මහනුවර නගරය තුළ සංචාරක මඟපෙන්වන්නන්ගේ සහ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් මේ සම්බන්ධයෙන් විධිමත් නියාමන වැඩසටහනක් අත්‍යවශ්‍ය බවත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා පවසයි.
නගරයේ සිටින බලපත්‍ර නොමැති සංචාරක මඟපෙන්වන්නන්ගෙන් බහුතරය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව ද ඒ මහතා කීය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (15) පැවති වැඩසටහනකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව අනාවරණය කළේය.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ වැඩසටහනේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුදත් මාසිංහගේ මහතා මෙසේ ද පැවසුවේය.
“සංචාරකයන් ඉලක්ක කර භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන 54ක් මහනුවර නගරයේ තිබෙනවා. බහුතරයක් සංචාරක මඟපෙන්වන්නන් සංචාරකයන් රැගෙන යන්නේ මේවායින් 08ක් වෙත පමණයි. තමන්ට ලැබෙන ඉහළ කොමිස් මුදල නිසා තමයි මේ අය මේක කරන්නේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින සංචාරක මඟපෙන්වන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත්නොවන මේ අය යළි නිදහස්ව පැමිණ සුපුරුදු රැකියාවේම නිරත වෙනවා.
ඒ වගේම තමයි නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ක්‍රියාකලාපයත්. ඔවුන් අතරත් මත්ද්‍රව්‍ය භාවිත කරන අය ඉන්නවා. පෞද්ගලික ආයතන දෙකක් හා සම්බන්ධ ත්‍රිරෝද රථ රියැදුරන් මීටර් භාවිතයෙන් ඉතාමත් සාධාරණව රැකියාව කරනවා. මීටර් සවි නොකර ඉතාමත් අසාධාරණ ලෙස මුදල් අය කරමින් ත්‍රිරෝද රථ ධාවනයේ නිරතව සිටින පිරිස මේ අයට තර්ජනය කරන තරමට මේ මාෆියාව ප්‍රබලයි.
මීටර සවි කළ ත්‍රීවීලර්වල යන්න මගීන් කැමැතියි. මීටර් ටැක්සිකරුවකු නගරයේ ප්‍රසිද්ධ තැනකින් මගීන් ගත්තොත් අනෙක් අය තර්ජනය කරනවා. ත්‍රිරෝද රථ රියැදුරන්ගේත් බලපත්‍ර නොමැති සංචාරක මඟපෙන්වන්නන්ගේත් මේ නොමනා ක්‍රියා අපේ රටේ සංචාරක කර්මාන්තය කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කරනවා.”