යැංකි රහස් මෙහෙයුම්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යැංකි රහස් මෙහෙයුම්

    T8RGwru.jpg

    හිට්ලර්ගේ පරාජයෙන් පසුව යුරෝපය තවත් ඒකාධිපතියෙකුට යටත්වන බව තේරුම් ගත් එක්සත් ජනපදය වහාම යුරෝපා ආක්‍රමණයක් සිදුකරන්නට සැලසුම් සකස් කරන ලදි.1944 ජූනි 6 දා නිදහස් ප්‍රංශ හමුදාව,බ්‍රිතාන්‍යය ,එක්සත් ජනපදය ආදී රටවල හමුදා ප්‍රංශයේ නොමැන්ඩියට ගොඩබැස වහා වහා ජර්මනිය දෙසට ගමන් කරන්නට විය.1945 වසරේදී ජර්මනියේ බටහිර කොටස ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදාද ,නැගෙනහිර කොටස සෝවියට් හමුදාද නතුකරගන්නා ලදි.මේ නිසා අවසානයේදී ජර්මනිය බටහිර සහ නැගෙනහිර ලෙස කොටස් දෙකකට බෙදිණි.නැගෙනහිර කොටසේ කොමියුනිස්ට් පාලනයක්ද බටහිර කොටසේ ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක්ද බිහිවිය.දෙවන ලෝක යුද්ධය අවසන් වන විට නවතම සුපිරි බලවතුන් දෙදෙනෙක් බිහිවිය.ධනවාදී ආර්ථික ක්‍රමයක් සහිත රටවල් එක්සත් ජනපදය වටාද ,කොමියුනිස්ට් පාලනය සහිත රටවල් සෝවියට් දේශය වටාද එකතුවිය.මේ සුපිරි බලවතුන් දෙදෙනා අතර 1947-1991 දක්වා පැවතුණ දේශපාලන සහ යුදමය අවිනිශ්චිතභාවය 'සීතල යුද්ධය' නමින් හැඳින්විය.

    සීතල යුද්ධය සමයේ මෙම බලවතුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන් යුතුව කටයුතු කලහ.විශේෂයෙන් තම විරුද්ධවාදියාගේ හමුදා ශක්තිය,හැකියාවන්,තාක්ෂණය ගැන ඔවුනොවුන් දැඩි සැලකිල්ලක් දැක්වූහ.එම නිසා සතුරාගේ තාක්ෂණය අත්පත් කරගන්නට සහ සතුරා ගැන ඔත්තු බැලීමට ඔවුන් විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදි.මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ එක්සත් ජනපද විසින් සෝවියට් දේශයට එරෙහිව(සෝවියට් තාක්ෂණය අත්පත් කරගැනීම සහ ඔත්තු බැලීම) ක්‍රියාත්මක කල රහස් මෙහෙයුම් කිහිපයකි.



