“ඇයි? වෛර කරන්නේ? වෛරය හොඳ දෙයක් නොවෙයිනෙ.”
“ඒක ඇත්ත තමයි හාමුදුරුවනේ! මම මැරිලා මගේ ගෙට ම රිංග ගෙන හිටියා. මුං මගේ ගේ කඩල එතැන අලුත් ගෙයක් හැදුවා. මගේ ගේ කඩන්න මුංට තියෙන අයිතිය මොකක්ද?”
“අයිතිය ද? ඔප්පු ලියලා නේද ඉඩම ඒ අයට දුන්නේ?”
“හාමුදුරුවනේ! ඒ ඔප්පු ලියන කොට මට දීපු පොරොන්දු! ඒවා මතක නෑ මුංට. ඔය ඔප්පු උන්ට වලංගු වුණාට අපේ ලෝකෙට ඔය කෙහෙල්මල් ඔප්පු වලංගු නැහැ. මට කරපු පාඩුවට, රැවටිල්ලට මමත් පළි ගන්නවා. මහ ජෝඩුව නම් දුක් විඳලා මළා. දැන් ඉතින් ඊළඟට ඉන්නෙ මුං. මම මුංගෙ ඇඟට රිංගලා රීරීමාංසෙ උරා බොනවා.”
“හොඳයි, මම මේ ළමයින්ට කියන්නම් දාන මාන පිංකම් කරලා මහප්පාට පින් දෙන්න කියලා. දැන් ඉතින් මේ ශරීරෙන් ඉවත් වෙන්න.”
“අනේ, ඒක නම් කරන්න බෑ හාමුදුරුවනේ. මං මේකිගෙ ශරීරෙට ආසයි. හරිම ආසයි, මේකිගෙ මිනිහවත් මම එපා කළා. දැන් මේකිගෙ මිනිහ අතින් අල්ලනවාටවත් මේකි කැමැති නෑ. මම මිනිහටත් මේකිව එපා කරවනවා. බලන්නකෝ මේකිගෙ මූනෙ හැටි දැන්. ඉස්සර මේකි හරි ලස්සනට හිටියා. මටත් ආස හිතුණා. මං මේකිගෙ ඇඟට රිංගා ගත්තා. අනේ, මට නම් මේක දාල යන්න බෑ. මම නම් යන්නෙ නෑ.”
“මේ... මේ... මම කියන දේ ටිකක් අහගෙන ඉන්නවා.
ඔය කලිසම් ගවුම් සාරි පටලවා ගෙන ජේත්තුවට හිටියාට ඕවා ගඳ ගහන ජරා ගොඩවල්.
අසූචි ගොඩවල්. ඔය ශරීරෙ ඇතුළෙ හැටි බලනවා. තමුසෙත් මළ පෙරේත ආත්මෙක ඉපදිලා මේ ඇත්තිගෙ අසූචි බොක්කට වෙලා ඔය සැපක් ද විඳින්නේ?
“ඒ වුණාට හාමුදුරුවනේ! මගේ දේපළ ලියාගෙන රැවටුවාට?”
“ඒකට තමයි පින් දීලා ඔය ඉන්නා පේ‍්‍රත ආත්මයෙන් මුදවන්න කියන්නෙ.”
“හාමුදුරුවනේ! මුං ඉස්සරත් ඔහොම තමයි පොරොන්දු වුණේ. එහෙම නම් මුංට කියන්න පන්සලකට කුටියක් හදා දෙන්න කියලා. නැති බැරි කෙනෙකුට ගෙයක් දොරක් හදාගන්න උදව් කරන්න කියලා.”
හාමුදුරුවෝ රෝගියා සමඟ පැමිණ සිටි අය අමතමින්,
“පේනවා නේද? අනුන්ගේ දේපළ රවටලා ලියවා ගෙන පොරොන්දු ඉටු නොකළා ම සිද්ධ වෙන දේවල්. එදා බොරු පොරොන්දු දීලා ඉඩ කඩම් ලියවා ගත්ත මහ දෙන්නත් දුක් විඳලා මැරිලා ගියා.
දැන් මේ පිට පවුලකින් මේ ගෙදරට ආපු ළමයත් දුක් විඳිනවා. මළ ගිය අය රවටන්න බැහැ. ඒ නිසා නියම කරන පින්කම් හරියට ඉෂ්ට කර මැරිච්ච මහප්පාට පින් අනුමෝදන් කරන්නැ” යි කීහ.
නැවත භූතාත්මය අමතමින් “දැන් ඉතින් ඔය අසූචි බොක්කෙන් ඉවත් වෙලා හොඳ ආත්මයකට යන්න හිතට ගන්න. ආයෙත් මේ ඇත්තිට හිරිහැර කරන්නෙ නැහැ කියලා පොරොන්දු වෙලා ඉවත් වෙන්න.”
“හොඳමයි හාමුදුරුවනේ. ඔබ වහන්සේ කියපු දේවල් මට වැටහුණා. මම මේ ළමයගෙ ඇඟෙන් ඉවත් වෙනවා. හැබැයි පින්කම් කරලා මාව ඉහළ තැනකට යැව්වේ නැත්නම් මුංගෙ පවුලෙ වෙන එකෙක්ගෙ ඇඟට රිංගනවා. මාව ආයෙත් රැවටුවොත් එහෙම මුංගෙ පවුලෙන් තව එකෙක් බිලි ගන්නවා. අනේ! දෙය්යනේ! මගේ දේපොළ. මගේ ගෙවල් දොරවල්. කමක් නෑ. හොඳයි හාමුදුරුවනේ! ඔබ වහන්සේ කියන නිසා, ඔබ වහන්සේ කෙරෙහි බලයක් ශක්තියක් තියෙන නිසා, මට ඔබ වහන්සේට අවනත නොවී බැරි නිසා මම ඉවත් වෙලා ඉන්නම්.” යැයි කියූ භූතාත්මය යළිත් හඬා වැළපෙන්නට විය.