මහ සෑයේ කොත් කැරැල්ලට මුලින්ම රන් ආලේප කළ&#354

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,558
    113
    dxb
    මහ සෑයේ කොත් කැරැල්ලට මුලින්ම රන් ආලේප කළ&#354

    මහ සෑයේ කොත් කැරැල්ලට මුලින්ම රන් ආලේප කළේ වසර 1800කට කලින්

    image_9e819df0f6.jpg


    බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේ නිදන් කර ඇතැයි ඉතිහාසයේ සඳහන් වන ස්වර්ණමාලි මහා ස්තූපය වනාහි දෙස් විදෙස් බෞද්ධයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ මෙරට ප්‍රමුඛතම බෞද්ධ ස්තූප ස්මාරකය ලෙස හැඳින්වීම සුදුසුය. පසුගිය දිනවල රුවන්වැලි මහා සෑය පිළිබඳව බෞද්ධ හදවත් තුළ යම් ප්‍රශ්නකාරී ස්වභාවයක් ඇතිවුණි. එයට හේතුව වූයේ රුවන්වැලි මහා සෑයේ කොත් කැරැල්ලේ රන් ආලේප කිරීම උදෙසා එම මළුවේ යකඩ බට යොදා දැවැන්ත පලංචියක් ඉදිකිරීමයි.
    ඒ අනුව එමගින් සෑයට හානියක් වී ද හෝ වේ ද යන්න පිළිබඳවයි. එසේම පෞද්ගලික සංවිධානයක් මැදිහත් වී කොත් කැරැල්ලේ රන් ආලේප කිරීම පිළිබඳව ඇතැම් පිරිස් දැඩි විවේචන ද එල්ල කර තිබුණි. මෙම රන් ආලේප කිරීමේ කාර්යය පිළිබඳව විවිධ සංවිධාන මගින් විවේචනය කරද්දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රමුඛ වගකිව යුතු නිලධාරීන් හා ස්වාමීන් වහන්සේලා මෙහි වැදගත්කම හා ක්‍රමවේදයේ නිවැරැදිතාවය පිළිබඳව වරින්වර පැහැදිලි කිරීම් කරන ලදී. පසුගිය දින එහි චූඩා මාණික්‍යය ද තැන්පත් කරන ලදී. රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ කොත් කැරැල්ලේ රන් ආලේප කිරීම ආරම්භ වී ඇත්තේ මීට වසර 1800කට පමණ පෙර සිට බවය. මේ ඒ පිළිබඳව ගෙන එන සටහනකි.

    බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් ශුද්ධ වූ රුවැන්වැලි සෑය සහිත භූමිය මිහිඳු මා හිමියන් දේවානම්පියතිස්ස රජු සමඟ මහමෙවුනා උයනේ ගමන් කරද්දී මල් විසිර වූ විට කම්පිත වූ ස්ථානයක් ලෙස සැලකේ. අනාගතයේ මේ සිරිලක රජවන දුටුගැමුණු නම් රජතුමකු මෙම ස්ථානයේ චෛත්‍යයක් කරන බව සටහන් ටැම් ලිපියක් දේවානම්පියතිස්ස රජු විසින් මෙහි සිටුවා තබා ඇත. පසු කලෙක රජ වූ දුටුගැමුණු රජු එම ටැඹ දැක මෙහි මහා ස්තූපයක් කරනා ලද බව මහාවංශයේ සඳහන් වේ. එම ස්තම්භය යැයි සැලකෙන ටැඹක් වර්තමානයේ සෑයට උතුරු දෙසින් පිහිටුවා තිබේ. රුවන්වැලි සෑයේ ඉදිකිරීම් පිළිබඳව ඉතා දීර්ඝතම හා සිත්ගන්නා විස්තරයක් මහාංවශයේ ඇතුළත් වී ඇත. චෛත්‍යය ඉදිකිරීම් අවසන් කිරීමට ප්‍රථමව දුටුගැමුණු රජු මිය ගිය බැවින් එහි කටයුතු අවසන් කිරීමට සිදුවූයේ ඔහුගේ සොයුරු සද්ධාතිස්ස රජුටය. ඔහු ස්තූපය වටා ඇත් පවුරක් ද කරවා ඇත.
    රුවන්වැලි මහා සෑය මුදුනත වර්තමානයේ පවතින්නේ කොත් කැරැල්ලක් වුව ද එහි මුදුනත මුල් කාලයේ පැවැත ඇත්තේ ඡත්‍රයකි. ඡත්‍රය වනාහි මෙරට පුරාණ ස්තූපයන්ගේ උපරිභාගයේ යොදා තිබූ අංගයකි. මෙරට ස්තූපයන්ගේ ඡත්‍ර භාවිතයේ ඉතිහාසය සොයාබලන විට ලක්දිව ඡත්‍රයක් ස්තූපයට එක්කළ පළමු අවස්ථාව දුටුගැමුණු රාජ්‍ය කාලයට (ක්‍රි.පූ. 161-137) අයත්වන බව සනාථ වේ. සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137-119) රුවන්වැලි සෑයේ උපරිභාගය නිමකිරීමේ දී දැවමය ඡත්‍රයක් ස්තූපයට එක් කළ බව මහාවංශය පෙන්වා දෙයි. මෙහිදී අවධාරණය කළ යුතු ප්‍රධාන කරුණක් නම් මේ වනවිටත් ස්තූප සඳහා ඡත්‍ර යෙදූ බවයි. නමුත් මෙරට ඉදිකළ පළමු ස්තූපය ලෙස ගැණෙන ථූපාරාමය ඉදිකිරීමේ දී ඡත්‍ර යෙදූ බවක් වංශ කතාවල සඳහන් කර නොමැත. පුරාවිද්‍යා සාධක මත මුල් යුගයේ සිට ඡත්‍ර භාවිත කළ බව ස්තූප තුළ නිධන් කළ ධාතු කරඬු අධ්‍යයනයෙන් ද වටහා ගත හැක.
    රුවන්වැලි සෑයේ පූජාවන් වඩා විධිමත්ව පැවැත් වූ භාතිකාභය රජු (ක්‍රි.පූ. 22-7) ස්තූපයේ පාමුල සිට මුදුන් ඡත්‍රය දක්වා නොයෙක් ආකාරයෙන් සරසන ලද බව මහාවංශය අවධාරණය කරයි. ආමණ්ඩගාමිණී රජු (ක්‍රි.ව. 19-29) මහා සෑයේ ඡත්‍රය මතුයෙහි තවත් ඡත්‍රයක් කරවා ඇත. එසේම ථූපාරාමයේ ද එලෙසම ඡත්‍ර නංවා තිබේ. ඉළනාග රාජ්‍ය සමයේ (ක්‍රි.ව. 33-43) වෙස්සගිරියේ පිහිටා තිබූ ෆපිටනික නම් චෛත්‍යයේ ඡත්‍ර නැංවීමක් පිළිබඳව සඳහන්ව ඇත. වසභගේ ඇමැතියකු විසින් ද ස්තූපයක ඡත්‍ර නැංවීමක් සිදුකර ඇත.


    කණිට්ඨතිස්ස රජුගේ (ක්‍රි.ව. 167-186) සිතුල්පව්ව හා ඔච්චප්පුකල්ලු ශිලා ලේඛනවලට අනුව ඔහු ඡත්‍ර කර්මාන්තයට දායක වී ඇත. පළමුවන සිරිනාග රජු (ක්‍රි.ව. 189-209) මහාථූපයේ ඡත්‍ර නංවා ඒවායේ රන් ආලේප කර ඇත. වෝහාරිකතිස්ස රජු (ක්‍රි.ව. 209-231) ස්තූප අටක ඡත්‍ර කරවා ඇත. එසේම ඔහු අභයගිරි දාගැබේ ද ඡත්‍ර නැංවූ බව දීපවංශය පෙන්වා දෙයි. සංඝතිස්ස රජු ද (ක්‍රි.ව. 243-247) මහා ථූපය මත ඡත්‍ර පිහිටුවා තිබේ. ධාතුසේන රජු (ක්‍රි.ව. 455-473) මහාථූප තුනෙහි දිරා ගිය ඡත්‍ර අලුත්වැඩියා කර ඇත.
    පළමු අග්ගබෝධි රජු (ක්‍රි.ව. 571-604) තුන් නිකායේ ස්තූපවල රනින් ඡත්‍ර කර ඇත. එසේම සුළු අග්බෝ රජු ද (ක්‍රි.ව. 604-614) ආමල නම් ස්තූපයේ ඡත්‍රයක් කරවා ඇත. දාඨෝපතිස්ස රාජ්‍ය කාලය වනවිට (ක්‍රි.ව. 639-650) රන්වලින් හා වටිනා මැණික්වලින් මහාථූපයේ ඡත්‍රය අලංකාරව පැවැතී ඇත.


    image_e05a55a7a5.jpg

    image_25e811a2ca.jpg



    ක්‍රි.පු. 2 වන සියවසේ සිට ක්‍රි.ව. 7 වන සියවස දක්වාම ඡත්‍රය ස්තූප සඳහා යොදාගත් බව වංශ කතා සාධක අනුව පැහැදිලි වේ. එසේම පුරාවිද්‍යාත්මක සාධක මත ද ඉහත නිගමනය නිවැරැදි බව වටහාගත හැක.

    ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා සාහිත්‍ය හා පුරාවිද්‍යා මූලාශ්‍ර උපයෝගී කරගනිමින් ස්තූපයේ ඡත්‍ර භාවිතයේ විකාශනය පිළිබඳ අවස්ථා තුනක් යටතේ පෙළ ගස්වා ඇත. විශේෂයෙන් ම ස්තූප කැණීම්වලදී හමුවූ ධාතු කරඬු මෙන්ම ස්තූප සටහන් අනුව එකී කාල රාමුවට යොමුවී තිබේ. ධාතු කරඬු ඒවා තැන්පත් කළ කාලවල පැවැති ස්තූප ආකෘතියට සමාන වීම හා පසුකාලීන ප්‍රතිසංස්කරණවලට ලක් නොවීම යන නිගමනය මත මෙම ඉදිරිපත් කිරීම සිදුකර ඇත.

    1. එක් ඡත්‍රයක් පමණක් යෙදීම: ක්‍රි.පූ. 3 - ක්‍රි.ව. 1-2 මිහින්තලය/ දැලිවල/ සමන්ගල
    2. ඡත්‍රයක් මත ඡත්‍රයක් යෙදීම: ක්‍රි.ව. 2 - ක්‍රි.ව. 3 කහඳගල
    3. ඡත්‍රාවලියක් යෙදීම: ක්‍රි.ව. 2 පසු කොටියාගල/ රුවන්වැලි සෑය


    මුල් කාලීනව දැවයෙන් මෙන්ම පසු කාලීනව ලෝහ හා ශිලා භාවිතයෙන් ඡත්‍ර නිමවා තිබේ. යම් විටෙක මුල් සමයේ දැවයෙන් ඡත්‍ර නිමකළේ ද නිතර නිතර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය වූ බැවින් පසුකාලීනව ලෝහයෙන් මෙන්ම පාෂාණයෙන් ඡත්‍ර නිමකරන්නට ඇත. වර්තමානයේ පුරාවිද්‍යා පරිශ්‍රයන්වල හමුවන සියලුම ඡත්‍ර ශිලාමය ඡත්‍රයන් වේ.
    අගනුවර අනුරාධපුරයෙන් පොළොන්නරුවට සංක්‍රමණය වීමත් සමඟ රුවන්වැලි සෑය ප්‍රමුඛ සියලුම අනුරාධපුර උරුමයන් නටබුන් වී යන ලදී. 1830 දී ටෙනන්ට් මහා ස්තූපය නිරීක්ෂණය කර විස්තරයක් සපයා ඇත. ඒ අනුව එකල ගරාවැටී තිබූ මෙම ස්තූපයේ උස අඩි 189ක් වී තිබේ. ඒ පිළිබඳව සඳහන් කරන ටෙනන්ට් 1850 දී තම කෘතිය ප්‍රකාශයට පත්කරනවිට එය තවදුරටත් සේදී යාම නිසා එහි උස අඩි 150ක් දක්වා අඩු වී ඇති බව පවසයි. මෙම තොරතුරු මගින් එකල රුවන්වැලි මහා සෑය ඉතා වේගයෙන් ජරාවාස වෙමින් පැවැති බව සහ ඒ වනවිට ද කොත් කැරැල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ බවය.


    1886 දී හෙන්රි පාකර් ද මහා ස්තූපය පිළිබඳව වාර්තා කර ඇත. ඒ අනුව මෙම මහා ස්තූපය නැවත ප්‍රතිසංස්කරණය කිරීම ඇරැඹූයේ 1870 දශකයේදී වේ. ඒ නාරංවිට සුමනසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වූ රුවන්වැලි සෑ චෛත්‍යය ප්‍රතිසංස්කරණ සමිතිය මගිනි. එම ප්‍රතිසංස්කරණ අවසන් කර 1940 පොසොන් පොහෝ දින කොත් පළඳවා විවෘත කරවා ඇත. එහිදී සවිකරන ලද රන් ආලේපිත කොත් වහන්සේ අඩි 24ක් උස වන අතර එම කොත්වහන්සේ මුදුනත සවි කරන ලද අඩියක් උසැති පළිඟු මැණික බුරුමයෙන් පරිත්‍යාග කර තිබේ. ඒ අනුව රුවන්වැලි මහා ස්තූපයේ වර්තමාන උස අඩි 338ක් හා විශ්කම්භය අඩි 370ක් වේ.

