ශ්‍රද්ධාවෙන් යුතුව, අවදිකරගත් නුවනින් යුතුව, එකඟවූ සිතින් දෙන පුංචි දෙයකින් වුවද මහත්ඵල මහානිසංස ලැබෙන බව 'අපදාන පාලිය'ට අනුව:
මල් පූජා කිරීමේ ආනිසංස
*පදුමහිමි පදුමුත්තර බුදුන් හා මහා සංඝරත්නයට එක පියුමක් පූජා කල පිනෙන් එහි මල්පෙති ගණනට සක්විති රජව ඉපදුනේය. හත්සිය වතාවක් පෘතුවිය රාජ්‍යය කළේය. අවසානයේ නිවන් සුව ලැබීමටද එම දානය හේතුවුවේය. (බුද්ධ වග්ග 193 පිටුව)
*තිඋප්පල මාලිය හිමි විපස්සි බුදුන්ට උපුල් මල් තුනක් පුදා කල්ප 91 කට දුගතියකට නොගිය අතර තුන්සිය වතාවක් සක්දෙව් රජව ඉපදුනේය. පන්සීය වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සුව ලැබීමටද එම දානය හේතුවුවේය. (342 අපදානය)
*සත්තුප්පලමාලක තෙරණිය සිඛි බුදුන්ට මානෙල් මල් සතක් පිදු පිනෙන් හැත්තෑහත් වාරයක් දෙව්ලොවට අධිපති සක් දෙවිදුන්ගේ බිරිඳවී උපන් අතර ඒ මලේ පාට හා සුවඳ ඇයට උපන් හැම ආත්මයකදීම ලැබුණි. අවසානයේ නිවන් සුව ලැබීමටද ඇයට එම දානය හේතුවුවේය. (ථේරී අපදානය-8)
*තිකණිකාර පුප්පිය හිමි සුමේධ බුදුන්ට පැහැදුණු සිතින් කිණිහිරියා මල් තුනක් පූජා කිරීමේ පිනෙන් තුන්සිය වතාවක් සක්විති රජවූ අතර, පන්සීය වතාවක් සක්දෙව් රජකමද උපන් හැම ආත්මයකදීම පහත දැක්වෙන විපාකද ලැබුවේය.
1. මහා ධනවතෙකු විය.
2. පහත් කුලවල නොඉපිද, උසස් කුලවලම පමණක් ඉපදුනේය.
3. කැමති කැමති යාන වාහන ලැබුනේය.
4. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලැබුනේය.
5. බොහෝ අගනා වස්ත්රාභරණ වලට හිමිකම් කීවේය.
6. සැම කල්හි අන් අයගේ ගෞරවයට ලක්වුවේය.
7. උසස් කීර්තියක් ලැබුනේය.
8. සැමකල්හි බොහෝ පිරිවර ඇත්තෙක් විය.
9. ඔහු සතු පිරිස කිසිවෙකුට භේද කිරීමට නොහැකිවිය.
10.ඥාතීන් අතර ශ්‍රේෂ්ඨයෙකු විය.
11. ශීතෙන් හා උෂ්ණයෙන් පීඩා නොවුනේය.
12. කායික හා මානසික රෝගවලින් තොර වුවේය.