මහනුවර නගරය ආදර්ශයට

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මහනුවර නගරය ආදර්ශයට

    මහනුවර නගරය ආදර්ශයට ගෙන
    සමස්‌ත ශ්‍රී ලාංකික ජන කොටස්‌ අතර
    මිත්‍රත්වය හා සහජීවනය ගොඩනැගිය යුතුයි

    මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ


    father.jpg
    අපේ රටට විරුද්ධව යම් යම් කුමන්ත්‍රණකාරී සිද්ධීන් ඇතිවෙන මේ අවස්‌ථාවේ අපට අවශ්‍යව ඇත්තේ රටේ ජනකොටස්‌ අතර මිත්‍රත්වය සහ සහජීවනය යෑයි අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (13) මහනුවරදී පැවසූහ.

    මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ප්‍රධාන කමිටුවක්‌ මගින් තමන් වහන්සේ වෙනුවෙන් පැවැති පිළිගැනීමේ උත්වසවයකදී අති උතුම් රංජිත් කාදිනල්තුමා එසේ පැවසූහ.

    මහනුවර නගරය ජාතීන් හා විවිධ ලබ්ධිකයන් අතර පවතින ඓතිහාසික සහජීවනය සහ සුහදත්වය නිසා මහනුවර සාමයේ නගරය බවට පත් වී තිබේ යෑයිද කාදිනල්තුමා පැවසූහ.

    මහනුවර පවතින සුහදත්වය හා සහජීවනය ව්‍යාප්ත කොට මුළු ශ්‍රී ලංකාවම සාමයේ රාජ්‍ය බවට පත්කර ගනිමුයිද එතුමෝ තවදුරටත් පැවසූහ.

    මේ රට සාමයේ රටක්‌ බවට පත්කර ගැනීමේ පණිවිඩය මහනුවරින් ලබා දෙමුයි උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

    තවදුරටත් අදහස්‌ දැක්‌වූ රංජිත් කාදිනල් පියතුමා මෙසේද කීහ. අනාගත ශ්‍රී ලංකාව පැවතිය යුත්තේ කුමන තත්ත්වයක යනු එදා මහනුවර රජවරුන් දැන සිටි බවට සාධක තිබේ. මහනුවර රජවරු සියලු ජාතීන්ට හා ආගමිකයන්ට සුහදව වාසය කිරීමට දළදා සමිඳුන් වැඩ සිටින නගරයේ ඉඩ කඩ සලසා දී තිබේ.

    තමන්ගේම ජාතිකයන් වූ ඕලන්දක්‌කාරයන්ගේ හිරිහැරයට ලක්‌ වූ ජෝසප් වාස්‌ පියතුමා මහනුවර පිහිට පතා පැමිණි අවස්‌ථාවේ මහනුවර සිංහල රජතුමා බිම් කොටසක්‌ ලබාදීමෙන් පසු දේවස්‌ථානයක්‌ පළමු වරට ඉදිකර ක්‍රිස්‌තු භක්‌තිකයන් රැක බලා ගැනීමට අවස්‌ථාව ලබාදුනි.

    එබැවින් මහනුවර බෞද්ධ ජනතාව අතර සිත් තැවුල් බිය සංකා ඇති නොවන පරිදි කටයුතු කරමින් එකිනෙකාට ගෞරව කරමින් සුහදව වාසය කිරීමේ යුතුකමද සෙසු ආගමිකයන්හට තිබේ. එසේ සාමයෙන් හා සහෝදරත්වයෙන් ජීවත්වීමේ වගකීම ඉටුකරමින් සාමකාමී අනාගත ශ්‍රී ලංකාවක්‌ ගොඩ නගමු යන පණිවුඩය අදත් මුළු රටටම මහනුවරින් ලබාදෙමු.

    බෞද්ධයන් සහ සියලු ආගමිකයන් අතර මහනුවර සාමය හා සුහදත්වය මෙකල පමණක්‌ නොව සැමදා පැවතුණු බව අපි දැන සිටිමු. අම්පිටිය දෙව්සත්හලේ ශිෂ්‍යයන් ලෙස උගෙන ගන්නා අවස්‌ථාවේ මල්වතු මහා විහාරයේ භික්‌ෂුන් වහන්සේ නමකගෙන් අපි බුදු දහම ඉගෙන ගත්තෙමු. මල්වතු මහා විහාරයේ අමුණුගම ශ්‍රී විපස්‌සි මහා නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ බෝගම්බර පැවැති ආදාහන පූජෝත්සවයට අම්පිටියේ අධ්‍යාපනය ලබමින් අපේ සහෝදරයන් සියයකට වැඩි පිරිසක්‌ පෙරහැරින් සහභාගි වූහ.

    මේ සමගිය සහ සහජීවනය අපි සදා පවත්වාගෙන යමු.

    මෙම උත්සව අවස්‌ථාව සංවිධානය කළ ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර පුරපති මහින්ද රත්වත්තේ, මහ දිසාපති ගාමිණි සෙනෙවිරත්න යන මහත්වරු සහ අතිගුරු ආචාර්ය වියානි ප්‍රනාන්දු රදගරුතුමා සහ නිලධාරින්ටද කෘතඥතාව පළකරන බව අති උතුම් කාදිනල්තුමා පැවසූහ.

    මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මධ්‍යම පළාත් වාසීන් හා සංවිධායක කමිටුව වෙනුවෙන් කාදිනල්තුමා පිළිගනිමින් මෙම අවස්‌ථාව මහනුවර ඉතා වැදගත් ඓතිහාසික අවස්‌ථාවක්‌ බව පැවසීය.

    ශ්‍රී ලාංකික අති උතුම් කාදිනල්තුමකු මහනුවරට පැමිණීමෙන් ඓතිහාසික නගරයට ගෞරවයක්‌ හිමි කර දුන් බවද ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා කීවේය.

    ඓතිහාසික පූජා නගරයක්‌ වූ මහනුවර සියලු ජාතීන් හා ආගමිකයන් ඉතා සුහදව වාසය කරන බවද ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවැසීය. ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාද අදහස්‌ දැක්‌වීය.

    පිළිගැනීමේ උත්සවය පැවැත්වුණු මහනුවර ශාන්ත අන්තෝනි දෙව්මැඳුරු භූමියට විශාල පිරිසක්‌ රැස්‌ව සිටියහ.

    ආණ්‌ඩුකාර ලේකම් ගාමිණී දසනායක මහතා සහ පළාත් සභා රාජ්‍ය නිලධාරීන් පිරිසක්‌ද සහභාගි වී සිටියහ.


    thanks divayina