රණ විරු ලෙයින් උපන් සුන්දර පොපි මල
ඉර පායා තිබූ කළු දවසක උණුසුම් අරුණෝදයේ ගත සිත කිළිපොළන සීතල සුළඟක් හමා ගියේය.
ප්‍රංශයේ උතුරු දිග ෆ්ලාන්ඩර්ස් සහ පිකාඩි පළමු ලෝක මහා සංග්‍රාමයේ දරුණු ප්‍රහාරයට මැදි ව ගම්බිම්, ගොඩනැගිලි මෙන් ම සාරවත් ගොවි බිම් තුරුලතා සම්පූර්ණයෙන් විනාශ වී මඩ ගොහොරු වී තිබිණ.
එදින විශේෂ යමක් සිදුවෙමින් පැවතිණ, මියගිය සොල්දාදුවන්ගේ දේහයන් මිහිදන් කළ සොහොන් මත ඇතිරුණ පස් කඳු මත ලෝහිත පැහැයෙන් වර්ණ ගැන්වුණ පොපි මල් ලක්ෂ ගණනක් එක යායට පිපී මඳ සුළඟේ නැළවෙන්නට විය. බිම් බෝම්බ හෙළු, සොහොන් වලවල් මතින් ගොඩ වූ අලුත් පසෙහි මේ මල් සීරුවට පිපෙන්නට විය.
ඒ 1918 වසරයි.
රාජකීය කැනේඩියානූ යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුවේ වෛද්‍ය ඒකකයේ සේවය කළ ලුතිතන් කර්නල් ජෝන් ඇලෙක්සැන්ඩර් මැක්ක්‍රේ (John Alexander McCrae- November 30, 1872 – January 28, 1918) මේ ප්‍රදේශයේ වූ යුද ව්‍යසනයෙන් මහත් සේ කම්පා විය. ඔහු තම දින පොතේ මෙසේ අකුරු කළේ හදවතේ සිතුවිල්ලයි.
"ෆ්ලාන්ඩර්ස් පෙදෙස පුපුරා පොපි මල් පූදියි
සනිටුහන් කරයි පෙළින් පෙළ
කුරුස අතරින් අප සෙහොන් කොත්
ඉඳහිට අහසේ අභීත ව ගැයෙනා
ගී නද කොවුලන්ගේ
ඇසෙයි හඬ අවි අතරින් අවි දැරූ දෙරණේ
පෙර දිනකට පෙර මියැදුණේ වෙමු අපි
ජීවත්වීමු, විඳ ගතිමු අරුණෝදය
නැරඹුවෙමු බැබලෙන බැසයන හිරු
ආදරය කළ හා ආදරය ලද අපි
වැතිර සිටින්නෙමු දැන්
ෆ්ලාන්ඩර්ස් බිම් යායේ
සතුරා සමඟ අරගලය භාරගනු මැන
ඇද වැටෙන අත්ලෙන්
ඔබ දෙසට විසි කරන
ඉහළට එස වූ ගිනි සිළුව ඔබේ විය යුතුය
මියැදුණ අප කෙරෙන් විශ්වාසය කඩ කළොත් ඔබ
වැඩුණත් පොපි ෆ්ලාන්ඩර් බිම් යායේ
නිදි නොගන්නෙමු සදහට ම අපි
යුද්ධයේ අමානුෂික බවින් සසල වූ ඔහු 1918 ජනවාරි 28 දා මිය යන විට ද මුමුණා ඇත්තේ "කියන්න ඔවුන් හට, මියැදුණ අප කෙරෙහි විශ්වාසය කඩ කළොත් ඔබ වැඩුණත් පොපි ෆ්ලාන්ඩර් බිම් යායේ නිදි නොගන්නෙමු සදහට ම අපි" යන්නයි.
