මරණය_අද්දර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මරණය අද්දර




th.jpg


වෛද්‍යවරයෙකු ලෙස මරණය අද්දර ජීවත් වූ මිනිසුන් සමග ගැවසීමට මට ඉඩක් ලැබුනේය​. එය එක්තරා අන්දමකට ශෝකාතුර දෙයක් වූවද එමගින් විශාල ජිවිතාවබෝධයක් මෙන්ම ජීවිත යතාර්ථයක් පසක් කර ගැනීමට හැකි විය​.


කළුබෝවිල - දකුණු කොලඹ ශික්‍ෂණ රෝහලේ කායික වෛද්‍ය එන් .ජේ නෝනිස් මහතාගේ වාට්ටුවේ සිටි රෝගියෙකු මට මතක් වේ. ඔහුගේ අක්මාවේ ක්‍රියාකාරිත්වය ක්‍රමක් ක්‍රමයෙන් ඇණ හිටීමේ තත්වයක් තිබූ අතර ඔහු කෙරෙන් විශාදියද දක්නට තිබුනේය​. මා විසින් පරික්‍ෂා කරන විටදී මෙම රෝගියා මා අමතා "ඩොක්ටර් මට මැරෙන්න අවශ්‍යයි " කීවේය​. ඉන් සතියකට පසු ඔහු මිය ගියේය​. තමා මිය යමින් සිටින බව ඔහු දැන සිටියේය​.


මම ශල්‍ය වෛද්‍ය එස්. පී වෙල්ගම මහතාගේ වාට්ටුවේ සේවය කරන කාලයේදී උගුරේ පිළිකාවකින් පීඩා විඳි රෝගියෙකු මහ රෑ නැගිට හෙදියකගෙන් පෑනක් සහ කොලයක් ඉල්ලාගෙන තම පවුලේ උදවියට අවසන් ලිපිය ලිව්වේය​. " මම මැරෙනවා , මගේ මරණය ගැන දුක් වෙන්න එපා යන වාක්‍ය දෙක ලියා ඔහු ඇඳ මත මැරී වැටුනේය​. පසුදින උදෑසන රෝගියා බැලීමට පැමිණි ඔහුගේ දියණියට අප එම ලිපිය පෙන්වූයෙමු. ඇය හඞා වැටුණාය​.


නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය ජී. ඒ රණතුංග මහතා යටතේ සේවය කරන ලද කාලයේ වාට්ටුවේ සිටි ගැබිනි මවකගේ දිවේ පිළිකාවක් තිබුනේය​. ඇයගේ දිවෙන් අඩක් කුණුවී වැටී තිබුණු අතර මුඛයෙන් හැමූ දුර්ගන්ධය වාට්ටුව පුරා පැතිරී තිබුනේය​. වේදනාව නිසා ඇය කිව නොහැකි තරම් පීඩාවක් වින්දාය​. ඇය ජීවිතය දරා සිටියේ කුස තුල සිටි ළදරුවා වෙනුවෙනි. දරුවා ප්‍රසූත කොට සති කීපයකට පසුව පිළිකාව විසින් ඇයගේ ජීවිතය ගිල ගන්නා ලදි.


උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේදී සහ හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකක වල දිනපතා මියෙන මිනිසුන් මම දුටුවෙමි. මෙම දැඩි සත්කාර ඒකක වල දිගටම සේවය කල වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට මරණය යනු සාමාන්‍ය සංසිද්ධියක් බවට පත් වෙමින් තිබුනේය​.


යුද හමුදා රෝහලේදී අන්ත්‍රයේ පිළිකාවකින් පීඩා විඳි බ්‍රිගේඩියර් කෙම්පිටිය මහතා උපදේශන මනෝ ප්‍රතිකාර සඳහා විශේෂඥ කායික වෛද්‍ය නිමල්කා ඒකනායක මහත්මිය විසින් මා වෙත යොමු කොට තිබුනාය​. මාස අටකට වඩා අධික කාලයක් මම බ්‍රිගේඩියර් කෙම්පිටිය මහතා සමග ප්‍රතිකාරාත්මක සබැඳියාවක් පවත්වා ගත්තෙමි.


ඔහු දක්‍ෂ නිලධාරියෙකු විය​. එසේම කෙම්පියා මෝටාර් වර්ගය නිපදවනු ලැබීය​. තමන් පිලිකාවෙන් මිය යනු බව දැන සිටියද කෙම්පිටිය මහතා මරණයට බිය නොවීය​. මේ පුරුෂයාගෙන් ජීවිතය සහ ජීවිතාවසානය පිලිබඳ බොහෝ දේවල් මම උගත්තෙමි. අවසාන කාලයේදී අප වෛද්‍යවරයා - රෝගියා සහසබඳතාවයෙන් ධනාත්මක ලෙස බැඳී සිටියෙමු. පිළිකාව නිසා ඔහු තුල තිබූ අධික වේදනාව යටපත් කර ගනිමින් ඔහු මා සමග සංවාදයේ යෙදුනේය​. මගේ සමාගම ඔහුට ශාන්තියක් ගෙන දුන් බව නොයෙක් විට ඔහු කීවේය​.


2006 වසරේ මම එක්සත් ජනපදයට යන විට මම ඔහුගෙන් සමු ගත්තෙමි. " ඔබ එන විට මම ජීවතුන් අතර නොසින්නට පුලුවන් " යැයි බ්‍රිගේඩියර් කෙම්පිටිය මට කීවේය​. මසකට පසුව මම යලි එන විට ඔහු ජීවතුන් අතර සිටි මුත් ඔහුගේ තත්වය බරපතල වී සිටියේ දැඩි සත්කාර ඒකකයේ ය​. මම බ්‍රිගේඩියර් කෙම්පිටිය බැලීමට දැඩි සත්කාර ඒකකයට ගියෙමි. බෙහෙතක් විද තිබූ නිසා ඔහු නිදාගෙන සිටි අතර මම ඔහුට බාදා නොකලෙමි.


පසුදින ඔහු මිය ගියේය​. එහෙත් මම බ්‍රිගේඩියර් කෙම්පිටියගේ මරණ ගෙදර නොගියෙමි. අපගේ මාස අටක සැමරුම් සජීවීව තබා ගැනීමට මට අවශ්‍ය විය​. අද දිනයේ වූවද ඔහු මගේ සිත තුල රැඳී සිටින්නේ මෘත ශරීරයක් ලෙස නොව. සජීව මිනිසෙකු ලෙසටය.එහෙත් මෙම හමුදා නිලධාරියා පිලිබඳව සැමරුම් සටහනක් ලියා එය ඩේලි නිවුස් පුවත් පතට මම යැව්වෙමි.


මරණය අද්දර ජීවත් වන මිනිසුන් මරණය අමතක කොට ජීවත් වන අප මෙන් නොව අත්‍යන්ත ජීවිත අවබෝධයකින් යුක්තය​. ඔවුන් අපගේ ගුරුන් කොට සිතීම වරදක් නොවේ. මලවුන් මෙන් ඔවුනද අපට ජීවිතය ගැන බොහෝ දේවල් නිහඞව උගන්වති.


වෛද්‍ය රුවන් එම් ජයතුංග

https://transyl2014.blogspot.com/