මුනිවරු v. අපි
මුනිවත නිහඬතාවය ලෙසින් අපි හඳුන්වන්නෙමු. එක් අතකට එහි වරදක් නැත. මුනිවරු නිහඬතාවය අගය කරති. ත්‍රිපිටකයේ සූත්‍ර කීපයකදී ම මුනිවරු ගැන විස්තර කරයි. මුනි යන වචනය ත්‍රිපිටකයේ දී බුදුරජාණන්වහන්සේ ට මෙන්ම රහතන්වහන්සේ වෙනුවෙන් ද භාවිතා කර ඇත. කෙසේවෙතත් මුනි පාඨය බුදු දහමේදී පමණක් නොව බ්‍රාහ්මණ දහමේ දී භාවිතා වී තිබේ.
සුත්ත නිපාතයේ මුනි සූත්‍රයේදී මුනිවරු ගැන සඳහන්ව තිබේ. බුදුරජාණන්වහන්සේ සහ රහතන්වහන්සේ එහි දී මුනි ලෙසින් හැඳින්වේ.
"තෘෂ්ණා දෘෂ්ටි ආශ්රයෙන් කෙලෙස් බිය උපන්නේය. රූපාදිය අරමුණු කොට ගෙන රාග, ද්වෙෂ, මොහ, කෙලෙස් ධූලි උපදනේය. කෙලෙස් වසන රූපාදිය නැති, ආශ්‍රය නැති මේ නිර්වාණය බුද්ධ මුනිහු විසින් දක්නා ලදී. විෂ්මයකි."
මේ බුදුරජාණන්වහන්සේ ගැන මුනි සූත්‍රයේ දැක්වෙන ගාථාවකි. පහතින් තවත් ගාථාවකි.
"යම් කෙනෙකු කෙරෙහි අන්‍යයෝ ගුණයක් හෝ කී කල්හි නාන තොට පිහිටි කණුවක් මෙන් එකම ගුණයෙන් යුක්තවේද, ඒ පහවූ ඇලුම් ඇති මනාකොට සන්සිඳුන ඉඳුරන් ඇති ඔහු වනාහි ඤාණවන්තයෝ බුද්ධ මුනියයි දනිත්."
පෘථග්ජනයාට හොඳ කියනා විට ඉබේම මාන්නය ඇති වේ. ඉපැලීම ඇති වේ. එයින් සතුට ඇති වේ. මේ හොඳ කියනා මිනිසුන් ම දිනක නින්දා කරනා බව අමතක වෙයි. නින්දා, ප්‍රශංසා ස්වභාවිකව ඇති වෙන දේ නොවේ. සත්වයා විසින් උපදවන දේ ය. අප උපදවන්නේ යමක් ද එය නින්දාව වේවා ප්‍රශංසාව වේවා ත්රිලක්ෂණයෙන් යුතු වේ. එය හඳුනාගැනීම පෘථග්ජනයාට අසීරු කරුණකි. මෙනිසා නින්දා ප්‍රශංසා අවස්ථාවලදී ඉන්ද්‍රියන් හැසිරෙන අයුරු පෘථග්ජනයාට නොවැටහේ. ඉන්ද්‍රියන් සන්සිඳවීම අපහසු එහෙයිනි.
"ඤාණයෙන් යුත් සීල සංවරයෙන් හික්මුන සිත් ඇති යම් බාලයෙක් හෝ මධ්‍යම වයස සිටියෙක් හෝ අන්තිම වයස සිටියෙක් හෝ පව් නොකරයිද, එබඳු ක්ෂීණාශ්රවතෙම අනුන්ට දොස් නොපවරන්නේ වෙයි. කිසිවෙකුට හෙතෙම ක්‍රොධ නොකරන්නේය. ඤාණවන්තයෝ ඒ ක්ෂීණාශ්රවයා මුනියයි දනිති.
