මහින්ද ඔයාට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද?' මුලින්ම එසේ අසන්නේ වෙන අසන්නට දෙයක් නැති නිසාය. මේ තරම් අර්බුදයක් නිර්මාණය කරලත් මහින්ද රාජපක්ෂ යන්නේ නැත්තේ ලැජ්ජාවක් ගෑවිලාවත් නැති නිසා නොවේ නම් වෙන කුමක් නිසාද? 'මම යන්නෙ මොකටද කොල්ලො කියන්නේ 'ගෝටා ගෝ හෝම්; කියලනේ අපේ හාන්දුරුවනේ' කියලා කියන්නට මහින්දට හිතෙන්නට පුළුවන. මහින්ද එසේ නොකියාවි යැයි විශ්වාස කරන්නට බැරිය.
පසුගියදා පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ කුමාර වෙල්ගම මේ කතාවේ එක පැත්තක් කිව්වේය.
'මුළු රටම කියන්නේ ගෝටා ගෝ හෝම් කියලා. ගෝටා ගෝ හෝම් කියන එක පළමුවෙන්ම මුළු රටටම ඇහෙන්න කෑගහලා කිව්වෙ මම. අගමැතිතුමාට ඒක නැහැ කියලා කියන්න බැහැ. ගෝඨාභය රජපක්ෂ මහත්තයව ජනාධිපති අපේක්ෂකයා හැටියට යෝජනා කරනකොට පළමුවෙන්ම විරුද්ධ වුණේ මම.
මම කිව්ව දෙන්න එපා. ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් වෙලා නෑ. කවදාවත් දේශපාලනේට ගෑවිලා නෑ. ඒ නිසා දෙන්න එපා ජ්‍යෙෂ්ටත්වයට දෙන්න කියලා. මහින්ද මහත්තයා ඒක ඇහුවෙ නෑ. මහින්ද මහත්තයා පවුලේ කෙනෙක් දාන්න ඕනි නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට දුන්නා. මහින්ද මහත්තයා වැරදි තීරණයක් ගත්ත නිසා අද මුළු රටම ගිනි ගන්නවා.
මෙතන (පාර්ලිමේන්තුව) ඉන්නවා එදා හිටපු කට්ටිය.එදා මම ඒක කියද්දිත් තමුන්නාන්සේලා විරුද්ධ වුණා. එදා මහින්ද සුළඟ ගේන වෙලාවේ මෛත්‍රී මහත්තයා ශ්‍රී ලංකා අයට නීතියක් දැම්මා ඒ වේදිකාවට නගින්න එපා එකියලා. ඒත් අපි බය නැතුව නැග්ගා. අපි හිතුව මහන්ද මහත්තයා පවුලේ අයව සම්බන්ධ කරගන්නේ නැතිවෙයි කියලා.
ඒත් මහින්ද මහත්තයා පවුලේ අයව සම්බන්ධකරගත්තා. ඒ නිසා මේකට වග කියන්න ඕනි වෙන කවුරුවත් නෙවෙයි. මම පැහැදිලිවම කියනවා මේකට වගකියන්න ඕනි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා. 2005 ඉදලා 2010 වෙනකම් මහින්ද මහත්තයා මේ රටට විශාල සේවයක් කළා. එතුමා තමයි රට බේරලා දුන්නේ. නමුත් 2010 න් පස්සේ මේ රටේ මිනිස්සු එතුමාව රජ කෙරෙව්ව.' වෙල්ගමගේ මේ කතාව සම්පූර්ණ ඇත්තය.
ඒ එක්පැත්තකි. මේ ආර්ථික අර්බුදය නිර්මාණය කරන්නේ මහින්ද රාජපක්ෂය. මේ ආර්ථික බුබුල පිපිරී යනවා යැයි බොහෝ දෙනා දැන සිටියහ. එහෙත් එය 2025 න් පසුව බොහෝ විට 2030 දී පුපුරා යනු ඇතැයි ආර්ථික විශේෂඥයන්ගේ මතය විය. එහෙත් ගෝලීය වසංගතය අර්බුදය ඉක්මන් කළේය. ආර්ථික විශේශඥයන් ආර්ථික බුබුල පිපිරෙනවා යැයි කියන්නට ගත්තේ යුද්ධයෙන් පසුව රට ගොඩගන්නට ලැබුණු අවස්ථාව මහින්ද විසින් මඟහැර නිශ්ප්‍රයෝජන බොහෝ දේ වෙත යොමු කිරීම නිසාය.
එහි ප්‍රතිඵලය වූයේ 2015 දී මහින්ද ගෙදර යෑමයි. මේ රටේ මිනිස්සු මහින්දව 2015 දී ගෙදර යවන විට මහින්ද යුද්ධය දිනා වසර 6 ක් පිරුණා පමණි. ඒ වසර 06 තුළ මහින්ද තමන්ව එපාවන තැනට මේ රටේ මිනිස්සුන්ට ගේමක් දුන්නේය. උතුරේ උන් මහින්ද මහත්තයාව පැරැද්දුවා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් උතුරේ ඡන්ද සමග එක්ව මහින්දව පරද්දන්නට තරම් ඡන්ද ගොඩක් දකුණේ එකතු විය.
