අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරියට එරෙහිව
අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
රාජ්ය සේවයේ වැටුප් දෙකක් අරගෙන
අජිත් අලහකෝන්, ලසිත දුමින්ද සහ සමන් රණවීර
රාජ්ය සේවයේ වැටුප් දෙකක් ලබාගත් නිලධාරිනියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කිරීම නීති විරෝධී බව පවසමින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරු පිරිසක් ඊයේ (01) එම කොමිසමේ සභාපතිවරයාට පැමිණිල්ලක් භාර දුන්හ.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස මෑතකදී පත් කළ නිලධාරිනිය 2003 වසරේ සිට 2008 වසර දක්වා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරමින් වැටුප් ඉපයූ බව මන්ත්රීවරුන් සිය පැමිණිල්ලේ පෙන්වා දී තිබේ. ඊට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසමේ නීති උපදේශිකාව ලෙසද සේවය කරමින් ඇය එම කාලය තුළදී තවත් වැටුපක් ලබාගෙන ඇතැයිද පැමිණිල්ලේ දැක්වේ.
මෙය විෂමාචාර ක්රියාවක් බවද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස ඇය දේශපාලන හේතූමත ඇතැම් පැමිණිලි විභාග කිරීම කඩිනම් කරමින් සහ තෝරාගත් පැමිණිලි විභාගය හිතාමතා ප්රමාද කරමින් සිටින බවටද පැමිණිලිකාර මන්ත්රීවරුන් සිය පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා ඇත.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රංජිත් සොයිසා, මනූෂ නානායක්කාර, උදිත ලොකුබණ්ඩාර සහ ජානක වක්කුඹුර යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක් මෙම පැමිණිල්ල භාර දුන්හ.
මෑතකදී පත්කරන ලද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරියට එරෙහිව පැමිණිලි කිරීම සඳහා ඊයේ (01 දා) එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීවරු පිරිසක් එම කොමිසමට පැමිණියහ.