    සෝවියට් ආක්‍රමණයකට ඇලස්කාව සූදානම් කරවීමේ මෙහෙයුම

    UwvVCT8.jpg

    ඇලස්කාව යනු ඇමෙරිකා එක්සත් ජනපදය විසින් රුසියානු අධිරාජ්‍යයෙන් මිලදී ගත් භූමියකි.18 වන සියවසේ පටන් රුසියාව ,ඇලස්කාව සම්බන්ධව උනන්දුවක් දැක්විය.ඒ ඇලස්කාවේ ස්වභාවික සම්පත්වලින් පොහොසත්(රත්‍රන්,පසුකාලයකදී ඛනිජ තෙල් සොයාගන්නා ලදි)භූමියක් වූ නිසාය.නමුත් අධික ශීතල නිසා එහි ජීවත්වීම පහසු වූයේ නැත.වෙළඳාම වෙනුවෙන් පැමිණි රුසියානුවන් සියගණනක් පමණක් එම කාලයේ ඇලස්කාවේ ජීවත්විය.ක්‍රිමියන් යුද්ධයේ පරාජයත් සමග ඇලස්කාවේ ආරක්ෂාවට බ්‍රිතාන්‍යයෙන් ප්‍රබල තර්ජනයක් එල්ල වියහැකි යැයි රුසියාව බියෙන් පසුවිය.ඇලස්කාවේ වෙළඳාමෙන් ලැබුණු ලාභය අවම වීම,එම කාල සමයේ රුසියාව ආර්ථිකව දුබල තත්ත්වයක පසුවීම සහ ප්‍රමාණවත් ආරක්ෂාවක් නැති ඇලස්කාව බ්‍රිතාන්‍යයන් අතට පත්වීමේ බිය ආදී කරුණු නිසා එම දැවැන්ත භූමිය ඇමෙරිකාවට විකුණා දමන්නට රුසියාව තීරණය කලේය.ඇලස්කාව මිලදී ගන්න යැයි 1859 දී රුසියාව විසින් ඇමෙරිකාවට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදි.1867 අප්‍රේල් මාසයේදී ඇ.ඩො. මිලියන 7.2 වැනි සොච්චම් මුදලකට රුසියාව විසින් ඇලස්කාව, ඇමෙරිකාවට විකුණා දමන ලදි.1867 ඔක්තෝම්බර් 18 දා නිල වශයෙන් ඇලස්කාව ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පවරාගන්නා ලදි.ඇලස්කාව ඇමෙරිකාවේ ,ජනපදයක් ලෙස නම් කරන ලද්දේ 1959 ජනවාරි මස 3දාය.


    ඇලස්කාව මිලදීගත් අවස්ථාවේ මුදල් ගෙවූබවට අත්සන් කල කුවිතාන්සිය​

    dQI8zKS.jpg


    ඇලස්කාවේ ආධිපත්‍යය හොඹවන්නේ කරුණු තුනකි.ඒවා නම් ජනපදයේ ප්‍රමාණය,දුරස්ථභාවය සහ දේශගුණයයි.1950 දශකයේදී FBI ආයතනය සහ ඇමෙරිකානු හමුදා බලධාරීන්ට බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවිය.එනම් සෝවියට් හමුදා බීරිං මුහුද තරණය කර ඇලස්කාව ආක්‍රමණය කල හොත් ඔවුන්ව නවත්වන්නේ කෙසේද යන්නයි.මෙම භූමිය ඒ සමය වන විට හමුදා ආරක්ෂාවක් නොමැතිව තබන්නට තරම් සුදුසු භූමියක් නොවූයේ එය උපාය මාර්ගික අතින් ඉතා වැදගත් නිසාය.

