උතුරු මැද සහ උතුරු පළාතට හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය (දිස්ත්‍රික්ක 8ක්) සඳහා සිටි එකම විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා වන්නේ ඔහුය. එම දිස්ත්‍රික්ක 8 තුළ වෙසෙන ජනගහනය ලක්ෂ 24කට අධිකය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකය බාර වෛද්‍යවරයා වන්නේද විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරලේගේය. එහි සාමාන්‍යයෙන් අසාධ්‍ය රෝගීන් 20ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටිනා ඒකකයක් වේ. රජරට විශ්ව විද්‍යාලයේ සිසුන්ට ස්නායු ශල්‍ය වෛද්‍යකර්මය උගන්වන්නේද ඔහු විසින්ය.
"දිනපතා මගේ අධීක්ෂණය යටතේ රෝගීන් සිය ගණනක් ප්‍රතිකාර ලබනවා. දිනකට මොළය සුෂුම්නාව ඇතුළු ස්නායු ආබාධ සඳහා සැත්කම් 8ක් 10ක් අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ සිදුකළා. මේ සියල්ල සිදුවුණේ මගේ අධීක්ෂණය යටතේයි. මට සේවයට වාර්ථා කිරීමට නොහැකි වීම නිසා මේ කටයුතු අඩාල වෙලා තියෙනවා. ඒ රෝගීන් බොහොම අසරණ මිනිස්සු. වහළකින් වැටිලා, ගහකින් වැටිලා, එහෙම නැත්නම් අලියෙක් ගහල එන අහිංසක මිනිස්සුයි මේ නිසා අසරණ වෙලා තියෙන්නේ. ඔවුන්ට ලක්ෂ ගණන් වියදම් කරල සැත්කම් කරන්න හැකියාවක් නැහැ. උපන් ගමන් දරුවන්ට සැත්කම් කරන්න වෙනව. ඒ සියල්ල මේ වෙද්දි අකර්මන්‍ය වෙලා තියෙන්නේ. ඒ ගැන මට ලොකු කනගාටුවක් දැනෙනව. ඒත් මම ඉන්න තත්වය අනුව සැත්කම් කිරීම් හැකියාවකුත් නැහැ."
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු පැවසුවේ මෙම වෛද්‍යවරයා සැත්කමක් අතරතුර වුවද සැත්කම විනාඩි කිහිපයකට නවත්වා හදිසි රෝගීන් වෙනුවෙන් කණිෂ්ඨ වෛද්‍යවරුන් වෙත අදාල උපදෙස් ලබා දෙමින් දිවා රෑ නොතකා රෝගීන් වෙනුවෙන් කැපවී කටයුතු කළ වෛද්‍යවරයකු බවය.
ඔහු මෙම පහරකෑමට ලක්වන්නේද හදිසි රෝගියෙකුට ප්‍රතිකාර සඳහා උපදෙස් ලබා දෙමින් සිටියදීය.
"මට මගේ කණිෂ්ඨ වෛද්‍යවරයකුගෙන් ඇමතුමක් එන ඕනම වෙලාවක වාහනය නවත්තල ඇයි කියල බලනව. මොකද සමහරවීට විනාඩි දෙක තුනක ප්‍රමාදයක් නිසා කෙනෙකුගේ ජීවිතය නැතිවෙන්න පුළුවන්. මොළයක් මියයන්න ගතවෙන්නේ විනාඩි තුනක් වගේ සුළු කාලයක්. පණ ඇතුව රෝහලට එන හැම කෙනෙක්ම සුවපත් කරල යැවීමයි මගේ බලාපොරෝතුව වුණේ කවදත්. ස්නායු ශල්‍යකර්ම කිරීමෙන් අනතුරුව මියයාමේ ප්‍රතිශතය කොතරම් පහළ අගයකට ගේන්න මට පුළුවන් වෙලා තියෙනවද කියන එක සංඛ්‍යාලේඛන පරීක්ෂා කිරීමෙන් බලාගන්න පුළුවන්. මේ නොහික්මුණු ප්‍රහාරය නිසා අසරණ රෝගීන් දහස් ගණනක් මේ සතිය තුළම අනාරක්ෂිත වෙලා තියෙනව."