යෝධ සැඩ පහර මට්ටු කළ නිලන්ති..

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    යෝධ සැඩ පහර මට්ටු කළ නිලන්ති..

    සිළුමිණ පුවත්පතේ පළවූ ලිපියක් මේ කාන්තාවට උපහාරයක් ලෙස මෙහි පල කරමි.

    හවස් වන විටත් වැස්ස නතර වී තිබුණේ නැත. දැන් හැවැන් ඇල්ල ඔය පිටාර ගලමින් ඇතැයි නිලන්ති සිතුවා ය. කුඩා කළ සිට ම ඔය ඉවුරේ දිවි ගෙවූ ඇයට හැවැන් ඇල්ල කුඩා ඔය හැසිරෙන අයුරු හොඳට හුරු පුරුදු ය. ඇතැම් විට හවස් වන විට දේවහූව ජලාශයේ වාන් දොරටු විවෘත වන්නට ද පුළුවන. මේසන් රැකියාවේ නියුක්ත සැමියා සිටින්නේ කොළඹ ය. පාලුව කාන්සියටත්, ආරක්ෂාවටත් සිටින්නේ හැවැන් ඇල්ල කුඩා ඔය අසල ම පදිංචි බාප්පා ය. තම එක ම දියණියත් සමග නිලන්ති එහි යාමට පිටත් වූවා ය.

    " ඔයේ පළල අඩි තිහක් විතර! වාන් ඇරියාම නම් අහළ පහළ වතු උඩින් තමයි ඔය ගලන්නේ. එදා ඔයේ වතුර තවත් වැඩියි. දවස් කීපයක් ම වැස්ස නිසා. බාප්පලගේ ගේ තිබුණේ ඔය ළඟ ම.
    ඔයට මීටර් පනහක් විතර ඇති. ගේ ළඟින් මහව දඹුල්ල පාර යනවා. ඒ පාරේ තමයි රෝස තිරිවාන නිධිය තියෙන නාමල් උයනට යන්නේ. ඔයෙන් එගොඩ වෙන්නේ කොන්ක්‍රිට් පාලමකින්. ඒත් පාලම පාතයි. වාන් ඇරියම පාලමට උඩින් වතුර දානවා. එදත් පාලම උඩින් අඩි කීපයක් උසට වතුර පාර තිබුණා. "


    නිලන්ති රත්නායක එදා තමා මුහුණ දුන් සිදුවීම සිහිපත් කරන්නී ය. තිස් හය වියැති ඇය 2012 දෙසැම්බර් දහඅට වැනි දින සවස හැවැන් ඇල්ල කුඩා ඔය අසල පිහිටි තම බාප්පාගේ නිවසට පැමිණෙන්නී ය. ඇය සිතූ පරිදිම දේවහූව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මහා දිය කඳක් සවස් වන විට ද පාලම මතින් ගලා යමින් තිබිණි.


    " වැස්ස නතර වෙලා තිබුණෙ නැති නිසා අපි නිදා ගන්න ගියා. ඒත් පාලමෙන් එගොඩට යන්න ආපු මිනිස්සු යන්න විදිහක් නැතුව පාර අයිනට වෙලා හිටියා. ඒ වෙනකොටත් බස් එකක් නවත්තලා තිබුණා.
    වෙලාව රෑ දහයට විතර ඇති.



    එකපාරට ම මිනිස්සු කීප දෙනෙක් කෑ ගහනවා ඇහුණා. බේර ගන්න! බේරගන්න! කියලා. මට තේරුණා කාට හරි කරදරයක් වෙලා කියලා. මං ඇඳෙන් නැගිටලා ඔය දිහාට දිව්වා."


    නිලන්ති සිතුවා නිවැරදි ය. ඒ වන විටත් ජීවිත පහක් කුඩා ඔයේ ගසාගෙන යමින් තිබිණි. පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්වරුන් පස් දෙනෙකු රාත්‍රියේ ම හැවැන් ඇල්ල කුඩා ඔය හරහා යන්නට පැමිණියේ තවත් රෑ බෝවන්නට පෙර තම ‍නිවෙස් කරා යාමේ අරමුණෙනි.