    o4SpIge.jpg


    1951-1959 සමයේදී මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලෙස ඔපරේෂන් වොෂ්ටබ්(Alaskan Project) නම් ව්‍යාපෘතිය නිර්මාණය කෙරිණි.එහිදී ඇලස්කාවේ පදිංචිකරුවන් පිරිසක්(වෙළෙන්දන්,ගොවීන්,පතල්කරුවන්,ගුවන් නියමුවන් සහ ධීවරයන්)තෝරාගෙන ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදෙන ලදි.ඒ සෝවියට් ආක්‍රමණයක් සිදුව හොත් ජීවිත රැකගෙන සෝවියට් හමුදාවලට එරෙහිව සටන් කරන්නය(ගරිල්ලා සටනක් හෝ ඔත්තු බැලීමක්).මෙම රහස් ව්‍යාපෘතිය 2014 වසර වන තෙක් රහසක්ව තිබිණි.පිටු 704කින් සමන්විත එම ව්‍යාපෘතිය ගැන කියවෙන වාර්තාව මෙතනින් බාගත කරගන්න.සෝවියට් දේශය විසින් ඇලස්කාව ආක්‍රමණය කරයි යන බිය එක්සත් ජනපදය තුල ඇතිවන්නට ඇත්තේ දෙවන ලෝක යුද සමයේ පටන්ය.තවද කොරියානු යුද්ධය ආරම්භ වීමට හේතුවූ උතුරු කොරියාවේ හදිසි ආක්‍රමණයට සමාන ප්‍රහාරයක් සෝවියට් දේශය විසින් අවම ආරක්ෂාවක් සහිත ඇලස්කාව වෙත එල්ල කරාවි යැයි දෙගිඩියාවක් ඇමෙරිකාව තිබෙන්නට ඇති.සෝවියට් දේශය විසින් ඇලස්කාව ගුවනින් ආක්‍රමණය කරාවි යැයි FBI ආයතනයේ ඉහත කී වාර්තාවේ සඳහන්ව තිබේ.බීරිං මුහුදු ප්‍රදේශයට ඉහළින් සෝවියට් ජෙට් ප්‍රහාරක යානා ගමන් කිරීම සහ අවස්ථා කිහිපයකදීම ආක්ටික් ප්‍රදේශයේ ඇමෙරිකානු රේඩියෝ සංඥාවලට රුසියානුවන් බාධා පැමිණවීමත්, ඔවුන්ගේ මෙම තීරණයට යම් ආකාරයකින් බලපාන්න ඇති.1950 දශකයේදී ඇලස්කාව ආසන්නයේ නිතරම ඇමෙරිකානු B-52 යානා ගමන් කල බව ඇලස්කාවේ ඇංකරිජ් හි විශ්වවිද්‍යාලයේ ස්ටෙපන් හයිකොස් නම් ඉතිහාසඥයා කියයි.ඇංකරිජ් ප්‍රදේශයේ ගොඩබිම සිට ගුවනට එල්ල කරන ක්‍රියාකාරී මිසයිල පද්ධති පිහිටුවා තිබූ ස්ථාන 4ක් තිබූබවත් සීතල යුද සමයේදී ඇලස්කාව තුල නොසන්සුන් බවත් පෙන්නෙන්නට තිබූබවත් හයිකොස් පවසයි.

    zLLbJkR.jpg


    මෙම රහස් ව්‍යාපෘතිය සඳහා ඇලස්කාවේ දේශගුණය හුරු,එහි සෑම තැනක් ගැනම දන්නා කියන සිවිල් පුද්ගලයන් යොදාගැනීම,හමුදා ඔත්තුකරුවන් යොදනවාට වඩා යෝග්‍ය යැ‍යි එක්සත් ජනපද බලධාරීහු කල්පනා කලහ.එසේම ඔවුන් ප්‍රදේශවාසීන්ම වන නිසා සෝවියට් ආක්‍රමණිකයන් පවා ඔවුන්ව සැක කිරීමට හේතුවක් නැත.එම වාසිය ප්‍රයෝජනයට ගෙන ආක්‍රමණිකයන්ගේ ක්‍රියාකාරකම්,සැලසුම් ආදිය ගැන එක්සත් ජනපද බලධාරීන්ට රහසේ තොරතුරු සපයන්නට මෙම ඇලස්කා වැසියන්ට හැකිය(ඔවුන් ස්වදේශිකයන්ද වන නිසා සෝවියට්වරු තුල සැකයක් ඇතිවීමටද හේතුවක් නැත).

    BdRQ7BV.jpg


    මෙම පුහුණුව සඳහා ඇලස්කාවේ පදිංචි ස්වදේශිකයන් 89ක් සහභාගී කරගෙන තිබේ.ඔපරේෂන් වොෂ්ටබ් සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේදී ඔවුන් ඇලස්කාවේ ස්ථිර පදිංචිකරුවන් වීම,හමුදාවේ සාමාජිකයන් නොවීම,එක්සත් ජනපද රජයේ සේවකයෙක් නොවීම සහ සතුරන්ගේ අත් අඩංගුවට පත්වීමේ හැකියාවක් නැති අයෙක් වීම(සිරකරුවන්ගේ තොරතුරු ලබාගන්නට රුසියානුවන් අමානුෂික ක්‍රම භාවිතා කරන නිසා වද හිංසා හමුවේ මෙම පුහුණු කල සිවිල්වැසියන් පවා රහස් හෙළිකරාවි යන බිය තිබිණි.)ආදී කරුණු ගැන ඉහළ සැලකිල්ලක් දක්වා තිබිණි.


