යුග දිවියට මාස පහයි; බිරිඳ ගොළු තරුණයා හා යයි
සත් වසරක් ආදරයෙන් වෙලී සිට සිය කැමැත්තෙන්ම පෙම්වතා සමඟ විවාහ වූ තරුණ කාන්තාවක් මාස 5 ක් වැනි කෙටි කාලයක් ඔහු සමඟ ගතකර සැමියාට හොරා ගොළු තරුණයකු සමඟ පැන ගොස් ඇතැයි යන පැමිණිල්ලක් ඉකුත් දිනක පොලිසියට ලැබුණු බව හංවැල්ල පොලිසියේ දූෂණ මර්දන හා වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. එච්. ආනන්ද මහතා ඉළුක්ඕවිට සිවිල් ආරක්ෂක කමිටු රැස්වීමේදී පැවැසීය.
තරුණ වියේ පසුවන දූ දරුවන් සිටින දෙමාපියන්ට තම දරුවන් කෙරෙහි උනන්දුවකින් හා අවදියෙන් සිටීමට මෙම සිද්ධිය නිදසුනක් ලෙස පෙන්වා දෙන බව එහි සිටි දෙමාපියන් අමතා ඒ මහතා පැවැසීය. රාගාධික හැඟීම් තරුණ වියේදී ඔවුන් තුළ ඇතිවීම නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට තරුණ ජීවිත පත්වන අවස්ථා අපට අසන්න, දකින්න තිබෙන බැවින් තම දරුවන්ගේ ජීවිත අඳුරට වැටීම වළකා ගැනීමේ වගකීම ඇත්තේ මව් පියන්ට බව පෙන්වා දෙන ලදී.
පැමිණිල්ල කර තිබූ සැමියා හා ගොළු තරුණයාත් බිරිඳත් පොලිසියට කැඳවා පරීක්ෂණයක් කර ඔවුන් නැවත එකතු කිරීමට පොලිස් පරීක්ෂකවරයා උත්සහ දරා ඇතත් ඇය එකහෙළාම ගොළු තරුණයා හා යන බව පැවැසීම නිසා සැමියාට නීතියේ පිහිට ලබාගෙන ඇගෙන් වෙන් වන ලෙස උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
මොවුන් කුලියාපිටිය ප්රදේශයේ පදිංචිකරුවන් බවත් විවාහයෙන් පසු සැමියා සේවය කරන හංවැල්ලේ සේවා ආයතනයට නුදුරු ස්ථානයක තාවකාලිකව පදිංචි වී සිටියදී මෙම ගොළු තරුණයා සමඟ ඇය රහසිගත ඇසුරක් පවත්වා ඇති බවත් හෙළි වූ බව කියති.
දිවයින






