සුළු ව්‍යාපාරිකයෙකුවූ වැලිගම වල්ලිවල ජෙරමියෙස්ගේ සහ රොස්ලින්ගේ දරුවන් 5 දෙනෙකුගෙන් අයෙකුවූ 1944දී උපන් ලයනල් බෝපගේ මාතර රාහුල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨ සිසුවෙකු වශයෙන් සිටියදී 1968දී සරත් විජේසිංහ මගින් විජේවීර හදුනාගත් ලයනල් බෝපගේ 1971 අප්‍රේල් කැරැල්ල සම්බන්ධයෙන් මහනඩුවේ දෙවැනි විත්තිකරු විය. පානදුර සරික්කාමුල්ල පන්සලේ සැඟව සිටියදී 1971 අප්‍රේල් 10වැනිදා පානදුර පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. සිරගෙදර සිටින සමයේදී ඉංජිනේරු උපාධියට ලියා සමත් විය. වසර 12ක දිගුකාලීන සිරදඬුවම්වලට යටත් කලද පසුව 1977දී නිදහස් විමෙන් පසු ජවිපෙ ගොඩනැගීම සඳහා දායක විය. ගාල්ල දිසා සංවර්ධන මැතිවරණයට 1981දී ඉදිරිපත්වී එහි සභිකයෙක් ද විය. විමුක්ති ගී ගායිකාවක් වශයෙන් කටයුතු කල කතෝලික සභාවේ තිඹිරිගස්යාය පල්ලියේ කන්‍යා සොහොයුරියක්වූ චිත්‍රා මුදලිගේ සමඟ අවාහවු බෝපගේ 1980 සිට 1983 ජුලි 29වැනිදා ජවිපෙ තහනම් වන විට ප්‍රධාන ලේකම් වශයෙන් සිටි අතර පසුව අක්‍රීයවී කෙටි කලකින් ඉල්ලා අස්විය. ජවිපෙ 2වැනි කැරැල්ලේ ජීවිත තර්ජන හමුවේ විදේශගතවූ බෝපගේ සිය දරු පවුල සමඟ වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වේ.
නන්දන මාරසිංහ 71 කැරළිකරුවන් අතර සිටි සුවිශේෂි චරිතයක් වන අතර විමුක්ති ගී සාර්ථක කරගැනීම සඳහා කැපවී ක්‍රියාකල අයෙකි. ඔහුගේ පියා විදුහල්පතිවරයෙකි. දක්ෂ තබ්ලා වාදකයෙකුවු නන්දන අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන විට ගුරුවරයෙකුවූ මුණසිංහ මගින් 1968දී ඔක්තෝබර් මස ජවිපෙට සම්බන්ධවී පූර්ණකාලිනකයෙකු විය. ඔහු ප්‍රථමවරට අධ්‍යාපන කඳවුරට සම්බන්ධවූයේ 1968 දෙසැම්බර් මිද්දෙණියේදී වන අතර පොලිස් අත්අඩංගුවට ප්‍රථමවරට පත්වූයේ 1970 මින්නේරියේදීය. අප්‍රේල් කැරැල්ලේදී විජේවීර නිදහස්කර ගැනීම සඳහා කරාටේ සැම්සන්, අම්බලන්ගොඩ තිලකසිරි, කොටවල දේවසිරි හිමි යන අයගේ නායකත්වයෙන් විද්දෝදය සරසවියේ සිට යාපනයට බස් රථයකින් ගිය 60 දෙනාගේ කණ්ඩායමට අනුරාධපුරයෙන් එක්වූවෙකි. ප්‍රහාරය අසාර්ථක වීමෙන් පසුව පළාගිය නන්දන පසුව අනුරාධපුර හිරගෙදර 1972 ඔක්තෝබර් 7 වැනිදා ප්‍රහාරයක් එල්ලකර ජවිපෙ සාමාජිකයින් 31 දෙනෙකු නිදහස්කර ගත්තේය. ඒ සමඟම සිරගෙදර සිටි මරුසිරා, හිතුමතේ ජීවිතේ ඇතුළු සාමාන්‍ය සිරකරුවන් 108 දෙනකු ප්‍රහාරයට මුවාවී පලායෑමට සමත්විය. පසුව 1973 මරදාන ටෙක්නිකල් හංදියේදී ගාමිණී බාස්ගේ පාවාදීමක් මත පොලිස් අත්අඩංගුවට පත්විය. යාපනය හිරගෙදරින් 18දෙනෙකු සමඟ පැනගිය මාරසිංහ නැවත අත්අඩංගුවට ගත් අතර නඩුවට ගෙනයන අතරතුරදී කලාවැව දුම්රිය ස්ථානයේදී නැවත පැනගොස් පොල්ගස්ඕවිටදී නැවත අත්අඩංගුවට පත්විය.