1918 නොවැම්බර් 11 දින 11 පැයට එතෙක් සිව් වසරක් පුරාවට පැවති අති බිහිසුණු අත්දැකීම් ලොවට දායාද කරමින් ලොව ම සලිත කළ පළමු ලෝක යුද්ධය නිමාවිය. එම යුද්ධයෙන් දහස් ගණනක් මරු වැළඳගත් අතර දහස් ගණනක් තුවාල ලැබූහ. එසේ ම දහස් ගණනකට උන් හිටි තැන් නැතිවිය.
යුද්ධයෙන් බේරි දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වූ, හැඟුමෙන් අවාසනාවන්ත වූ ඉතුරු අය ගම් බිම් බලා පිය නගන්නට විය. යුද පීඩාවෙන් හෙම්බත් ව වයසට වඩා මහළු වූ මේ පිරිස එතෙක් හඳුනා නොගත් සාමය ප්‍රාර්ථනා කරන්නට වූහ.
ලුතිතන් කර්නල් මැක්ක්රේගේ සේවය පසසමින් අමෙරිකානූ තරුණ සංගමයක යුද ලේකම්වරියක ලෙස කටයුතු කළ මොයිනා මිචෙල් (Moina Belle Michael - August 15, 1869 - May 10, 1944) මහත්මිය "දැන් රතු පොපි සහ ගිනි සිළුව පළඳින්නෙමු, ප්‍රණාමය ලෙස අප මියැදුණන්ගේ " ලෙසින් පිළිතුරු පැදි පෙළක් නිර්මාණය කළාය.
"සැතපෙන ඔබ ෆ්ලාන්ඩර්ස් බිම් යායේ
නිදිගන්න සැපසේ නැගිටින්න ප්‍රමුදිත ව
ඉහළට ඔසවා තබන ලෙස
විසි කළ ගිනි සිළුව ඔබ
අල්ලා ගතිමු අපි
තබන ලෙස විශ්වාසය
මියැදුණ ඔබ විරුවන්ගේ
අගයමු අපිත් පොපි රත් පැහැය
වැඩෙනා බිමෙහි විකුම් පෑ වර්ණයෙන් ලෝහිත ව
දිස්වන අහස් කුස සලකුණක් සේ
ඒ විරුවන්ගේ රුධිරය සදා නොමියෙනු ඇත
සිරුරු මත පිපෙනා ඒ රතු මල්
පුද දෙයි ගෞරවය ෆ්ලාන්ඩර්ස් බිම් යාය පුරාවට
පළඳින්න ගිනි සිළුව සමඟ ලෝහිත පොපි මල
අපෙන් සමුගත් විරු කැළ සදා සමරනු ලෙස
බියක් නොතකන ලෙසින් සමුගත්
ඔබේ හැඟුමෙන් අපි උගත්තෙමු
ෆ්ලාන්ඩර්ස් බිම් කෙත පුරාවට
ඔබගේ ඒ ආදර්ශය"
පළමු වතාවට යුද්ධයෙන් මිය ගිය විරුවන් සිහි කළ දිනයේ ඇය ද පොපි මලක් ගෙන පැළඳ මිතුරන් අතරේ පොපි මල් විකුණා ඉන් ලද මුදල මියගිය රණ විරුවන්ගේ පවුල්වල සුබසාධනයට යෙදවූවාය.
ප්‍රංශ ජාතික මෙඩෙෂි ගෝරින් මැතිනිය ඇය ව දිරිමත් කරමින් කෘත්‍රිම සිල්ක් පොපි මලක් නිපදවා ඒවා විකුණා ලැබූ මුදල් මියගිය රණ විරුවන්ගේ පවුල්වල සුබසාධනයට යෙදවූවාය.
මෙලෙසින් ඒ පොපි මල් දිනයේ ඉතිහාසය ආරම්භ වී තිබේ.
