මර බිය හා බහුශ්‍රැත බව

hpalpola

Well-known member
  • මර බිය හා බහුශ්‍රැත බව

    බුදු දහම තුළ මර බිය ගැන සඳහන් වන අවස්ථා කීපයකි. බහුශ්‍රැත බව ගැන සඳහන් වන අවස්ථා ද කීපයකි. මේ ගැන ප්‍රසිද්ධම ⁣කරුණ වාර්තා වන්නේ මංගල සූත්‍රයේ දී ය. එය එසේ තිබියදී දැන් අපි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ බ්‍රාහ්මණ වග්ගයේ සඳහන් ජාණුස්සෝනි සූත්‍රයට ⁣යොමු වෙමු.

    ජාණුස්සෝනි බමුණා වරක බුදුරජාණන්වහන්සේ හමු වී මෙසේ පවසයි.

    ’භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි යමෙක් මරණය ස්වභාවකොට ඇත්තේ, මරණයට බිය නොවෙයිද, තැවීමට නොපැමිණෙයිද, හෙතෙම නැත්තේයයි, මෙබඳු වාද ඇත්තෙක්මි. මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි.'

    එනම් මරණය ස්වභාව කොට ඇතත් මරණයට බිය නොවෙන තැවීමක් නොමැත අයකු නොමැති බවට වන දෘෂ්ටිය දරන බව ඔහු කියයි.

    මීට බුදුරජාණන්වහන්සේ දෙන පිළිතුරු මෙසේ යි.

    'බමුණ, මරණය ස්වභාවකොට ඇත්තේ, මරණයට බිය වෙයිද, තැවීමට පැමිණෙයිද, (එවැන්නෙක්) ඇත්තේය, බමුණ, මරණ ස්වභාව ඇත්තේ, මරණයට බිය නොවෙයිද, තැවීමට නොපැමිණෙයිද, (එවැන්නෙක්) ඇත්තේය.'

    මේ කියන්නේ මරණය ස්වභාවය කොට ඇති මරණයට බිය, තැවෙන අය මෙන්ම මරණයට බිය නැති නොතැවෙන අය ද වන බවයි. බුදුරජාණන්වහන්සේ මේ දෙපිරිස ගැන වැඩිදුරටත් විස්තර කරනු ලබයි. ප්‍රථමයෙන් විස්තර කරන්නේ මරණයට බිය, තැවෙන පුද්ගලයා ගැන ය.

    කාමයට ඇළුණු තැනැත්තකුට සැදෙන රෝගයක් නිදසුන් කරමින් බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ එවැනි රෝගයක් සෑදී මියෙන්නට සූදානම් වන තැනැත්තකුට කාම සැප අත්හැරීමට සිදුවන නිසා බියට, තැවීමට පත්වන බවයි. ශරීරයට බැඳුණු අය ද මරණයට පත්වන බව දැන ගත් විට සිරුර හැරදමා යෑමට සිදුවන බව දැන මරණයට බිය වන බවත් තැවෙන බවත් මෙහිදී පෙන්වා දී ඇත. තවදුරටත් සමහරු පින් කම්, කුසල් වැඩීම සිදු නොකළ විට මරණයට පත්වීමෙන් පසු එවැනි තැනැත්තෝ මරණයෙන් පසු දුගතියේ උපදින බව දැන මරණ බියට තැවීමට පත් වන බව ද පෙන්වා දෙයි. එසේම බුද්ධාදීන් සම්බන්ධයෙන් සැක ඇති සද්ධර්මය ගැන පිළිගැනීමක් නොමැති අය ද මරණයට පත්වන බව දැන මරණ බයට, තැවීමට පත්වන බව ද දේශනා කරනු ලබයි.

    මරණයට පත් වන අය ඔබ දැක ඇත්නම්, ඔවුන්ව හඳුනන්නේ නම් මේ කරුණු සමහර විට ඔබට දැන ගැනීමට, දැක ගැනීමට ලැබී ඇතුවාට සැක නැත. එනිසා මේ ගැන වැඩි විස්තර කථා කිරීමට අවශ්‍යතාවක් නොපවතී.

    දැන් සූත්‍රයේ ඉතිරි කොටසට යොමු වෙමු. බුදුරජාණන්වහන්සේ අනතුරුව මරණයේ දී බියක් නැති, තැවීමක් නොමැති අය ගැන ද විස්තර කරයි.