    එහෙත් පාලම හරහා ගලා යන ජල පහර එතරම් සැඩ යැයි කවරකු හෝ සිතුවේ නැත. මීටර් කිහිපයක් පාලම මතින් ගමන් කළ කැබ් රථය සැඩ පහර විසින් තරයේ ප්‍රතික්ෂේප කැරිණි. ඇන්දක් හෝ අඩු තරමේ කිසිදු ආධාරකයක් හෝ නොමැති පාලමෙන් ඔයට පෙරළුණු කැබ් රථය පහළට ගසා ගෙන යන්නට විය.


    " කැබ් එකේ හිටපු පස් දෙනා දොරවල් ඇරගෙන වතුරට පැනලා තිබුණා. ඒත් සැඩ පාරට එයාලව ගහගෙන ගිහින්. තුන්දෙනෙක් කොටේක එල්ලිලා. දෙන්නෙක් වතුරේ ගෑ වෙමින් තිබ්බ අත්තක එල්ලිලා. එයාලා කෑ ගහන සද්දේ තමයි අපට ඇහිලා තිබුණේ. මමයි බාප්පගේ පුතයි ඔය ඉවුරට දිව්වා. ඒ වෙනකොට වත්තේ සෑහෙන දුරකට වතුර ගලලා. බාප්පගේ පුතා වතුරට ටෝච් ගැහුවා. ඒ එළියෙන් මම දැක්කේ මේ කට්ටිය ජීවිත බේර ගන්න දඟලනවා. හිත හිත ඉන්න විදිහක් නෑ. මම වතුරට පැන්නා. "


    f-3-1.jpg
    මේ සම්මානය කාන්තා පරපුරට ගෞරවයක්


    නිලන්ති රත්නායක නම් වන එක්දරු මව තම ජීවිතය ද නො තකා සැඩ පහර සමග සටනට වන්නීය. සැබවින්ම සැඩ පහර ඇය සිතුවාටත් වඩා ඇයට පහර දෙන්නේය. ළමා වියේ සිට කුඩා ඔය හුරුපුරුදු වුව අද නම් තමා කුඩා ඔය දන්නේ යැයි පැවසිය නො හැකි තරම්ය. කිඹුලන් ද වරින් වර මේ ප්‍රදේශයේ සැරිසරන බව සිහිපත් වුව ඇය කිසිසේත් ආපසු යාමට සිතුවේ නැත. ඒ වන විටත් ජීවිතයේ අගිස්සේ එල්ලුණූ මිනිස්සු මර ළතෝනි දෙමින් සිටියහ.




    " මම ඉස්සෙල්ලම ගියේ කොටේ එල්ලිලා හිටපු තුන් දෙනා ගාවට. බේර ගන්න ආවේ ගෑනු කෙනෙක් කියලා දැක්ක ම එයාලා මට කිව්වා ආපහු යන්න කියලා. පිරිමි වෙලා අපිටවත් අපි ගැන බලා ගන්න බැරි කොට ගෑනු කෙනෙක් කොහොමද අපිව බේර ගන්නේ කියලා කිව්වා.
    ඒත් මම කිව්වා මම කොහොම හරි ගොඩට එක්ක යන්නම් කියලා. එතන හිටපු වයස්ගතම පුද්ලගලයාට අවුරුදු පනහක් පමණ ඇති. පස්සේ දැනගත්තා ඒ පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරීතුමා කියලා. මම මුළින් ම ඒ මහත්මයාට කිව්වා ගොඩට එක්ක යන්නම් කියලා.