    මෙම ව්‍යාපෘතිය යටතේ පුහුණුව ලැබූ Bob Reeve නම් ගුවන් නියමුවා

    zaTg8M1.jpg


    පුහුණුව සඳහා තෝරාගත් සියලුදෙනා සියැටල් නගරයේ කඳවුරක් වෙත ගෙන ගිය අතර ඔවුන්ට පැරෂූට් භාවිතය,ඔත්තු බැලීම,සිතියම් කියවීම,ආක්ටික් හි දිවි රැකගන්නා අයුරු,රහස් තීන්ත ගැන සහ රහසේ ඡායාරූප ලබාගන්නා අයුරු ආදිය ගැන පැය සියගණනක පුහුණුවක් දෙන ලදි.මෙම පුහුණු ඒජන්තයන් වෙනුවෙන් ඇලැස්කාවේ වනගත ප්‍රදේශවල රහස් තිත්පොල නිර්මාණය කෙරිණි.තුන්ද්‍රා බිම්වල හැරූ වලවල්වල(අඩි 14ක් ගැඹුරු )උපකරණ කට්ටල සඟවා තිබිණි.ඒවා අතර අඩි 150ක් පමණ දිග කඹයක්,හිමේ ගමන් කිරීමට යොදාගන්නා ලෝහ තහඩුවලට සමාන සපත්තු,ඇස්කිමෝවරුන්ගේ ජැකට්ටුවක්,ඇස්කිමෝවරු භාවිතා කරන කලිසම්,අත් මේස්,හිස් වැසුමක්,හිම සපත්තු,කුඩා උදුනක්,නිදාගත හැකි පැසක්,ගැසලීන් ගැලුම් 1000ක්,සිතියම්,කොම්පාසු,ෆෑලෑස් ලයිට් සහ තවත් දේ තිබිණි.ඊට අමතරව සටනකදී භාවිතා කරන්නට 30-06 රයිෆලයක් සයිලන්සරයක් සහිත පිස්තෝලයක්,ස්නයිපර් අවියක දුරදක්නයක්,ලෝහ කම්බියක් සහ පුපුරණද්‍රව්‍යද(රහස් තිප්පොලක් සතුරන් අතට පත්වීමේ අනතුරක් දුටුව හොත් විනාශ කරදමන්නටය ) තිබිණි.තවද එකල වටිනාකමේ හැටියට ඇ.ඩො.500ක්(දැන් ඇ.ඩො.5000)වටිනා රත්‍රන්ද මෙම රහස් තිප්පොලවලට ලබා දී තිබ්ණි.මෙම රහස් ඒජන්තයන් 6-7 කාණ්ඩවලට කඩා තිබිණි.ඒවාහි ප්‍රධානියෙක් බැගින් පත්කර තිබිණි.1950 දශකය වන විට මෙම රහස් නියෝජිතයන් වයස අවුරුදු 40-50 අතර පසුවිය.

    MX3wUv2.jpg


    නමුත් කිසිදාක ඇමෙරිකාව බලාපොරොත්තුවූ සෝවියට් ආක්‍රමණය සිදුනොවීය.නමුත් ව්‍යාපෘතියේ තොරතුරු මෑතක් වන තෙක්ම රහසක්ව තබාගන්නට ඇමෙරිකානු රජය ක්‍රියාකලේය.මෙම රහස් ව්‍යාපෘතිය ගැන තොරතුරු ඇතුලත් වාර්තාව මෙතනින් බලන්න(25MB)





    මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය විසින් සෝවියට් චන්ද්‍රිකාවක් සොරාගැනීම

    syvwONL.jpg

    එක්සත් ජනපදය සඳ තරණය කර අභ්‍යාවකාශ තරඟය ජය ගැනීමට පෙර ඔවුන් සෝවියට් දේශයට පෙර අභ්‍යාවකාශය ජයගන්නට වෑයම් කරන ලදි.නමුත් සෝවියට් දේශය පියවරෙන් පියවර ඉදිරියට යමින් පළමුව සත්වයෙක් අභ්‍යාවකාශයට යැවූ පළමු රට බවට පත්විය.ඉන් නොනැවතුණු ඔවුන් යූරි ගගාරින් අභ්‍යාවකාශයට යවන්නටද සමත් වූයේ මිනිසෙක් අභ්‍යාවකාශයට යැවූ පළමු රට බවට පත්වෙමින්ය.ඉන්පසු දෙරටේම වැඩිම අවධානය සඳ කෙරෙහි යොමුවිය.සඳ වටා කක්ෂ ගතවීම ,සඳේ යානයක් පතිත කරවීම ආදී පියවර කිහිපයක්ම සෝවියට් දේශය විසින් සාර්ථකව සිදුකල මුත් ඔවුන්ට මිනිසෙක් සඳ වෙත යවන්නට නොහැකිවිය.සෝවියට් දේශය සඳ ජයගන්නට නිර්මාණය කල ව්‍යාපෘතිය 'ලූනා' වැඩසටහනයි.ලූනා යනු රුසියානු භාෂාවෙන් සඳ යන්නයි.මෙම වැඩසටහන 1959 සිට 1976 දක්වා ක්‍රියාත්මක වූ අතර එහිදී අභ්‍යාවකාශ යානා 24 ක් සාර්ථක අභ්‍යාවකාශ ගත කරන්නට සමත් විය(ගුවන් ගත කිරීමේදී යානා රැසක් විනාශ විය.1958 සිට 1976 දක්වා අවස්ථා 40කදී පමණ දියත් කිරීම සිදුකර තිබේ).සම්පුර්ණ ව්‍යාපෘතියට ඇ.ඩො.බිලියන 4.5ක් පමණ වැයවූ බව කියවේ.


    සෝවියට් දේශය ඔවුන්ගේ පළමු කෘත්‍රීම චන්ද්‍රිකාව දියත් කර මාස දෙකකට පසු එනම් 1957 දෙසැම්බර් මස 6දා එක්සත් ජනපදයද තමන්ගේම චන්ද්‍රිකාවක් දියත් කරන්නට උත්සාහ දරන ලදි.ඔවුන්ගේ Vanguard TV3 නම් යානය රැගත් රොකට්ටුව කේප් කැනවරල් තුඩුවෙන් දියත් කෙරිණි,නමුත් එය අඩි කිහිපයක් ඉහලට ගොස් පුපුරා ගියේය.




    ජර්මන් වී-2 මිසයිලය ආශ්‍රයෙන් නිපදවූ ඇමෙරිකානු රොකට්ටුවක් කේප් කැනවරල් තුඩුවෙන් දියත් කල අවස්ථාවක්

    N2S1zek.jpg


    මිනිසා විසින් නිර්මාණය කල සඳ මත ගැටුණු පළමු වස්තුව වූයේ ලූනා 1 යානයි(1959 සැප්තැම්බර්).1959 ඔක්තෝම්බර් මස දියත් කල ලූනා 3 යානය ,පෘථිවියට නොපෙනෙන සඳේ අනෙක් පැත්තේ ඡායාරූපයක් ලබාගත් පළමු යානය බවට පත්විය.1970 නොවැම්බර් මස යැවූ ලූනා 17 යානය සඳ මතට ගමන් කල හැකි රෝවරයක්(ලුනෝක් හොඩ්) යවන ලදි.ලූනා 16,20,24 යානා මගින් සඳේ පස් සාම්පල් පෘථිවියට ගෙන එන ලදි.