එදා මහින්ද යන්නේ නාමල් රාජපක්ෂගේ සිට පවුලේ සියලුම දෙනා කළ පව් හේතුවෙනි. ඒ පව් එසේ මෙසේ පව් නොවන බව දැන් තහවුරු වෙයි. අප මේ ගෙවන්නේ ඒ පව්ය. උදේ හවස පේන නෙළුම් කුළුනේ සිට ජාතියක් වශයෙන් ගෙවන්නට වන පව් බොහෝය. ඒ වසර 5 තුළ සාපේක්ෂව අඩුවෙන් පව් කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂයි. ඒ පව් හමාර කරන්නට ආ රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව මහින්දවත් මහින්දගේ පවුලේ සියලුම දෙනාත් හිර කරන්නේත් නැතිව නිදහස් කරන්නේත් නැතුව අමුතුම ගේමක් ගැසීය.
ඒ ගේම් එකෙන් බය වුණේ වෙන කවුරුත් නොවේ. රජයේ සේවකයන්ය. යපාලනය රාජ්‍ය නිලධාරීන්ගේ තීරණ ගැනීමේ හැකියාව බින්දුවටම බැස්සුවේය. 'ඕක කරන්න එපා ඔඩිට් එකට යන්න වෙයි, ජනාධිපති කොමිසමට යන්න වෙයි' කියමින් බව හිතෙන කතා කියන්නට රජයේ සේවකයා පත්කළේ යහපාලනයයි. අන්තිමට මහ බැංකුවත් කඩා ඒ සියලු දෙනා පැත්තකට වෙද්දී මැදමුලනේ ජනේලය අතහැර යළිත් අරලියගහ මන්දිරයට ආ මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව හොරුන්ට කළ දෙයක් නැත.
2015 දී මැදමුලනේ ජනේලයේ එල්ලී ජාතිය ඇමතූ මහින්ද බලන්නට මිනිස්සු බස් පිටින් යන්න ගත්තේ මහින්දට විරුද්ධව ඡන්දය දුන් මිනිස්සුන්ගේ සිත්ද සසල කරමිනි. වීරයෙකුට කොනිත්තන්නට අවශ්‍ය වුවත් රිද්දන්නට අවශ්‍ය නොවූයේයැයි සමහරු කිව්වේ මේ නිසාය. විමල්ලා, ගම්මන්පිලලා, ප්‍රසන්නලා මේ අතරේ මහින්දව යළිත් කරළියට ගෙන එන්නට උත්සාහ කරන්නේ තමන්ගේ වාසියට යැයි බොහෝ දෙනා කියන්නට වුවද එය තමන්ගේ වාසියට වඩා මහින්දට වූ හානිය අවම කිරීමේ ව්‍යාපාරයක් විය.
මහින්ද බොහෝ අමාරුවෙන් විමල්ලාට කැමති වෙද්දී මහින්ද සමග යළිත් පණ ලැබුවේ පවුලයි. ඒ හැරෙන්නට තමන් කරපු වැරදි ගැන අවබෝධයක් මහින්දට තිබුණේ නැත. මහින්දගේ ප්‍රධාන වැරදි දෙකකි. එකක් පවුලට ආවැඩීමයි. දෙවැන්න හොරෙක් වුණත් තමන්ට හිතවත් නම් ආරක්ෂා කිරීමයි. මහින්ද තමන්ගේ මල්ලී ගෙනාවේ කෙසේදැයි වෙල්ගම පැහැදිලි කර දුන්නේය. එයින් පසුව පරණ හොරු රකින්නට පටන් ගත්තේය.
අයියාට වැඳ ආශිර්වාද ගත් විට 'අනේ එහෙම සහෝදරයෙක්' කියූ බොහෝ දෙනාට යථාර්ථය තේරුණේ එතැනින් නොනැවතී අයියලා සහ මල්ලී කියන දේම කරන්නට ගෝඨා පටන්ගත් තැන සිටය. දේශපාලනය නොදන්නා නිසාම අයියාගෙන් අහලා කියන්නම් කියන තැනට වැටුණු ගෝඨා වරින්වර තනිව නැගිටින්නට හැදුවද අයියාගේ හිතවතුන් ඊට ඉඩ දුන්නේ නැත. අන්තිමට කෝවිඩ් ඇවිත් ,ඩොලර් නැතිවී, කන්න නැති වී ගිය ජනතාව පාරට බහින්නේ Gotagohome කියා මිස මහින්ද ගෝ හෝම් කියා නොවේ.
