මරණය සහ ඉන් පසු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මරණය සහ ඉන් පසු

    කර්ම නිමිත්ත හා ගති නිමිත්ත


    නො මැරෙන සත්ත්වයෙක් නැහැ. කවරාකාරයකින් හෝ යම් දිනක මරණයට මුහුණ දෙන්න අප සෑම කෙනෙකුට ම සිද්ධ වෙනවා. එසේ මැරෙන සත්ත්වයා හට මරණාසන්න මොහොතේ දී කර්ම නිමිත්තත්, ගති නිමිත්තත් වැටහෙනවා. මේ නිමිති පහළ වන්නේ ඔහු හෝ ඇය මේ ජීවත් වූ භවයේ දී හෝ අතීත භවවල දී සිදු කළ කුශලාකුශල කර්මයන්ට අනුරූපව යි. මෙයින් කර්ම නිමිත්තය කියන්නේ කර්මයට අරමුණු වූ හෝ එය සිදු කිරීමට උපකරණ වූ වස්තු ආදිය යි. කුශල කර්ම කළ උදවියට බෝධි - චෛත්‍යය - බුද්ධප්‍රතිමා - මල් - පහන් - ආහාරපාන - වස්ත්‍ර ආදිය කර්ම නිමිත්ත වශයෙන් වැටහෙනවා. අකුශල කර්ම කළවුන්ට කර්ම නිමිත්ත බවට පත්වන්නේ තමන් විසින් මරනු ලැබූ සතුන් - අනුන්ගෙන් සොරකම් කළ බඩුමුට්ටු වස්තුසම්පත් යනාදිය යි.


    ගති නිමිත්ත කියන්නේ මතු උපදින භවය සම්බන්ධ දේවල්. නරකාදියේ උපදිනා සත්ත්වයන්ට මහා ගිනි දැල්, ලෝදිය, ගිනි අඟුරු වගේ ම යම රාක්ෂසයන් සහ නපුරු රෞද්‍ර සත්ත්වයන් වැටහෙනවා. ඒ වැටහීම බාගවිට ඒ තැන්වල ම පවතින හැටියට පේන්න පුළුවන්. එහෙම නැත්නම් තමා සමීපයට පැමිණෙන හැටියටත් පේන්න පුළුවන්. දිව්‍ය ලෝකවල උපදින අයට දිව්‍ය විමාන - රථ - උයන් - කල්ප වෘක්ෂ ආදියත්, දෙවියන් හා දිව්‍යාංගනාවන් ගති නිමිත්ත වශයෙන් වැටහෙනවා. මනුෂ්‍ය භවයෙහි උපදින අයට මවකගේ ගර්භයක් ගති නිමිත්ත වශයෙන් වැටහෙනවා. තිරිසන් යෝනියේ උපදින අයට ගති නිමිත්ත වශයෙන් වැටහෙන්නේ කැලෑ වනපෙත් යනාදිය යි.


    කර්මාදිය වැටහෙන විට වර්තමාන භවයෙහි කළ කී දෑ අතුරින් මතකයට නැගෙන කර්ම මනෝද්වාරයට වැටහෙනවා. මේ භවයේ කළ කර්ම අතුරින් යම් කර්මයක් අමතක වී ඇත්නම් හෝ අතීත භවවල දී කළ කර්ම, කර්ම නිමිති සහ ගති නිමිති වැටහෙන්නේ හරියට සිහින පෙනෙන්නාක් වගේ. බොහෝ මේවා වැටහෙන්නේ මනෝද්වාරයට යි. නමුත්, කර්ම නිමිති හා ගති නිමිති මැරෙන තැනැත්තා ඉදිරියෙහි තිබෙන අවස්ථාවල දී චක්ෂුර්ද්වාරාදියට ද වැටහෙනවා. භවයෙහි මතු නූපදින රහතුන්ට නම් මරණාසන්නයේ දී කර්මාදිය වැටහීමක් සිද්ධ වන්නේ නෑ. මරණය කෙසේ සිදු වුවත්, භවයෙහි උපදින කිසිඳු සත්ත්වයෙක් කර්මාදි තුනෙන් එකක් හෝ නො වැටහී මැරෙන්නේ නැහැ. කොටින් ම මිටියකින් තලනු ලබන මැස්සා පවා මැරෙන්නේ කර්මාදි තුනෙන් එකක් වැටහීමෙන් පසු ව යි.



