වලස්මුල්ල මීඇල්ල ගම්මානයේ මහා දාමරිකයකු ලෙස ජීවත් වූ අමිත් අහිංසකයන් තලා පෙලා දැම්මේය. ඔවුන්ට විවිධ හිරිහැර කළේය. කොටින්ම මොහු මීඇල්ල ගම්මානයට මහා පිල්ලියක් බවට පත්ව සිටියේය.
සුරංග ජානක සහ කැටයම් චින්තක මධුෂ්ගේ පාතාල කල්ලියේ සගයන් වූහ. ඔවුන් අපරාධ කළේ එකටය. විවිධ ජාවාරම්වලින් මුදල් ඉපවුවේද එකටය.
කැටයම් චින්තකගේ ජාවාරම්වලට වධයක් වී සිටි සුනිල් රාළහාමි විනාශ කර දැමීමේ මෙහෙයුමට අමිත් සම්බන්ධ වන්නේ සුරංග හරහාය.
සුනිල් මරා දැමීමේ සැලසුම කැටයම් චින්තක මුලින්ම කියන්නේ සුරංගටය. මේ අපරාධය සඳහා සුරංග සිය කල්‍යාණ මිතුරකු බඳු වූ කොමාන්ඩෝ අමිත් සම්බන්ධ කර ගත්තේය. සුනිල් රාළහාමි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සඳහා මේ නරුමයන් කණ්ඩායම වලස්මුල්ලේ සිට කඹුරුපිටිය මාස්මුල්ලට එන්නේ කොමාන්ඩෝ අමිත්ගේ ත්‍රිරෝද රථයෙන්ය. එදින සවස කැටයම් චින්තකගේ නිවසේ පුංචි සාදයකි. මහා අපරාධය සඳහා අරඅඳිමින් සිටි නරුමයන් සිව්දෙනා මත්පැන් බෝතල් එකහමාරක් හිස් කළේය.
ඔවුන් අහිංසක සුනිල් රාළහාමිගේ නිවසට යන්නේ පදමට වෙරි වී උන්මත්තකයන් ලෙසය. අඩක් නිම වූ සුනිල් රාළහාමිගේ නිවසට මුලින්ම ඇතුළු වන්නේ සුරංග සහ ජානකය. සුනිල් රාළහාමි තම ආදර බිරිඳ සහ දරු දෙදෙනා සමග නිදා සිටි කාමරයේ දොරට පහරදී එය කඩා දමන්නේද සුරංගය.
කාමරයට කඩා වැදුණු සුරංග සහ ජානක සුනිල් රාළහාමිට බිම වැටෙනතුරු පොලුවලින් පහර දුන්නේය.
සුනිල්ගේ ආදර බිරිඳ විලාප නගමින් හඬා වැළපෙයි. කැටයම් චින්තක නිවසට ඇතුළු වන්නේ ඉන් අනතුරුවය. සුනිල්ගේ බිරිඳ කැටයම් චින්තක හඳුනා ගත්තාය. ඒ නරුමයා හමුවේ සුනිල්ගේ බිරිඳ ජීවිතය ඉල්ලා හඬා වැටුණාය. වියරුවෙන් සිටි කැටයම් චින්තක තම දෙපාමුල වැඳවැටෙමින් සිටි සුනිල්ගේ බිරිඳට පහර පිට පහර දෙන්නේ ඇය සදාකාලිකව නිසොල්මන් කිරීමටය.
ඇගේ තුරුලේ සිටි පුංචි කිරිකැටි දරුවා ඔසවා පොළොවේ ගසන්නට තරම් මොවුන් සාහසික වුණේය. මේ පාපතරයන් බිම වැටී පණ අදිමින් සිටි සුනිල්ගේ හිසට වෙඩි තැබුවේය. සුනිල් අවසන් ගමන් ඇරියේ කිසිම අණක්ගුණක් නැති චරිතයක් වූ කොමාන්ඩෝ අමිත්ය.
තම ඉලක්කය සපුරාගත් මේ නරුමයන් සුනිල්ගේ නිවසින් පිටව ගියේ තමන් සිදුකළ අපරාධයේ තරම කොතෙක්දැයි නොදැනය. තමන් කළ මේ අපරාධවලට වැඩි දවසක් යන්නටත් පෙර ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන බව නොදැනය.
කොමාන්ඩෝ අමිත් යන එන ගමන් බිමන්, ඔහු නවාතැන් ගන්නා ස්ථාන පිළිබඳව පොලිසිය තොරතුරු එක්රැස් කරන්නට පටන් ගත්තේය. වැඩි දවසක් ගතවුණේ නැත. පොලිසිය වෙත අමිත් පිළිබඳව තොරතුරු ගලා එන්නට වූයේය. ඒ තොරතුරු ගලා ආවේ අමිත් අතින් දිගින් දිගටම පීඩනයට හිංසනයට පත් වූ වලස්මුල්ලේ ජනතාව විසින්ය.