    GC2BeLz.jpg
    ලූනා 1 යානය​


    ලූනා අභ්‍යාවකාශ යානා බටහිර රටවල 'ලුනික්' යන නමින් හඳුන්වන ලදි.රුසියානුවන්ගේ ලූනා යානය අභ්‍යාවකාශ තරඟය ආරම්භ වූ මුල් සමයේදී රටවල් කිහිපයක ප්‍රදර්ශන සඳහා ගෙන ගොස් තිබේ.CIA සංවිධානය මෙම ලූනා යානා ගැන සැලකිල්ලක් දක්වා තිබේ.ඇමෙරිකානුවන් සෝවියට් දේශයේ අභ්‍යාවකාශ තාක්ෂණය ගැන දැක්වූ උනන්දුව නිසාම ලූනා යානයක් සමීපව අධ්‍යයනය කිරීමට සැලසුමක් සකස් කරන ලදි.මෙම රහසිගත මෙහෙයුම ක්‍රියාත්මක වී තිබෙන්නේ 1960 දශකයේ මුල් සමයේ බවයි කියවෙන්නේ.CIA සංවිධානය මෙම රහස් මෙහෙයුම දියත් කරන විට ලූනා යානා තුනක් පමණක් දියත් කර තිබිණි.

    7NiEOfU.jpg


    ලූනා 3 යානය දියත් කර තිබෙන්නේ 1959 ඔකෝම්බර් මාසයේදීය.එම කාලයේ සෝවියට් දේශය අභ්‍යාවකාශ තරඟයේදී ඇමෙරිකාව අභිබවා ගොස් තිබිණි.දෙවැන්නා බවට පත්ව සිටි එක්සත් ජනපදය, සෝවියට් දේශයේ සාර්ථකත්වය පිටුපස තිබූ තාක්ෂණය ලබා ගන්නට අවස්ථාවක් සොයමින් සිටියේය.අවසානයේදී ඔවුන්ට දුර්ලභ අවස්ථාවක් උදාවිය.ඒ ප්‍රදර්ශන සඳහා ගෙන යන සෝවියට් අභ්‍යාවකාශ යානයක් ගැන ලැබුනු ආරංචියයි.නමුත් ඇමෙරිකානු බලධාරීන්ගෙන් සමහරක් කියා සිටියේ සෝවියට් දේශය තමන්ගේ අභ්‍යාවකාශ යානයක නියම මොඩලය කිසිදිනෙක එවැනි අනාරක්ෂිත ප්‍රදර්ශනවලට ඉදිරිපත් නොකරන බවත්,එය සැබෑ යානයේ පිටපතක් විය හැකිබවත්ය.


    සඳේ අඳුරු පැත්තේ ඡායාරූපයක් පළමුවරට ලබාගත්තේ සෝවියට් දේශයේ ලූනා 3 යානය මගිනි

    RKEIf7P.gif


    නමුත් CIA සංවිධානය ඒ මතය ගැන එතරම් අවධානයක් යොමු නොකලේය.ප්‍රදර්ශනය එක් නගරයකින් තවත් නගරයකට යද්දී ඇමෙරිකානුවන් දැඩි උත්සාහයකින් පසුව රුසියානුවන්ගේ නැව් ගත කල ලේඛනය ලබාගන්නට සමත්වේ.එහි අඩංගු කර තිබූ භාණ්ඩ ලේඛනයේ "models of astronomic apparatus" යනුවෙන් සඳහන්ව තිබිණි.තමන් සොයන ලුනා යානය එහි තිබෙන බවට ඔවුන්ට දැන් සාක්ෂියක් තිබේ.රුසියානුවන් ඔවුන්ගේ ඊළඟ ප්‍රදර්ශනය පවත්වන නගරය වෙත ගිය CIA නියෝජිතයෝ ලූනා යානය එම උපකරණ අතර තිබේ දැයි සොයා ගැනීමට සහ ඒ ගැන ලබා ගත හැකි සියලුම තොරතුරු ලබාගන්නට ක්‍රමයක් සෙවීය.නමුත් එහි යොදා තිබෙන ආරක්ෂාව හේතුවෙන් ප්‍රදර්ශනය පවත්වන අවස්ථාවේදී එම උපකරණ තමන් අතට පත් කරගැනීම පහසු නොවන බව රහස් නියෝජිතයන්ට වැටහුණි.එසේ නම් ලූනා යානය ගැන තමන්ට අධ්‍යයනය කිරීමට හැකිවන්නේ එය එක් නගරයකින් අනෙක් නගරයට ප්‍රවාහනය කරද්දී බව ඔවුන් තේරුම් ගත්හ.