    මරණාසන්නයේ දී මෙසේ වැටහීමෙන් කාලාන්තරයක් යට වී තිබුණු පැරණි කර්ම ඒ අවස්ථාවේ දී ම කරන ලද ඒවාක් මෙන් අලුත් වෙනවා.
    මරණාසන්න සත්ත්වයාට කර්මාදි තුනෙන් යම් කිසිවක් වැටහුණාට පස්සේ ඒ සත්ත්වයාගේ සිත ඒ වැටහුණු දෙයට නැමී පවතින්න ගන්නවා. එයට හේතුව තමයි භවයෙහි නපුර වසාලන අවිද්‍යාවත්, භවයට ඇලුම් කරන තෘෂ්ණාවත්, අප්‍රහීණ භාවයෙන් ඔහු කෙරෙහි තිබීම. මේ අවස්ථාවේ දී ඔහුට ඇතිවන්නේ ඒ වැටහුණු දෙය අරමුණු කරන සිත් පරම්පරාවකු යි. ඔහුට විපාක දීමට ඉදිරිපත් වී ඇති කර්මය අපායෙහි උපදවන කර්මයක් නම්, මේ අවස්ථාවේ දී ඔහුට ඇති වන සිත් පරම්පරාව අකුශල ජවනයන්ගෙන් යුක්ත කිලිටි සිත් පරම්පරාවක්. විපාක දීමට ඉදිරිපත් වී ඇති කර්මය කුශල කර්මයක් නම් මේ අවස්ථාවේ දී ඔහුට ඇති වන සිත් පරම්පරාව පිරිසිඳු කුශලයෙන් යුක්ත යි.


    සත්ත්ව ශරීරයක සිත් ඇති වන්නේ සිත් ඇතිවීමට ආධාර වන අතීත කර්මයෙන් හටගත්තු වස්තු රූප ඔහුගේ ශරීරයේ ඇති තාක් පමණ යි. වස්තු රූප පරම්පරාව සිඳී ගියාට පස්සේ නැවතත් ඒ ශරීරයෙහි සිත් ඇති වීමක් සිද්ධ වන්නේ නෑ. ශරීරයෙහි නැවත සිත් ඇති නො වන තැනට පත්වීම තමයි අප මරණය කියා හඳුන්වන්නේ.


    සිත්වලට ආධාර වන වස්තු රූප පරම්පරාවන් සිඳී යන්නට හොඳට ම ළං වුණා ම, මැරෙන සත්ත්වයාට ඒ අවස්ථාවේ දී වැටහී තිබුණු කර්මාදියෙන් එකක් අරමුණු කොට ඒ ශරීරයේ ඇති වන අන්තිම චිත්තවීථිය ඇති වෙනවා. එයට අප කියනවා මරණාසන්න චිත්ත වීථිය යි කියා. මේ අවස්ථාවේ දී චිත්ත වේගය ඉතා හීන නිසා ප්‍රකෘති කාලයෙහි දී වගේ ඒ වීථියේ ජවන් සතක් ඇති නො වී, පහක් පමණක් ඇති වෙනවා. පස්වන ජවනයට අනතුරු ව හෝ ජවනයෙන් පසු භවාංගයක් වී එයට අනතුරු ව හෝ තදාරම්මණයට අනතුරු ව හෝ තදාරම්මණයෙන් පසු භවාංග වී එයට අනතුරු ව හෝ වර්තමාන භවයාගේ අවසාන චිත්තය වන චුති චිත්තය උපදිනවා. ඊට පස්සේ කිසි කලෙක ඒ ශරීරයේ නැවත සිතක් ඇති වන්නේ නෑ. චුති චිත්තය ඇති වීම සත්ත්වයාගේ මරණය යි.