අනුන් විසින් දෙන ලද්දෙන් ජීවත්වන යම් මහණෙක් භාජනයෙහි මුල් කොටසින් ගෙනදෙන හෝ මධ්‍යම කොටසින් ගෙනදෙන හෝ යට කොටසින් ගෙනදෙන හෝ යම් පිණ්ඩයක් ලැබේද, ස්තුති කරන්නට නුසුදුසුය. අප්‍රිය වදන් කීමටත් නුසුදුසුය. නුවණැත්තෝ ඒ ක්ෂීණාශ්රවයාටද මුනියයි කියති."
උක්ත ගාථා දෙක ක්ෂීණාශ්රව, රහතන්වහන්සේට අදාළව යෙදෙයි. රහතන්වහන්සේගේ ස්වභාවයකි ක්‍රෝධ නොකිරීම. කවරෙකුට හෝ දොස් පැවරීම සඳහා ද්වේශී සිතක් පිහිටුවා ගැනීම අවශ්‍ය වේ. මදුරුවකු දෂ්ට කල විට නැත්නම් උකුණකු කෑ විට බුර බුරා නගින ද්වේශය පෘථග්ජනයා නැති කරගන්නේ කෙසේ ද? ඉවසීම වැඩීමෙනි. මෛත්‍රිය වැඩීමෙනි. පෘථග්ජනයාට ඉවසීමට සීමා ඇත. රතු ඉරි ඇත. රහතන්වහන්සේට එවැනි සීමා කොහේ ද?
මුනි සූත්‍රයේ දී මුණිවරයාගේ සහ ගිහියාගේ වෙනස පැහැදිලි කර ඇත්තේ මෙලෙසිනි.
"දෙදෙනම ඈත්වූ වාසස්ථාන හා ජීවත්වීම් ඇත්තාහ. ගිහිවූ වැදි කමින් අඹුදරුවන් රකින්නාද යහපත් පැවතුම් ඇති ක්ෂීණාශ්රවතෙමේද අසමානයහ. ගිහිවූ වැද්දා කයින් වචනින් මනසින් නොනැවැත්තේද, මුනිතෙම නිරන්තරයෙන් සතුන් මැරීමෙන් වැළකුනේ සතුන් රක්නේද වෙයි."
උදාහරණයක්ද සූත්‍රයේ දක්වා තිබේ.
"යම්සේ කුඩිම්බිය ඇත්තාවූ නිල් පාට බෙල්ල ඇති, මොණර පක්ෂිතෙම ස්වර්ණ හංසයාගේ වේගවත් ගමනට කිසිසේත් නොපැමිණේද, මෙසේම ගිහිතෙම හික්මෙන ස්වභාව ඇති, කාය විවේකයෙන් යුත් ධ්‍යාන කරණ භික්ෂුහට සමාන නොකළ හැක්කේය."
ගිහිවතත් මුනිවතත් එකිනෙකට වෙනස් මාවත් දෙකකි. ඒ දෙක සමාන වන්නේ නැත. පැවිද්දා සහ මුනිවරයා ද වෙනස් ය. පැවිද්ද ලද පමණින් මුනිවරයකු නොවේ. කෙසේවෙතත් වර්තමානයේ දී ගිහියා පැවදිවත රැඟීමට යාමත් පැවිද්දා ගිහිවත රැඟීමට යාමත් නිසා මිනිසුන් අතරමංව ඇති සෙයක් දක්නට ලැබේ.
මුනිවත නිහඬතාවය පමණක් නොවේ. එය තවත් ගුණාංග විශාල ප්‍රමාණයක් ඇතුළත් හැසිරීමකි. අපට එක්වරම මුනිවරයකු වීමට නොහැකි විය හැක. නමුත් උත්සාහ කිරීම අත්නොහැරිය යුතු ය. අද ඔබගේ අධිෂ්ඨානය, වීර්යය හෙට ඔබ මුනිවරයකු කරනු ඇත.