    ඒ අනුව කාමයේ නො ඇලුන අය වේ නම් මරණයේ දී කාමයන් අත්හැර යාමට බිය නොවේ. ඔවුන්ට තැවීමක් නැත. එසේම සිරුර ගැන බැඳීමක් නොමැති අය වේ නම් ඔවුන්ට සිරුර හැර යාමේ බියක් නැත. ඔවුන්ට තැවීමක් ද නැත. පව් කම් නොකළ පින් කල, කුසල් වැඩූ අය මරණයෙන් පසු එවැන්නෝ උපදින්නේ සුගතියේ බව දන්නා නිසා එවිට ද මරණය හමුවේ නොතැවෙති, බිය නොවෙති. තවද බුද්ධාදීන් කෙරෙහි, සද්ධර්මය කෙරෙහි සැක නොමැත්තෝ ද මරණයෙහි දී නොබියව නොතැවී ඊට මුහුණ දෙති.

    අද මේ වර්තමානයේ මේ පුද්ගල දෙකොටසින් දක්නට ලැබෙන බහුතරය කුමන කොටස ද යන්න සිතීම, හඳුනා ගැනීම ඔබට බාර ය. ඉන් දෙවැනි කොටස එනම් මරණයේදී බිය නොවන නොතැවෙන අයකු නම් එවැන්නකු සම්බන්ධයෙන් බහුශ්‍රැත වීම අදාළ වේ.

    අපි බහුශ්‍රැත ලෙසින් දකින්නේ හැකි තරම් දේ ගැන දන්නා තැනැත්තෙකි. පණ්ඩිතයා ලෙසින් ඔහුව හඳුන්වයි. දන්නා තරම වැඩි කරමට පඬිකම වැඩි ය. ධර්මයට කියාත් මෙහි වෙනසක් නැත. එනිසා එහෙන් බණ අසයි, මෙහෙන් බණ අසයි, අරහෙන් බණ අසයි, අර චැනලයේ බණ මේ චැනලයේ බණ නානාප්‍රකාර බණ, නානාප්‍රකාර ⁣බණපොත් පරිශීලනය කරයි. ඒ සියල්ලේම අවශ්‍යතාවය පුළුවන් තරමින් ඔළුවට බණ පුරවා ගැනීම ය.

    පෙර කී සූත්‍ර පෙලේ ම බහුස්සුත සූත්‍රය ලෙසින් ද සූත්‍රයක් වෙයි. මේ සූත්‍රයේ දී එක්තරා භික්ෂුවක් බුදුරජාණන්වහන්සේගෙන් අසන ප්‍රශ්න ගැන සඳහන් වේ. එහිදී මෙවැනි ප්‍රශ්නයක් ද අසයි.

    "වහන්ස, ‘බහුශ්‍රැතය ධර්‍මධරය, බහුශ්‍රැතය ධර්‍මධරය’ යි කියනු ලැබේ. වහන්ස, ‘කෙපමණෙකින් බහුශ්‍රැතය ධර්‍මධරය’ යි කියනු ලැබේ ද?"

    මෙයට බුදුරජාණන්වහන්සේ ලබා දෙන පිළිතුර මෙසේයි.

    "මහණ, මා විසින් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල ය යි බොහෝ දහම්හු දෙසන ලදහ. මහණ, සිවුපැදි ගාථායෙක්හි දු අරුත් දැන පෙළ දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නව වෙසේ ද, ‘බහුශ්‍රැතය, ධර්‍මධරය’ යි කියන්නට නිසි වෙයි."

    ඕන් බුදුරජාණන්වහන්සේ පැහැදිලි කරන බහුශ්‍රැත භාවය. මරණයේ දී බිය නොවීමට පමණක් නොව සතුටින් ජීවත්වීමට ද අවශ්‍ය වන්නේ මේ බහුශ්‍රැත භාවය යි. ඔබ නැත්නම් ඔබ අඳුනන අයකුගේ බහුශ්‍රැත බව පිළිබඳව සලකා බලන්න. ඒ මේ බහුශ්‍රැත භාවය ද? පුස්තකාලයක් වීම බහුශ්‍රැත භාවය ද?

    බුද්ධ ධර්මය හැම විටම මෙලොව පරලොව සතුට සඳහා ම මනුෂ්‍යාට උපකාරී වන ධර්මයකි. දර්ශනයකි. සිතා බලන්න. හැසිරෙන්න. ඔබත් මරණයෙහි දී බිය නොවන්නකු වන්න. නො තැවන්නකු වන්න. බහුශ්‍රැත වන්න. ධර්මධර වන්න.​