මහා බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රේලියාවේ පොපිමල් විකිණීම 1921 දී ප්‍රථම වතාවට ආරම්භ විය. එදා සිට අද දක්වා වසර 90ක් පුරා පොපි මල් දිනය ජාත්‍යන්තර ව සමරනු ලබයි. ඔස්ට්‍රේලියාවේ මාධ්‍යවේදියෙකු වන එඩ්වර්ඩ් ජෝර්ජ් හොනී 1919 මැයි මස 08 වැනි දින යුද්ධයෙන් මියගිය අය සිහි කිරීමට විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවක් රැකීම පිළිබඳ කළ යෝජනාව ගෙන ආවේය. ඒ අනුව 5 වැනි ජෝර්ජ් රජු විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් රැකිය යුතු බවට 1919 නොවැම්බර් 07 දින නියෝග කළ අතර ධාවනය වන දුම්රිය පවා නැවැත්විය යුතු බව අවධාරණය කළේය.
එතැන් පටන් මේ දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් එසේ නිශ්ශබ්දතාව සුරකිමින් වාර්ෂික ව යුද්ධයෙන් මිය ගිය අය සිහි කරමින් පොපි මල් දිනය සමරනු ලබයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් නිසා නොව අප හදවතින් ම පොපි මල් දිනය සැමරීමට බැඳී සිටින්නේ ඈත අතීතයේ පමණක් නො ව මෑත ඉතිහාසයේ වසර 30ක් පුරාවට ම අප යුද්ධයේ බිහිසුණු හා කුරිරු අත්දැකීම් අප රට තුළ දී ම විඳ ඇති නිසාවෙනි. ෆ්ලාන්ඩර්ස් බිම් තීරයේ නො ව අපේ මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ අපගේ ම රණ විරුවන් කෙලෙස අමතක කරන්න ද ?
කෝටි දෙකක් වූ මිනිසුන්ගේ සෝ දුක් නිම කොට සැනසුම් සුසුම් සුළඟට මුසු කරමින් ශ්‍රි ලංකාවේ සැම බිම් අඟලක් ම එක ධජයක් යටතට ගෙන ආ 2009 මැයි 21 වැනි දා අවසන් වෙඩි හඬ උතුරු පෙදෙසින් අහසට පැන යළි නො එන්නට ම සැඟ ව ගියේය. ඒ දෑ හිතකාමී දේශපාලන නායකත්වය හා අභීත රණ විරුවන්ගේ අරමුණු එක් ව ගමන් කිරීම නිසා ය.
රටක යුද්ධයක් පවතින අවස්ථාවක නො බිය ව ඉදිරියට විත් තමා උපන් දේශය රැක ගැනීමට මරණය පෙනී පෙනී යුද සංග්‍රාමයකට එක්වන්නේ ශ්‍රේෂ්ඨ දූ පුතුන්ය. තම මාතෘභූමිය හා ජනතාව වෙනුවෙන් තමන්ගේ දිවිය කැප කිරීම තරම් උතුම් පූජාවක්, පරිත්‍යාගයක් මිහිපිට තවත් නැත.
ඒ නිසා ම ශ්‍රී ලාංකිකයින් ලෙස අප ද ඉමහත් ගෞරවයෙන් යුතු ව පොපි මල් දිනය සැමරිය යුතුය.
ශ්‍රී ලංකාවේ පොපි මල් සැමරුම ලංකා සේවා මුක්ත භට සංගමය මඟින් මෙහෙයවනු ලබයි. එහි සභාපතිත්වය දරන්නේ කපිතාන් පැට්රික් ජයසිංහ මහතාය. යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම වෙනුවෙන් කෙරෙන පොපි මල් සැමරුමට පොපි මලක් පැළඳ, පොපි මල් දමක් ගෙන ඒ සඳහා දායක වෙන මෙන් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය ඉල්ලා සිටී. මෙමඟින් ලැබෙන සියලු මුදල් යුද්ධය වෙනුවෙන් අප රටේ යුද්ධය නිසා දිවි පිදූවන්ගේ පවුල්වල සුබසාධනය සඳහා වැය කෙරේ.