    ප්‍රවාහනය ට්‍රක් රථයකින්ද ඉන්පසුව දුම්රියකින්ද සිදු කරන බව හෙළිවිය.ඇමෙරිකානු ඒජන්තයින්ගේ සැලැස්ම වූයේ අල්ලස් දී දුම්රිය සේවකයන් නම්මාගෙන දුම්රිය තුල සැඟව ගොස් ඒතුල වූ යානය වෙනත් වාහනයකට පටවා දුම්රිය මාර්ගය අසලම ගබඩාවකට ගෙන ගොස් රාත්‍රියේදී එහි තොරතුරු ලබාගෙන යළි දුම්රියටම පැටවීමයි.නමුත් දුම්රිය ආශ්‍රිතව ඔවුන්ට සම්බන්ධ කර ගත හැකි විශ්වාසවන්තයෙක් නොසිටි නිසා එය අසීරු කටයුත්තක් බවට විය.


    යූරී ගගාරින් ඇතුලු අජටාකාශගාමීන් පිරිසක් ලූනා යානා මගින් ලබාගත් සඳේ ඡායාරූප නිරීක්ෂණය කරමින්

    rxB6IwI.jpg


    මෙහෙයුම ක්‍රියාත්මක වූ දිනයේදී රුසියානුවන් ලූනා යානය විශාල ලෑලි පෙට්ටියක බහාලන ලදි.ප්‍රදර්ශන භූමියෙන් එහි ආරක්ෂාවට සිටි පිරිස් පිටව ගියබව ස්වදේශිකයන් කිහිපදෙනෙක් හා වැඩ කල ඇමෙරිකානු ඒජන්තයින් විසින් සොයාගන්නා ලදි.තවද ඔවුන් අදාල ට්‍රක් රථයේ රියදුරා සමගද මිත්‍රත්වයක් ඇතිකර ගනියි.මෙහෙයුමට ඔහුගේ සම්පුර්ණ සහාය ලබා ගැනීමට ඔවුන් සමත්වේ.සෝවියට් ආරක්ෂක භටයෙක් විසින් දුම්රිය පොළ වෙත ගෙන එන ඔවුන්ගේ ප්‍රදර්ශන භාණ්ඩ එකිනෙක පරීක්ෂා කරන බව එම රාත්‍රියේ දුම්රිය පොළ අසල සිටි ඒජන්තයන් විසින් නිරීක්ෂණය කරන ලදි.නමුත් එම රුසියානුවා සහ ප්‍රදර්ශන භූමියෙන් භාණ්ඩ ගෙන එන පුද්ගලයන් අතර සන්නිවේදනයක් සිදුවෙන බව පෙනෙන්නට තිබිණි.