පොලිස් කණ්ඩායම අමිත් පසුපස ලුහුබඳින්නට පටන් ගත්තේය. මීඇල්ලේම පදිංචිකරුවන්ගෙන් ලැබුණු තොරතුරු ඔස්සේ ගිය පොලිසිය හක්මන නගරයේදී කොමාන්ඩෝ අමිත් කොටුකර ගත්හ.
අමිත් තම ත්‍රිරෝද රථයේ නැගී මාතර ප්‍රදේශයට පලායමින් සිටියේ ආරක්ෂිත ස්ථානයක සැඟවීමට සැලසුම් කරගෙනය. එහෙත් අමිත්ට වැරදුණේය. අත්අඩංගුවට ගත් මේ නරුමයාගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹුණේ ඉන් පසුවය.
සඟවා ඇති ආයුධ කීපයක් පිළිබඳ තොරතුරු ලැබෙන්නේ ඒ අතරය. පොලිසිය අමිත් රැගෙන යන්නේ ආයුධ සෙවීමටය. එහෙත් අවසානයේ මේ පාපතරයාට සිදුවන්නේ තමන් සිදුකළ මහා අපරාධයට ජීවිතයෙන් වන්දි ගෙවීමටය.
පොලිස් වෙඩිපහරින් අමිත් ජීවිතයෙන් සමුගනිද්දී සුරංග සහ ජානක සෙවීමේ පරීක්ෂණ කටයුතු ඉතාම සාර්ථකව සිදුවෙමින් තිබිණි. එහෙත් මේ පාපතරයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවූයේ ඔවුන් දිනෙන් දිනම සැඟවී සිටින ස්ථාන මාරු කිරීම නිසාය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික හපුගොඩ ඇතුළු නිලධාරීන් මේ පාපතරයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ භාරදූර කාර්ය සඳහා දැඩි වෙහෙසක් ගත්තේය.
සුරංග සහ ජානක පාවිච්චි කළ ජංගම දුරකථන තොරතුරු ඔස්සේ ඔවුන් පිළිබඳ හෝඩුවාවක් ලබා ගැනීමට උත්සාහ කළද එය අවසානයේ ව්‍යර්ථ වුණේය.
සුරංග සහ ජානකගේ දාමරිකකම් හමුවේ පීඩනයට පත්ව සිටි බොහෝ දෙනකු හොර රහසේම පොලිසිය වෙත තොරතුරු ලබා දෙන්නට වූහ.
ඝාතනයට ලක් වූ සුනිල්ගේ සහ බිරිඳගේ මරණ දැන්වීමක පිටුපස රහසිගත තොරතුරු රැසක් සටහන් කළ ලිපියක් ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික හපුගොඩ මහතා වෙත තැපෑලෙන් ලැබුණේය. ඒ තොරතුරු ලබාදී තිබුණේ කඹුරුපිටියේ තරුණ කැල විසින්ය. එහි සටහන් කර තිබූ තොරතුරු පරීක්ෂණ ඉදිරියට කරගෙන යැමට බෙහෙවින් ප්‍රයෝජනවත් වුණේය.
සුරංගගේ මිත්තනියක තිස්සමහාරාමයේ පදිංචිව සිටින බවට තොරතුරු ලැබෙන්නේ රහස් ලිපිය හරහාය. සුරංග සහ ජානක මේ නිවසේ සැඟවී සිටින බවට තොරතුරු අනාවරණය විය.
ගෙයින් ගෙට ගොස් සී. එµa. එල්. බල්බ අලෙවිකරන වෙළෙන්දන් ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරීන් කීපදෙනෙක් තිස්සමහරාමයට යෑවීමට හපුගොඩ මහතා කටයුතු කළේය. හොර රහසේම අපරාධකරුවන් සිටින ස්ථානය නිවැරැදිව දැන ගැනීම පොලිස් නිලධාරීන්ගේ අරමුණ විය.
එහෙත් මහලු කාන්තාවගේ නිවසේ කිසිවකු සිටින බව හෙළිකර ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වුණේ නැත. සුරංගගේ මිත්තනිය වූ මේ මහලු කාන්තාව තිස්සමහරාම සතිපොළේ කෙසෙල් අලෙවි කරන බව පොලිසිය සොයා ගත්තේය.
ජංගම වෙළෙන්දන් ලෙස වෙස් වලාගෙන සිටි පොලිස් නිලධාරීන් මහලු කාන්තාව ලුහුබඳින්නට වූයේ කිසියම් තොරතුරක් ලබා ගැනීම සඳහාය. පොලිස් නිලධාරීන්ගේ සැලසුම් සාර්ථක වුණේය.