    චුතියෙන් පස්සේ ඒ ශරීරයෙන් නැවත සිත් ඇති වෙන්නේ නැති වුණත් සත්ත්වයාගේ සිත් පරම්පරාව නො සිඳී පවතිනවා. චුති චිත්තය නිරුද්ධ වෙනවාත් එක්ක ම මරණාසන්න ජවනන් විසින් ගත්තු අරමුණ ම ගනිමින් විපාක දීමට ඉදිරිපත් ව තිබුණු කර්මයේ විපාක වශයෙන් යම් කිසි තැනක දෙවන ජාතියේ පළමු වන සිත වූ ප්‍රතිසන්ධි චිත්තය පහළ වෙනවා. ඒ ප්‍රතිසන්ධි චිත්තය පහළ වීම, මළ සත්ත්වයාගේ නැවත ඉපැදීම හැටියට හඳුන්වන්න පුළුවන්. නමුත් තේරුම් ගත යුතු යි මැරෙන තැනැත්තාගේ ශරීරයෙන් කිසිවක් අනාගත භවයකට ගමන් කරන්නේ නෑ. ප්‍රතිසන්ධි චිත්තය වර්තමාන භවයෙන් දෙවැනි භවයට ගිය එකක් නො වෙයි, එහි ම අලුතින් පහළ වූ එකක්.


    මෙසේ ප්‍රතිසන්ධි චිත්තය වර්තමාන භවයෙන් අනාගත භවයට ගිය එකක් නො වුණත්, වර්තමාන භවයේ තිබුණු සිත් පරම්පරාවට ම අයිති දෙයක්. වර්තමාන භවයට අයිති සිත් පරම්පරාව නො වෙයි නම් ප්‍රතිසන්ධි චිත්තයක් ඇති වන්නේ නෑ. චුති - ප්‍රතිසන්ධි දෙක අතර දීර්ඝ කාලයක් ඇත්තෙත් නෑ. චුතියට අනතුරු ව ප්‍රතිසන්ධිය ඇති වීමට ගත වන කාලයත්, ජීවත් ව ඉන්නා කාලයේ චිත්ත විථියක එක් සිතක් නිරුද්ධ වී තව සිතක් ඇති වීමට ගත වන කාලයට ම සමාන යි. මිනිසෙකු මැරී දෙව් ලොව පිළිසිඳ ගන්නා කොට මේ ලෝකයෙන් දෙව්ලොවට ගිය කිසිවෙක් නැතත්, දෙවියාගේ ප්‍රතිසන්ධි චිත්තය, මිය ගිය මිනිසාගේ සිත් පරම්පරාවට ම අයිතිනි නිසා මිය ගිය මිනිසාත්, ඒ දෙවියාත් එක් පුද්ගලයෙකු බව වටහා ගත යුතු යි.
    චුතියට පස්සේ ප්‍රතිසන්ධි චිත්තය ඇති වීමේ ප්‍රධාන හේතුව තමයි විපාක දීමට ඉදිරිපත් ව සිටින්නා වූ අතීත කර්මය. මරණාසන්නයේ දී කර්මාදියෙන් එකක් අරමුණු කරමින් පැවැති කුශලාකුශල ජවන චිත්තයන් හා අවිද්‍යා තෘෂ්ණා දෙකත් ඒ ඒ ආකාරයෙන් ප්‍රතිසන්ධියට හේතු වන බව අවසාන වශයෙන් සිහිපත් කළ යුතු යි.


    (වැඩිදුර තොරතුරු සඳහා රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ අභිධර්ම මාර්ගය කියවන්න.)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Kurusayo yatin gema

    මම කතෝලික වුණාට මේව ගැන දැනගන්ඩ හෙන ආසයි...
    මම මේක කියවල හොඳට තේරුණ නිසයි උඹලටත් බලන්ඩ දැම්මෙ..
    නිකං ඔහේ කොපි පේස්ට් කෙරුවෙ නෑ..
     
    • Like
    Reactions: KasunKDP

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අරමුණු.JPG