මෙත්_බෝසත්_විවරණ_ලැබීම

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මෙත්_බෝසත්_විවරණ_ලැබීම

    14044601286033234440143.jpg


    මෙත් බෝසත් විවරණ ලැබීම

    මේ මහා භද්‍ර කල්පයෙහි අවසන් වරට බුදු බව ලබන වීර්යාධික ‘මෛත්‍රෙය බුදුරදුන්’ දෙනෙතින් දැක බලාගෙන නිවන් දැකීමට ප්‍රාර්ථනා කරන්නෝ බොහෝ ය.

    ලෝකෝත්තර මඟට විවර වූ කුසල් සිත් ඇති මෛත්‍රෙය බෝසතාණෝ ගෞතම බුදුපියාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගැනීමට දෙව්ලොවින් නික් මී බ්‍රහ්මවතී බැමිණියගේ කුසට පිවිසී දඹදිව සංකස්ස පුරයේදී උපත ලැබූහ. මහසල් කුලයෙහි සිරිවඩ්ඩන කෙළඹියා බෝසතාණන් වහන්සේගේ පියා වූයේ ය. දිසාපාමොක් ඇඳුරුතුමාගෙන් සිප් සතර හැදෑරූ බෝසතාණන් වහන්සේ මාපියන්ගේ ඇවෑමෙන් සියලු ධනයට හිමිකරු වී ගිහිගෙහි අපමණ සැප සම්පත් ලැබූහ.

    ගෞතම බුදුපියාණෝ බුද්ධත්වයෙන් සත්වන වස තුසිත දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්‍ය රාජයාට තෙමසක්ම විජම් බණ දේශනා කර මාතෘත්වයට කළගුණ සැලකූ සේක. මෙසේ දෙව්ලොවට වැඩමවීමෙන් පසුව විශ්මිත පෙළහර පා සංකස්සපුරට වැඩම කළ බුදුරදුන්ගේ අසිරියෙන් දේවාරෝහණ සභාව ඒකාලෝක විය.

    මේ සුපින්බර දසුනින් අපමණ සතුටට පත් වූ මෛත්‍රෙය බෝසතාණෝ ගිහිගෙයි සියලු සැප සම්පත් කිසිදු තෘෂ්ණාවකින් තොරව හැර දමා ගෞතම බුදු සසුනෙහි ‘ආර්ය මෛත්‍රෙය’ නමින් පැවිදි වූහ.

    මතු බුදුබව පැතූ මෛත්‍රෙය බෝධිසත්වයාණන් නියත විවරණ ලබා ගැනීමේ උදාර ප්‍රාර්ථනය පෙරදැරි කර ගනිමින් එළැඹුණු චීවර මාසයේ දී වස්ත්‍ර යුගලයක් පූජා කිරීමේ අසිරිමත් පින්කම සිදු කළේ ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීය.

    බුදු රැස් මාලාවන් දස අත විහිදුවමින් පුන්සඳ මඬලක් සේ වැඩ සිටි ගෞතම මුනිදුන්ගේ කුටියෙහි වියනක් බැඳ තැබූ බෝසතාණෝ අනෙක් වස්ත්‍රය ගෙන රැලි ගන්වා වියන කෙළවරෙහි එල්ලා තැබූහ.

    මෙසේ වස්ත්‍ර යුගලම පූජා කළ බෝසතාණන් වහන්සේ උක්කුට්ටිකව වැඩ සිටිමින් බුදුරදුන් දෙස බලාගෙනම මතු බුදු බව පැතූහ.

    මේ මහඟු පින්කමේ අනුසස් බුදු නුවණින් දැක සතුටු වූ ගෞතම බුදුපියාණන් වහන්සේ මෙයට සොළොස් අසංඛ්‍යය කල්ප ලක්‍ෂයකට පසු ‘මෛත්‍රෙය’ නමින් මතු බුදුවන ‘ආර්ය මෛත්‍රෙය’ හිමියන්ට නියත විවරණ ලබා දුන්හ.

    එසේ විවරණ ලැබූ බෝසතාණන් වහන්සේ සසරේ අවසන් භවයේ දී බරණැස්නුවර කේතුමතී නම් රාජධානියේ උපත ලබන බවත් ‘සංඛ’ සක්විති රජතුමාගේ පුරෝහිත වූ සුබ්‍රහ්ම බ්‍රාහ්මණයා පියාණන් ද බ්‍රහ්මවතී බැමිණිය මෑණියන් ද වී නා ගස බුද්ධත්වයට සෙවණ සලසන බව ගෞතම බුදුපියාණෝ වදාළහ.