සුනිල් රාළහාමි සහ ඔහුගේ බිරිඳ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු වන සුරංගට සහ ඔහුගේ සගයාට උදව් උපකාර ලබාදෙන ඥතියකු පිළිබඳව තොරතුරු පොලිසියට ලැබෙන්නේ මහලු කාන්තාව ලුහුබැඳ යන අතරතුරදීය.
සුරංගගේ ඥතියා තණමල්විල කැලෑ ප්‍රදේශයක මහා පරිමාණයෙන් හේන් ගොවිතැන් කරන පුද්ගලයෙකි. මොහු වාහන කීපයක් හිමි ධනවත් පුද්ගලයෙකි. සුරංග සහ ජානක මොහුගේ උදව් උපකාර ලබාගෙන තණමල්විල කැලෑවක පිහිටි ගංජා හේනකට යැමට සැලසුම් කරගෙන සිටින බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබිණි.
අපරාධකරුවන් දෙදෙනා තණමල්විලට රැගෙන යැමට ව්‍යාපාරිකයා වෑන් රථයක් සූදානම් කර තිබෙන බවද පොලිසිය හෙළිකර ගත්තේය. ව්‍යාපාරිකයාට පෙර පොලිසිය ක්‍රියාත්මක වුණේය.
ව්‍යාපාරිකයාට අයත් වෑන් රථයට සමාන වෑන් රථයක් සොයාගත් පොලිස් නිලධාරීන් කන්දගමුව ඉන්ධන පිරවුම්හල අසලට යන්නේ සුරංග සහ ජානක අත්අඩංගුවට ගැනීමේ අරමුණු ඇතිවය.
පොලිස් නිලධාරීන්ගේ සැලසුම සාර්ථක විය. වෑන් රථය දුටු වහාම සුරංග සහ ජානක ඒ අසලට දිව ආවේ හැකි ඉක්මනින් තණමල්විල යන බලාපොරොත්තුවෙන්ය.
සුරංග සහ ජානක අත්අඩංගුවට ගත් ධම්මික හපුගොඩ මහතා ඇතුළු නිලධාරීන් ඔවුන් දෙදෙනා මාතරට රැගෙන ගියහ. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹිණි.
හක්මන දෙනගම වැව ආසන්නයේ සඟවා ඇති ආයුධ කීපයක් පිළිබඳව මේ නරුමයන් තොරතුරු වමාරන්නට වූහ. පොලිස් නිලධාරීන් අපරාධකරුවන් දෙදෙනා දෙනගම වැව අසලට රැගෙන යන්නේ සඟවා ඇති ආයුධ සෙවීම සඳහාය.
ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සුරංග සහ ජානක පොලිස් නිලධාරීන්ගෙන් මිදී දෙනගම වැවට පැන්නේ කිසියම් බලාපොරොත්තුවක් ඇතිවය. එහෙත් දෙවියන් මේ අපරාධකරුවන් දෙදෙනාට නියම දඬුවම ලබාදුන්නේය.
විලංගු පිටින් දෙනගම වැවට පැන පලායන්නට උත්සාහ කළ මේ නරුමයන් දෙදෙනා අවසන් ගමන් ගියේ තමන් කළ මහා පාපකර්මයට වන්දි ගෙවමින්ය.
මුළු රටම කම්පාවට පත්කළ මහා අපරාධයේ ප්‍රධානියා වන කැටයම් චින්තක තවමත් නිදැල්ලේය. තම සගයන්ට අත් වූ ඉරණමම තමන්ටද අත්විඳීමට සිදුවන බව මේ පාපතරයා තේරුම් ගෙන සිටිනු නොඅනුමානය.
ඔහුට සියදිවි හානිකර ගන්නවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැති බව අපි යෝජනා කරන්නෙමු. මෙවැනි මහපොළොව නුහුලන අපරාධකරුවන්ට නීතියේ හිඩැස්වලින් රිංගායැමට ඉඩකඩ ලැබුණත් ඔවුන්ට දෙවියන් නිසි දඬුවම් ලබා දෙන්නේය.
හය හතර නොතේරෙන අහිංසක නොදරුවන් දෙදෙනකුගේ අනාගතය අඳුරු කළ මේ අපරාධකරුවන්ට ලබාදුන් දඬුවම පිළිබඳව කිසිවකුත් කනස්සල්ලට පත් නොවන්නේය.
බොහෝ මානව හිමිකම් සංවිධාන පෙනී සිටින්නේ අපරාධකරුවන් වෙනුවෙන්ය. මේ පාපතරයන් අතින් අසරණ වූ පුංචි දරුපැටවුන්ගේ මානව හිමිකම් හමුවේ පෙනී සිටීමට මේ එකදු සංවිධානයක්වත් නොතිබීම කනගාටුවට කරුණකි.
හේමන්ත රන්දුණු
දිවයින 2013/12/01