මාරසිංහ 1978 නිදහස් වීමෙන් පසු කලාව මගින් සමාජය වෙනස්කර ගැනිම ජවිපෙ විමුක්ති ගී ප්‍රසංගයට වැඩි බරක් යොදමින් සමාජවාදී කලා සංගමය හරහා ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේය. පසුව 1981 ජවිපෙන් මතවාදීව ඉවත්වී රජරට කේන්ද්‍ර කරගනිමින් ජනතා කලා කේන්ද්‍රය නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ගනිමින් කලාව හා සාහිත්‍යයට බරතබා ක්‍රියා කළේය. ජනතා කලා කේන්ද්‍රය පසුව නුවර සහ කුරුණෑගලටද ව්‍යාප්ත කරන ලදී. විමුක්ති ගී බවට විකල්පයක් ලෙස කාලයේ රාවය ප්‍රසංගය බිහිවූයේ ඒ අනුවය. සුනිලා අබේසේකරද එහි ගී ගැයුවාය. අගනුවර කේන්ද්‍ර කරගත් ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂපාතී එන්.ජී.ඕ සංවිධානවල අනුරාධපුර සම්බන්ධීකාරකවරයා වූයේද ඔහුය. ඉන්දු ලංකා ගිවිසුමත් සමඟ 1987 අනුරාධපුර දිස්ත්‍රික් පුරවැසි කමිටුව පිහිටුවා එහි කැඳවුම්කරු විය. ජවිපෙ මගින් අනුරාධපුර පොළ භූමියේදී 1987 නොවැම්බර් 27 ඔහු වෙඩි තබා ඝාතනය කරන ලදී.
නන්දන මාරසිංහගේ ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රාජපක්ෂ ආරච්චිලාගේ ෂෙල්ටන් රාජපක්ෂ නොහොත් සමන් වීරසිංහ ගම්පහ පහළගම පදිංචිකරුවෙකු වූ අතර මුල්පෙළේ සන්නද්ධ නායකයෙකි. ගම්පහ බණ්ඩාරනායක විදුහලෙන් 1982 අපොස උසස් පෙළ විද්‍යා විෂයෙන් සමත්වූ ඔහු බළල් ඇස්වැනි විශේෂ ලක්ෂණයකින් හෙබි ඔහු ශ්‍රී ලංකාවේ සිටින දුර්ලභ පුද්ගලයෙකු ලෙස 1989 අනුරාධපුර විලච්චියේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු හඳුනාගත් ජාතික බුද්ධ කාර්යාංශයේ පොලිස් නිළධාරි පෙරේරා විසින් වාර්තාකර තිබිණි. ෂෙල්ටන් කොස්ඕවිට, ගම්පහ, අනුරාධපුර පොලිසි සහ බන්ධනාගාරවලද සිටි අතර මැගසින් බන්ධනාගාරයෙන් පලායෑමටද වරෙක සමත් විය. දෙබරවැව සරත්ද ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර පසුව දෙදෙනාම නිදොස් කොට නිදහස් විය. දෙබරවැව සරත් පසුව අවාහ වූයේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකුවූ 1990 මුල් භාගයේදී ආරක්ෂක හමුදා අතින් ඝාතනයට ලක්වූ සිසිර රන්දෙනියගේ වැන්දඹු බිරිඳ සමඟය. ජවිපෙන් අනුරාධපුර දිසා සංවර්ධන සභිකයෙකු ලෙස 1981දී පත්වූ සිසිර, පක්ෂ නායක විජේවීර 1983 ජුලී යටිබිම් ගතවූ විට ඔහු සමඟ සමීපව කටයුතු කල 71 කැරළිකරුවෙකි.
ජවිපෙන් 1982 ඉවත්කල පසු රතු භටයෝ සහ ජවිපෙ නව ප්‍රවණතාවය යන මැයින් සන්නද්ධ වාම කණ්ඩායමක් පිහිටුවීමට ප්රයත්න දැරූ හිටපු දේශපාලන මණ්ඩල සභික ඊ.එෆ් ද වාස් තිලකරත්න තෙවරක් ජවිපෙ ඝාතන වලින් බේරී බරපතල තුවාල ලැබූ අයෙකි. ජවිපෙන් ඉවත්වූ පසු නිකවැරටිය බැංකු මංකොල්ලයේ සැලසුම්කරුවෙකු ලෙස කටයුතු කල බවට චෝදනා ලැබීය. පෞද්ගලික බස් රථයකින් ගමන් ගනිමින් සිටියදී වෙඩිතැබූ අතර පසුව තුවාල ලබා බදුල්ල මහ රෝහළට ඇතුල් විය. පසු දින රාත්‍රී මහ රෝහළට පැමිණ වෙඩි තැබුවද ඇදේ සිටියේ වෙනත් රෝගියෙකි. රාත්‍රී කාලයේ ආරක්ෂිත පියවරයක් ලෙස ඔහු වෙනත් රෝගියෙකු සමඟ ඇදන් මාරුකරගෙන තිබිණි. යළිත් කොළඹදී වෙඩි තැබුවද ජීවිතය බේරාගැනිමට ඔහු සමත් විය. හැටේ දශකයේ අවසාන භාගයේදී පේරාදෙණිය සරසවියේ උපාධිය හදාරමින් සිටියදී පූර්ණකාලීනව ජවිපෙට එක්වි 71 අප්‍රේල් සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දිගුකාලීනව සිර දඬුවම් වින්දේය.සමාජවාදී තරුණ සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කල ඔහු 1981දී ගම්පහ සංවර්ධන සභාවට තරඟකර ජවිපෙ කණ්ඩායම මෙහෙයවා එහි සභිකයෙකු වශයෙන්ද කටයුතු කරන ලදී. විමුක්ති ගී ප්‍රසංගය සඳහාද අනගි සහායක් ලබාදුන් වාස් සමඟ එක්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ පූර්ණකාලීනයින් අතර මීරිගම සමන්, අස්ගිරියේ පියල්, බන්දු, ගනේමුල්ලේ කපිල, කිංස්ලි, සියනෑ පාරේ ජයතිලක, වේයන්ගොඩ සිරිමෙවන්, උදය පොත්හලේ සමන්, අකරවිට සමන්, කොල්වින් ඇතුළු කිහිපදෙනෙක්ද විය
ජවිපෙන් ඉවත්වූ වාස් තිලකරත්න ජවිපෙ මුළුනුපුටා දැමීමේ ක්‍රියාමාර්ගයකට කෑගල්ලේ විල්ෆඩ් රංජිත් පීරිස්ගේද සහාය ඇතිව ආරක්ෂක හමුදා සමඟ පසු කලෙක එක්විය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පී.බි. විමලරත්න නොහොත් ටින්කෝ විමල් ඇතුළු ජවිපෙ සාමාජිකයින් විශාල පිරිසක් ඒ යටතේ ඝාතනය විය. පසුකාලයේ රංජිත් පීරිස් විසින් පණ ඇති දෙවිවරු නමින් ස්වයං චරිතාපදානයක් බඳුවූ භීෂණ යුගයට අදාළව අත්පිටපතක්ද ලියා තිබිණි. වාස් තිලකරත්න ඝාතනය කිරීමට තැත් කිරීම පිළිබඳව චෝදනා ලැබුවේ පොතුහැර උපාලි සහ සපුගස්කන්දේ තිලක්ය. රාගම සෝමේගේ උපදෙස් අනුව ජවිපෙන් කැඩී ගොස් ජවිපෙට එරෙහිවූ අය ඝාතනය කිරීමේ සැලසුම් භාරව සිටි බව කියනුයේ ගුවන් හමුදා කාර්මික නිලධාරියෙකු වූ කොටුගොඩ පදිංචි 35 හැවිරිදි කෙහෙල්වත්ත ගමරාලලාගේ සිරිපාලය. කඩුවෙල පිට්ටුගල කහන්තොට උපන් සිරිපාල, පන්නිපිටිය ධර්මපාල විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර අපොස උසස්පෙළ සමත්වීමෙන් පසු ගුවන් හමුදාවට බැදෙනවිටද ජවිපෙ සාමාජිකයෙකි. පසුව වාස් අවසානයේ මියගියේ හෘදයාබාධයකිනි.
ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු සහ කොළඹ දිස්ත්‍රික් ජවිපෙ සංවර්ධන සභා සභිකයෙකුවූ ජයසිංහගේ මහින්ද පතිරණ ජවිපෙන් 1982 ඉවත් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට එක්වී ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව වැඩ කළේය. කොළඹ දිසා ඇමති සහ කොලොන්නාව මන්ත්‍රී විරසිංහ මල්ලිමාරච්චිගේ ඉතා සමීපතම දේශපාලන සගයෙකු බවට පත්විය. මහින්ද ජවිපෙ හැටේ දශකයේ අවසාන භාගයේදී සම්බන්ධවූ අතර 1971 අප්‍රේල් කැරැල්ල සම්බන්ධයෙන් දිගු කාලීන සිර දඬුවම්වලට ලක්වුවෙකි. සිරෙන් නිදහස්වූ දා පටන් ජවිපෙ ගොඩනැගීමට ඇප කැප වී කටයුතු කල ඔහු සමාජවාදී කම්කරු සංගමයේ නියෝජ්‍ය ලේකම්වරයාද විය. ජවිපෙ විසින් 1987දී වැල්ලම්පිටිය වෙන්නවත්තේ සිය නිවසේදී මහින්ද පතිරණ වෙඩිතබා ඝාතනය කරන ලදී. ඔහුගේ ඝාතනය පිළිබඳව කම්පාවට පත් ඇමති වීරසිංහ මල්ලිමාරච්චි අවමංගල කටයුතු සඳහා පූර්ණ අනුග්රහයද දක්වන ලදි.ජවිපෙ 1983 තහනමට පෙර රෝහණ විජේවීරට අමතරව ජවිපෙ ප්‍රධාන පෙළේ ජනප්‍රිය කථිකයින් වූයේ උපතිස්ස ගමනායක, වාස් තිලකරත්න, මහින්ද පතිරණ, ශාන්ත බංඩාර, එම්.ටී.එම් ඊබ්රා ලෙබ්බේ, ගනේෂපිල්ලේ, යූ.එන්.නන්දසීලී, ඒ. එම්. එස්. අයුබ්, අබ්දුල් මුබාරක් ඇතුළු කිහිප දෙනෙකි
ජවිපෙ ඝාතන තර්ජනවලට මැදිවී ජීවිත බේරා ගැනීමට සමත්වූ 71 අරගලය වෙනුවෙන් සිරබත්කෑ විප්ලවීය අරමුණු වෙනුවෙන් කටයුතු කල කිහිපදෙනා අතර බේරුවල උපන් ඩී.අයි.ජී ධර්මසේකර සහ හබරාදූව උපන් නීතිඥ කල්‍යානන්ද තිරාණගමද වේ. මෘතෘභූමි ආරක්ෂක සංමයේ නායකයාවූ ධර්මසේකර ජවිපෙට සම්බන්ධ වූයේ 1967 රැකියා විරහිත සමස්ථ ලංකා උපාධිධාරි සංගමයේ සභාපති ලෙසය. මතභේද හේතුකොට ගෙන ජවිපෙන් 1970 මාර්තු මස ඉවතට යන ධර්මසේකර ජවිපෙ විරෝධී මතයක සිට තම මතවාදය වෙනුවෙන් පෙනී සිටියෙකි. ඔහුගේ ක්‍රියාකලාපය නිසා ජවිපෙ විසින් ඔහු 1970 සිටම ජවිපෙ විරෝධියෙකු ලෙස හඳුන්වනු ලැබුවෙකි. බේරුවල සිය නිවස අසළ මාර්ගයේ ධර්මසේකර ගමන් කරමින් සිටියදී 1989 ජුලි 6වැනිදා බයිසිකල් දෙකකින් පැමිණි ජවිපෙ කැරළිකරුවන් තිදෙනෙකු මන්නා පිහියක් සහ රිවෝරලයක් අතැතිව ඔහු ඝාතනය කිරීමට පැමිණියද ප්‍රතිප්‍රහාර එල්ල කරමින් මාරාන්තික සටනකින් ජීවිතය බේරාගැනීමට ධර්මසේකරට හැකිවිය. ධර්මසේකර වර්තමානයේ පාරමීදම් පුරමින් උතුරු කළුතර අනගාරික ආශ්රමයේ සිටින අනගාරික ධර්මසේකරතුමාය.