    මෙයින් සතුටට පත් වූ භික්‍ෂූන් වහන්සේලා සාධුකාර දුන්හ. දෙව් බඹුන් දිව මල් පිදූහ. මෙම දසුනින් ප්‍රබෝධවත් වූ මිනිස්සු පී‍්‍රති ඝෝෂා කරමින් සැණකෙලි පැවැත්වූහ.

    එදා ‘ආර්ය මෛත්‍රෙය’ නමින් ඇරැඹූ නිශ්චිත ප්‍රාර්ථනය සමගින් බෝසතාණෝ දීර්ඝ වූ සංසාර ගමනේ අවසන් භවයේ දී උපත ලබන කේතුමතී රජදහන සෞම්‍ය දේශගුණයකින් බබළයි. දෙව් ලොවක් හා සමාන වූ මේ මනුලොවෙහි මිනිස්සු මස් මාංශ අනුභව නොකරති. ඔවුන් ගන්නා ආහාරයන් අමෘත්තයන් සේ ය. කිසිවෙක් කිසිවෙකුට විපතක් සිදු නොකරති. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි කෙලෙසුන් දුරු කර ගනිමින් පන්සිල්, දස කුසල් සුරකිමින් මෙහි දිවි ගෙවන්නෝ දෙවි දේවතාවුන් සේ ය. පතාගෙන ආ පින්වන්තයන් මෙත් බෝසතුන් උපන් ගමෙහිම උපත ලබන්නේ යැයි අනාගත වංශ දේශනාවෙහි සඳහන් ය.

    දුකෙන් පෙළෙන සත්ත්වයන් සසර කතරින් එතෙර කරවීමට මඟ පෙන්වන මේ මහා භද්‍ර කල්පයෙහි අවසන් වරට මෛත්‍රෙය බුදු රජාණන් වහන්සේ නමින් බුද්ධත්වය ලබන මෙත් බෝසත්තුමා අද වැනි පොහොය දිනයකදී මෙනෙහි කිරීම අගනේ ය.

    ජම්මික ප්‍රබෝධනී වැලිකල

    උපුටාගැනීම :- ( බුදුසරණ අන්තර්ජාල කලාපය )
     

    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    there s something wrong in this post. මෛත්‍රී බුදුන් බුදුබව ලබන්නෙ මෙ මහා භද්‍ර කල්පයෙමයි. මිට සොළොස් අසංඛ්‍යය කල්ප ලක්‍ෂයකට පසු නෙමෙයි. උන් වහන්සෙ පාරමි පුරන්න පටන්ගත්තෙ මිට සොළොස් අසංඛ්‍යය කල්ප ලක්‍ෂයකට පෙර. ඒ කියන්නෙ ගෞතම බුදු හාමුදුරුවො පාරමි පුරන්න පටන්ගන්නත් කලින් ඉදන්. ගෞතම බුදු හාමුදුරුවො ප්‍රඥා අධික බුදු වරයෙක් විදියට සාරාසංඛ්‍යය කල්ප ලක්ශයකුත් මෛත්‍රී බුදුහාමුදුරුවො වීර්ය අධික බුදු වරයෙක් විදියට සොලසාසංඛ්‍යය කල්ප ලක්ශයකුත් පාරමි සම්පූර්ණ කල සේක.
     
    Last edited:

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    there s something wrong in this post. මෛත්‍රී බුදුන් බුදුබව ලබන්නෙ මෙ මහා භද්‍ර කල්පයෙමයි. මිට සොළොස් අසංඛ්‍යය කල්ප ලක්‍ෂයකට පසු නෙමෙයි. උන් වහන්සෙ පාරමි පුරන්න පටන්ගත්තෙ මිට සොළොස් අසංඛ්‍යය කල්ප ලක්‍ෂයකට පෙර. ඒ කියන්නෙ ගෞතම බුදු හාමුදුරුවො පාරමි පුරන්න පටන්ගන්නත් කලින් ඉදන්. ගෞතම බුදු හාමුදුරුවො ප්‍රඥා අධික බුදු වරයෙක් විදියට සාරාසංඛ්‍යය කල්ප ලක්ශයකුත් මෛත්‍රී බුදුහාමුදුරුවො වීර්ය අධික බුදු වරයෙක් විදියට සොලසාසංඛ්‍යය කල්ප ලක්ශයකුත් පාරමි සම්පූර්ණ කල සේක.

    බොහොම ස්තුතියි වරද නිවැරදි කලාට :yes::yes::yes: