ඊයේ ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත අනූව ස්වාමින් වහන්සේලා ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල නියැලීම හෝ එම කටයුතුවලට ප්‍රචාරය ලබාදීම තහනම් වන අතර ඒ සඳහා දඬුවම් ලබාදිය හැකිය.
එසේම වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම, රියැදුරු බලපත්‍රයක් ගැනීම හා වාහන පැදවීම ද දඬුවම් ලැබිය හැකි වැරදිය.
ථෙරවාදී භික්ෂූන්ට අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්ෂේත්රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවල නිරතවීම සහ ප්‍රසිද්ධ ස්ථානවල භික්ෂූන් වහන්සේ නමකට අකැප අයුරින් කටයුතු කිරීම ද දඬුවම් ලැබිය හැකි වැරදිවේ.
එමෙන්ම එලෙස සිදු කරන උල්ලංඝණ සඳහා දඬුවම් 07ක් පනත මගින් යෝජනා කර ඇති අතර අදාළ භික්ෂූන් වහන්සේ වැඩ සිටින විහාරස්ථානයෙන් තාවකාලිකව හෝ ස්ථිරව ඉවත් කිරීම, විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව හෝ ස්ථිරව ඉවත් කිරීම, ශිෂ්‍යභාවයෙන් ඉවත් කිරීම, අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ඉවත් කිරීම හෝ භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීම ඊට අයත්ය.
මෙම කෙටුම්පතට අනුව එක් එක් ථෙරවාදී භික්ෂු නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් එම නිකායට හෝ පාර්ශ්වයට අදාළ කතිකාවතක් සකස් කර සම්මත කරගත යුතුවේ.
ඉන් අනතුරුව එය එකී නිකායේ හෝ පාර්ශ්වයේ මහනායක හිමියන් විසින් අත්සන් කළ ප්‍රකාශයක් ද සමග බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ලියාපදිංචිය සඳහා යොමුකළ යුතුය.
බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් එය විශේෂඥ මණ්ඩලයක් වෙත ඉදිරිපත් කළ යුතු අතර, මෙම විශේෂඥ මණ්ඩලයට බෞද්ධ භික්ෂූන් වහන්සේලා තුන් නමකගෙන් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේට අදාළ විනය රීති පිළිබඳ දැනුමැති නීතිඥවරුන් දෙදෙනෙකුගෙන් සමත් විය යුතු බව අදාළ කෙටුම්පතෙහි දක්වා ඇත.
ලියාපදිංචියෙන් පසුව මෙම කතිකාවතේ සියලු විධිවිධාන එකී පාර්ශ්වය හෝ නිකායන් හි සෑම භික්ෂූන් වහන්සේ නමකටම අදාළ විය යුතු බවත්, සෑම භික්ෂූන් වහන්සේ නමක් විසින්ම දැඩිව පිළිපැදිය යුතු බවත් ඊට අනුකූල ව හැසිරිය යුතු බවත් පනත් කෙටුම්පතෙහි සඳහන්ය.
මෙම පනත් කෙටුම්පතෙහි සඳහන් විධිවිධාන කඩකළහොත් අදාළ නිකාය හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව මගින් පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, චෝදනා ලත් භික්ෂූන් වහන්සේට ද අදහස් දැක්වීමට අවස්ථාව හිමිය.
චෝදනාවලට වැරදිකරුවන භික්ෂූන් වහන්සේට පෙර සඳහන් කළ දඬුවම් ද, එම දඬුවම් ප්‍රතික්ෂේප කරන්නේ නම් භික්ෂුව මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කර රුපියල් 50,000ට නොඅඩු දඩයක් හෝ මාස 06ක සිර දඬුවම් ලබාදීමට හෝ එම දඬුවම් දෙකමද ලබාදිය හැකි ය.
එලෙස වරදකරු වූ භික්ෂුවක වෙනත් නිකායක් හෝ පාර්ශ්වයක් මගින් බාරගැනීම නොකළ යුතු බවත්, භික්ෂුවක් ලෙස ලියාපදිංචි නොකළ යුතු බවත් පනතේ වැඩිදුරටත් සඳහන් ය.
අදාළ පනත ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා සමග සිදු කළ සාකච්ඡාවකින් පසුව ඉදිරිපත් කර ඇති බව පැවසෙන අතර, මේ පිළිබඳ දෙවැනි වර කියැවීම ඉදිරියේදී දැනුම් දෙන බව සභානායකවරයා පාර්ලිමේන්තුවට ඊයේ දැනුම්දී තිබිණ.
adaderana