    ලූනා යානය සහිත ට්‍රක් රථය ප්‍රදර්ශන භූමියේ සිට දුම්රිය පොළ දක්වා ගමන් කිරීම අරඹන ලදි.රුසියානුවන් තවදුරටත් ඒ ගැන සොයා නොබලන බව දැනගත් ඇමෙරිකානු නියෝජිතයෝ ට්‍රක් රථයේ තිබූ පෙට්ටිය කැන්වසයකින් ආවරණය කර එහි රියදුරා අසල ඇති හෝටලයකට ඇරලවන ලදි(රාත්‍රිය සැපපහසුකම් සහිතව ගත කරන්නට).ට්‍රක් රථයේ රියදුරු අසුන CIA සංවිධානය වෙනුවෙන් සේවය කරන අයෙකුට භාර කෙරුනු අතර ඔහු එය එම රාත්‍රිය වෙනුවෙන් කුලියට ගත් ගබඩාවක් වෙත රැගෙන යන ලදි.ට්‍රක් රථය එනතුරු දුම්රිය පොලේ බලා සිටි රුසියානුවා එය ප්‍රමාද නිසා තම නවාතැන වෙත ගිය බව එහි රැක සිටි රහස් නියෝජිතයෙක් ඇමෙරිකානු කණ්ඩායමට දැනුම් දුනි.එනම් ලූනා යානය අතුරුදහන් බව කිසිවෙක් නොදන්නා බවයි. රුසියානුවන්ගේ නොසැලකිල්ල නිසා පසුදා අළුයම් කාලය වෙන තෙක් ලූනා යානය ගැන අධ්‍යයනය කරන්නට ඇමෙරිකානු රහස් නියෝජිතයන්ට මහඟු අවස්ථාවක් උදා වූයේ මෙලෙසයි.

    gyzODh1.png


    ගබඩාවට ගෙන ගිය ලූනා යානයේ පිටත වැස්ම ඉවත් කර එහි ඇතුලත ඡායාරූප ලබාගන්නා ලදි.ඇමෙරිකානුවන් යානයේ කොටස් එකිනෙක පිරික්සමින්(කොටස් ගලවා යළි සවිකල බව සඳහන් වේ) ඔවුන්ට අවශ්‍ය තොරතුරු රැස් කරගත් අතර අලුයම 4 වන විට සියල්ල අවසන් කෙරිණි.යානය යළි තිබූ පරිදිම සවිකර දුම්රිය පොළ වෙත ගෙන යාමට සූදානම් කරවන ලදි.අළුයම 5 වන විට ට්‍රක් රථයේ නියම රියදුරාට එය බාරදී නියමිත ස්ථානය වෙත ගෙන යන ලදි.ඉන්පසු දුම්රිය ස්ථානයේදී සෝවියට් සෙබලුන් කිහිපදෙනෙක් විසින් එය පරීක්ෂා කර දුම්රියට පටවන ලද්දේ ඊළඟ ප්‍රදර්ශනය තිබෙන ස්ථානයට ගෙන යාමටයි.රාත්‍රී 7.30 සිට උදෑසන 5 වන තෙක් ලූනා යානය ඇමෙරිකානුවන් සතුව තිබූ බව රුසියානුවන් නොසිතන්නට ඇති.


    ඇපලෝ 11 යානය සඳ මත ගොඩබැස්වූ පසු මෙහෙයුමට සහභාගීවූ විද්‍යාඥයින් සහ අනෙකුත් නිලධාරීන් එය සැමරූ අයුරු(1969 ජූලි 24)​

    9Gjpkr6.jpg


    මෙම මෙහෙයුමේදී රුසියානුවන්ට සැක සිතෙන කිසිදු හෝඩුවාවක් හෝ ඉතිරි නොකිරීමට තරම් ඇමෙරිකානුවෝ දක්ෂ විය.මෙය CIA ඉතිහාසයේ විශිෂ්ඨ මෙහෙයුමක් බවට කිසිදු සැකයක් නැත.මෙම රහස් මෙහෙයුමේදී සොරාගත් තොරතුරු නාසා ආයතනයේ අභ්‍යාවකාශ වැඩසටහනට මෙන්ම ඔවුන්ගේ සඳ ගමනටද වැදගත් වන්නට ඇති(1967 පසුව එක්සත් ජනපදය සෝවියට් දේශය අභිබවා යමින් අභ්‍යාවකාශ තරඟයේ ජයග්‍රහකයා බවට පත්විය).ලූනා යානය පැහැරගැනීම සම්බන්ධ වාර්තාව මෙතනින් බලන්න(1.86MB)




    දෙවන කොටසින් හමුවෙමු​



    Source:Cracked.com

    -HarshaLulzSec-
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    හැමදාම වගේ හොඳ පොස්ට් එකක් මචන්
    එක හුස්මට කියවල දැම්මා