    ඒ මහත්මයා කිව්වා බැහැ. අපේ ළමයි දෙන්නෙක් ගහක අත්තක එල්ලිලා ඉන්නවා. කොයි වෙලාවේ ගහගෙන යයිද දන්නේ නැහැ. ඉස්සෙල්ලා එයාලව බේර ගන්න කියලා. මම කිව්වා හරි එයාලව බේර ගන්නවා එතකල් ඔයාල එන්න කියලා. ඊට පස්සේ එතන හිටපු තුන් දෙනා ම සැරෙන් සැරේ ගොඩට ගෙනාවා. බාප්පගේ පුතා වතුරට ටෝච් ගහගෙන හිටියා. "


    මේ වන විට එතැනට පැමිණ සිටි නිලන්තිගේ බාප්පා කඹයක් යොදා ගනිමින් අත්තේ එල්ලී සිටි දෙදෙනා බේරා ගැනීමට නිලන්තිට උපකාර වන්නේ ය. එහිදී ද වියපත් බාප්පාට වඩා නිලන්ති පෙරමුණ ගන්නී ය. සියල්ල අවසන ජීවිත පහක් බේරා ගැනීමේ මහා පුණ්‍ය කර්මයට නිලන්ති තම උපරිම දායකත්වය ලබා දී සිටින්නී ය.


    " ඒ මහත්වරු තමන්ගේ කාර්යාලයට කතා කරලා වාහනයක් ගෙන්වාගෙන යන්න ගියා. පහුවෙනිදා අදාළ තැන්වලට කියලා වාන් දොරටු වහලා තමයි කැබ් එක ගැන බැලුවේ. කැබ් එක කුඩා ඔයේ පාලමට ටිකක් පහළින් තිබුණා. පස්සේ ක්‍රේන් එකක් ගෙනල්ලා තමයි කැබ් එක ගොඩ ගත්තේ. "


    නිලන්ති පවසන්නීය. විරු ජන සම්මාන වෙනුවෙන් අයදුම් පත් යොමු කර තමා වෙනුවෙන් ඇය කළ සේවය ඇගයීමට කටයුතු කරන්නේ ද පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ය.


    " පසුගිය පෙබරවාරි මාසේ සම්මුඛ පරීක්ෂණයකට එන්න කිව්වා. හැබැයි සම්මාන ප්‍රධානය තිබෙන දිනය කියලා එදාට කොළඹ එන්න කියනකල් මෙහෙම සම්මානයක් ලැබිලා කියලා මම දැනගෙන හිටියේ නැහැ."
    නිලන්ති තමා ඇගයීමට ලක් කිරීම ගැන සන්තෝෂයෙනි.


    "මේ දේවල් සිදුවුණාට පස්සේ මම ‍මහත්තයට දුරකථනයෙන් කතා කරලා කිව්වා මෙහෙම වාහනයක් ඔයට පෙරළුනා කියලා. ඒත් එතනින් එහාට කියා ගන්න බැරි වුණා. දුරකථනය වැඩ කළේ නැහැ. ඒත් මහත්තයා මුළු රෑ තිස්සෙම මට කතා කරන්න උත්සාහ කළාලු!. මොකද ඒ වගේ වෙලාවක මම උදව් කරන්නේ නැතුව ඉන්නේ නැහැ කියලා දන්න නිසා. එයා මං ගැන ආඩම්බර වුණා. අපේ දුවත් එහෙමයි. "


    නිලන්ති එසේ පැවසුවද සැබවින්ම ඇය ගැන ආඩම්බර වන්නේ සැමියා සහ දියණිය පමණක් නො වේ.



    සමස්ත කාන්තා පරපුරම ඇය ගැන ආඩම්බර වනු නො අනුමාන ය. කාන්තාවන් ළඳ බොළඳ දුර්වල ලිංගික අයිතමයන් ලෙසින් පමණක් දකින්නා වූ ලෝකයට ඇය කයින් මනසින් කොතරම් ශක්තිමත් දැයි සජීවී උදාහරණයක් වන්නට නිලන්තී සමත් වූවාය. ඒ වෙනුවෙන් විරු ජන පදනමින් පිරිනැමෙන 2012 වසරේ ස්වර්ණ සම්මානයෙන් ද පිදුම් ලැබුවා ය.



    නිලන්තී ඔබට ජය!



    ටිරෝනි වෑවලගේ (සිළුමිණ)