ගිණි පුපුර කණ්ඩායමේ ආරම්භකයාවූ නව ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකුවූ හබරාදූව හප්පේ පදිංචි නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඝාතනය කිරීමට කැරළිකරුවන් 1988දී දෙවරක් ප්රයත්න දැරූවද එය අසාර්ථක විය. එහෙත් ඔහුගේ ඥාතියෙකුවන වාම ක්‍රියාකාරි නන්දසේන තිරාණගම 1988 නොවැම්බර් 25වැනිදා ඝාතනයට ලක්විය. මානව හිමිකම් සහ නීතිවේදී සංවිධානයේ අධ්‍යක්ෂකවරයාද වන කල්‍යානන්ද තිරාණගම ඒ වන විට අත්අඩංගුවට ගත් තරුණයින් වෙනුවෙන් හබයා කෝපූස් නඩු අධිකරණයට ඉදිරිපත් කල ප්‍රකට නීතිඥයෙකි. ජවිපෙ 2වැනි කැරළි සමයේදී අත්අඩංගුවට ගත් 1,123ක් වෙනුවෙන් ඔහු විසින් 1986 සිට 1990 දක්වා හබයා කෝපූස් නඩු ඉදිරිපත්කර තිබිණි.
ජවිපෙ 71 කැරැල්ලට එක්වී සැමදෙනාගේම ගෞරවයට පත්වූ නොමළ මිනිසුන් ලෙස හැදින්විය හැකි රංජිත් දිසානායක හෙවත් කළු රංජිවැනි අයටද ආරක්ෂිත උපක්‍රම භාවිතා කිරීමට සිදුවිය. රංජිත් දිසානායකගේ ව්‍යාපාරික ස්ථානය රත්මලානේ පිහිටා තිබූ අතර ජවිපෙ මගින් එය සම්බන්ධීකරණ තිප්පොලක් ලෙස භාවිතයට ගෙන තිබිණි. එහිදී ජවිපෙ ජතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ දකුණු සහ බස්නාහිර පළාත් නායකයාවූ අකුරැස්ස ඇල්ගිරියේ උපන් ප්‍රේමචන්ද්‍ර මුණසිංහ හෙවත් ජයතිලක සහ තවත් ජවිපෙ ක්‍රියාකාරිකයෙක් ප්‍රා සංවිධානය මගින් වෙඩිතබා ඝාතනය කරන ලදී. හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ලට ක්‍රියාකාරිව එක්වු මුණසිංහ, වීරවිල එළිමහන් කඳවුරේ සිටියදී 1972 මැයි 8දා පළාගිය අතර යළි නොවැම්බර් 14වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. කුසුමා බුද්ධිකෝරාලගේ සැමියාවු මුණසිංහ 1982 කඹුරුපිටිය අතුරු මැතිවරණයටද ජවිපෙ වෙනුවෙන් තරඟකල අයෙකි. මෙම ඝාතනයන් රංජිත් දිසානායකගේ දැනුවත් කමින් සිදුවූවක් බවට කැරළිකරුවන් සැකකල අතර ඔහු සහ ඔහුගේ දරුපවුලට ජීවිත රැකගැනීම සඳහා ඉතාලියට සංක්‍රමණය වීමට සිදුවිය.