මේ විරෝධය ගේඨාට ආවද එහි නිර්මාතෘ මහින්ද රජපක්ෂයි. පවුලක් රැක ගැනීමට, තමන්ගේ පුත්‍රයාට දේශපාලන බලයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කල්මැරීම කිරීමට තමන්ගේ සහෝදරයාව ජනාධිපති කළ මහින්ද ජ්‍යේෂඨයෙකු සේ පැත්තකට වෙන්නේ නැතිව මුදල් ඇමතිකමේ සිට තවත් ආයතන රාශියක් අත්කර ගත්තේය.
මහින්ද මුදල් ඇමති සමයේ සිදු වූ සීනි බදු අඩු කිරීම අප දන්නා එක් සිදුවීමකි. සීනි බදු අඩු කිරීම නිසා දැවැන්ත මූල්‍ය පාඩුවක් රටට සිදු වූ බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. ඒ එකක් පමණි. තවත් ගේම් ඕනෑම තරම් තිබෙන්නට ඉඩ තිබේ. 2010 සිට රට ආපස්සසටම හැරවූ මහින්ද මේ වගේ වේලාවකත් යළිත් 'තමන් ගැන විශ්වාස කරන්න' යැයි කියමින් ආණ්ඩුවේ අගමැති වෙන්නේ කොහොමදැයි කෙනෙකුට හිතෙන්නට පුළුවන.
ඊයේ (අප්‍රේල් 11දා) රාත්‍රියේ අගමැති ජාතිය අමතනවා යැයි කියූ විට බොහෝ දෙනා සිතුවේ මහින්ද ඉල්ලා අස්වෙන්නට යනවා කියාය. එහෙත් වුණේ වෙනම එකකි. ආයෙත් තමන්ව විශ්වාස කරන්න යැයි මහින්ද කියන්නේ කටින් නම් වෙන්න බැරිය. ලැජ්ජාවක් නැති මිනිසෙකුට එසේ කරන්නට හැකිය. ලැජ්ජාවක් ගෑවිලාවත් නැත්නම් 'මල්ලීව එළවන්න මම ජනාධිපති වෙන්නම්' යැයි කියන්නටත් හැකිය.
ඊයේ (අප්‍රේල් 11දා) රට හමුවේ කළ කතාවෙන් මහින්ද උත්සාහ කරන්නේ මේ අවස්ථාවේ දී ඉතාම සාමකාමීව අරගල කරන තරුණයන්ට, තරුණියන්ට වක්‍රාකාරයෙන් චෝදනා කරන්නටය. පොලීසියත්, හමුදාවත් අතර නිසි සන්නිවේදනයක් නොමැතිවීම හේතුවෙන් සිදුවූ එකම සිදුවීමක්, ඉතාම සුළු සිදුවීමක් ගෙන එය තරුණයන් විසින් හමුදාවට චෝදනා එල්ල කිරීමක් ලෙස කියන්නේ මහින්දගේ නොදැනුවත් බව නිසාම නොවේ.
අසූුව දශකයේ අගභාගයේ භීෂණය මතක් කරන්නේ නිකම්ම නොවේ යැයි ද සැක සිතේ. මේ ශිෂ්ට අරගලයට ප්‍රචණ්ඩත්වයක් ගෑවීමට අවශ්‍යතාවයක් තිබේදැයි සැකයක් උපදියි. එසේම මෙම අරගලයේ අතිරේක සටන් පාඨයක් වන 225ම එපා යැයි යන්න සංකේතාත්මකව වර්තමාන දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම මිස පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් එපා කීමක් නොවේ යැයි සිතන්නට තරම් මහින්ද තරුණ නැත.
මහින්ද බිල්ලෙක්කු මවන්නට හැදුවාට බිල්ලාට රැවටෙන්නට තරම් වර්තමාන තාරුණ්‍යය මහලු නැත. මේ තරුණ්‍යය අසූව දශකයේ අගභාගයේ දී සිටි තරුණයන්ට වඩා බොහෝ වෙනස් බව අප්පච්චි දැන ගත යුතුය. පරණ තැටි වයන්නට පෙර අවට බැලිය යුතුය. මේ තරුණයන් ඊයේ රාත්‍රියේ අතට ගත්තේ අවි නොවේ, ගිටාර්ය.
මහින්ද සුළඟින් මහින්දව රැගෙන ආ විමල්ලා, උදයලා බැසිල් කුණාටුවට හසුවෙද්දී මහින්ද මීක් නොකියා සිටියේය. ඒ පවුලේ කමටය. විමල්ලා මහින්ද ගේ හරිම පාට දැන ගත්තේ එදාය. විමල්ලා හිතුවේ අයියා මල්ලීගේ පැත්ත ගන්නේ නැතිව ඉඳියි කියාය. එහෙත් මහින්ද ගත්තේ මල්ලිලාගේ පැත්තය. අද විමල්ලා ඉල්ලන්නේ මහින්ද අගමැති නොවන ආණ්ඩුවකි. මේක දෛවයේ කොළොප්පමකි.