    image_51d794ed62.jpg



    දීර්ඝ කාලයක් තිස්සේ ජරාවාසව පැවැති රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වූයේ 1872 වර්ෂයේදී වේ. මෙම ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇත්තේ ඕවිල්ලේ කුමාරිහාමි නැතහොත් බුලන්කුලමේ කුමාරිහාමි විසින් සපයා දෙන ලද කම්කරුවන් සහ ආධාර මුදල්වලින් බව ලේඛනයකින් සනාථ වී ඇත. මෙම මහා ප්‍රතිසංස්කරණවලට පෙර නාරංවිට සුමනසාර හිමියන් 1853 දී මහි පින්කමක් සිදුකර පිත්තලවලින් කරන ලද කොතක් රුවන්වැලි සෑ මුදුනේ සවිකර ඇත.

    1940 නව කොත පළඳනතුරු සෑය මුදුනේ පැවැත ඇත්තේ මෙම පිත්තල කොතයි. ප්‍රතිසංස්කරණ අවසන් කිරීමෙන් පසුව චෛත්‍යය විවෘත කිරීමේ වෛජයන්ති මංගල්‍යය 1940 ජුනි මස 15 වැනි දින අරඹා තිබේ. සිළුමිණ සවිකිරීමේ කටයුතු ජුනි 17 දින උදෑසන 8.50ට යෙදුණු සුබ නැකතින් සිදුකර ඇත. චූඩාමාණික්‍යය විවෘත කිරීම ජුනි 19 පොසොන් පොහෝ දින සිදුකර ඇති අතර එදිනම සවස 4ට පමණ ඩී.බී. ජයතිලක, ඩී.එස්. සේනානයක, ඩබ්.ඒ. සිල්වා ප්‍රමුඛ බෞද්ධ නායකයන් පිරිසක් විසින් කොත් වහන්සේ විවෘත කර තිබේ.
    රුවන්වැලි මහා සෑය වෙනුවෙන් රජ දවස සිදුකරන ලද පූජා හා ප්‍රතිසංස්කරණ පිළිබඳව විමසා බැලීමේදී කොත් කැරැල්ල වෙනුවට එකල පැවැති ඡත්‍රයේ රන් ආලේප කිරීම පිළිබඳව ද සාධක ලැබේ. සිරිනාග රජතුමා (ක්‍රි.ව. 189-209) ඡත්‍රයක් නැවත සාදවා වර්තමානයේ කොත් කැරැල්ලේ රත්තරන් අලේප කරන්නාක් මෙන් එම ඡත්‍රයේ රත්තරන් ආලේප කර තිබේ. එසේම සංඝතිස්ස රජතුමා (ක්‍රි.ව. 243-247) සහ ධාතුසේන රජු ද (ක්‍රි.ව. 455-473) ඡත්‍රය ප්‍රතිසංස්කරණය කර ඒවාහි රත්තරන් ආලේප කර තිබේ. එහිදී සංඝතිස්ස රජු ඡත්‍රය මත පළිඟු මුද්දක් සවිකර චූඩා මාණික්‍යයේ සතර දිශාවේ විශාල මාණික්‍ය සතරක් ද සවිකර තිබේ. දාඨෝපතිස්ස රාජ්‍ය කාලය වනවිට (ක්‍රි.ව. 639-650) රන්වලින් හා වටිනා මැණික්වලින් මහාථූපයේ ඡත්‍රය අලංකාරව පැවැතී ඇත. එනම් ඡත්‍රයන්හි රන් ආලේප කර තිබී ඇත. ඒ අනුව පෙනී යන්නේ රන් අලේප කිරීමේ ප්‍රතිසංස්කරණය වනාහි ප්‍රථම වතාවට මෑත කාලයේ ආරම්භ කරන ලද ක්‍රමවේදයක් නොවන බවය. දීර්ඝ කාලයක් තිස්සේ පැවැත එන සම්ප්‍රදායක් බවය.



    කේ. උදේනි අරුණසිරි
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
    රත්නපුර.
     

    atom34

    Active member
  • Sep 24, 2018
    126
    118
    43
    Colombo
    :confused:
    පොඩ්ඩක් "ඡත්‍රය " කියන එක පැහැදිලි කරපංකෝ..
    In detail..:yes::yes: