව්වරු එමට ඇත. නමුත් කාලය ගමන් කරන්නේ ධර්මය සැඟවෙන දිශානතිය කෙරේ නිසා ඒ සියල්ලන්ටම ධර්මයේ හැසිරීමට අපහසුව තිබේ. නමුත් හැකි හැම විටම දරුවන්ට යහපත් දේ ඉගැන්වීමට දෙමාපියන් කටයුතු කළ යුතු ය. වෙර දැරිය යුතු ය."

"එසේය මහත. ඔබ කියනා දේ සැබෑවකි. මේ සියල්ල අප විසින්ම ලඟා කරගත් විනාශයම විනා ඉබේ පැමිණියක් නොවන බව මට හැඟේ. නමුත් ගඟ පහලට ගලා යන්නා සේ අපද රැල්ලට ගසා ගෙන යන බව හැඟේ. ඉන් එගොඩ වීමට හෝ උඩු ගං බලා පීනිමට නොහැකි වීම මහත් වූ දුකෙකි."

"හික් හික්...." ..

"ඔබට මා කෙරේ සිනහ පහලවන බව මා දනිමි මහත. එවරනම් දොසක් නොදකිමි. නමුත් මා කෙසේ හෝ දිවිය සකස් කර ගැනීමට කටයුතු කරමි. ඔබගේ උදව් ඊට නොමසුරුව ලැබෙන බව මා දනිමි මහත."

"එසේය රථාචාරී, ඔබ පමණක් නොව කවරකු වුවද තම දිවිය සුවපත් කර ගැනීමට මගේ සහය අවැසිනම් මා ඊට සූදානම්ය..."