
මෙම ලිපිය ඔස්සේ ඉදිරිපත් කරන්නේ රුසියානු යුදෝපකරණවලට යොදා තිබෙන නම් සම්බන්ධව අතිශය සරල පැහැදිලි කිරීමකි.
මුලින්ම අපි රුසියානු යුද ගුවන් යානා වෙත අවදානය යොමු කරමු.රුසියාව තුල සාම්ප්‍රදායිකව ගුවන් යානාවලට නම් ලබා දෙන්නේ ඒවාහි නිර්මාපකයන් හෝ එම යානා නිර්මාණය කරන සැලසුම් කාර්යාංශයේ ප්‍රධානියාගේ නමින්ය.එම නාමයට පිටුපසින් තිබෙන අංකය හිමිවන්නේ ගුවන් යානය සංවර්ධනය වෙද්දී නිර්මාණය වන සංස්කරණයන් අනුවයි.සාමාන්‍යයෙන් ෆයිටර් ජෙට් යානා,ප්‍රහාරය ජෙට් යානා සහ අන්තඃඛණ්ඩන ජෙට් යානා ලබා දෙන්නේ ඔත්තේ සංඛ්‍යාය.සමහර අවස්ථාවලදී මෙම නීතිය නොසලකා හැර තිබේ.උදාහරණ ලෙස Tu-95 බෝම්බ හෙළන යානය සහ An-124 ප්‍රවාහන ගුවන් යානය දැක්විය හැකිය.
උදාහරණයක් වශයෙන් Tu-95 නම් බෝම්බ හෙළන යානය ගනිමු.Tu යන්නේ අර්ථය Tupolev - ටුපලෙව්ය.එය නිර්මාණය කරන්නේ ටුපලෙව් සැලසුම් කාර්යාංශයයි.ටුපලෙව් සමාගම 1922 වර්ෂයේදී ඇන්ඩ්රයි ටුපලෙව් විසින් ආරම්භ කරනු ලැබේ.

ඇන්ඩ්‍රෙයි ටුපලෙව් සහ ටුපලෙව්-95 බෝම්බ හෙළන යානයක්
ඊළග උදාහරණය වශයෙන් Su-27 ෆයිටර් ජෙට් යානය ගත හොත් එහි Su ලෙස කෙටි කර දක්වා තිබෙන්නේ යානය නිෂ්පාදනය කරන Sukhoi - සුකොයි සැලසුම් කාර්යාංශයේ නමයි.මෙම සමාගම පවෙල් සුකොයි විසින් 1939 වර්ෂයේදී පිහිටුවන ලදි.27 යන අංකය ගුවන් යානා සංවර්ධන අනුපිළිවෙල අනුව යොදනු ලැබේ.

පවෙල් සුකොයි සහ සුකොයි-27 ෆයිටර් ජෙට් යානයක්
බොහෝවිට අංකවලට පසුව අක්ෂර යොදයි.පළමුව S අක්ෂරය ගනිමු.ඉන් කියවෙන්නේ අදාල ගුවන් යානය,ගුවන් යානා ශ්‍රේණියක/පන්තියක(series) කොටසක් බවයි.ඊළඟට මොඩලයේ අනෙකුත් කටයුතු සහ සංවර්ධනයෙන් පසුව M අක්ෂරය එක් කෙරේ.M/එම් අකුරින් කියවෙන්නේ modernized හෙවත් වැඩිදියුණු කල යන්නයි.
එම් අකුරින් පසුව වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට අනුකූලව අනුක්‍රමික අංකයක් එකතු කෙරේ.උදාහරණයක් ලෙස Su-27SM3 ෆයිටර් ජෙට් යානය ගනිමු.
- මෙම යානය සුකොයි-27 පන්තියට අයත් බව S අකුරින්ද,
- වැඩිදියුණු කල මොඩලයක් යන්න M අක්ෂරයෙන්ද,
- වැඩිදියුණු කිරීමෙන් පසුව ඉදිරිපත් කරන මොඩලය අංක 3න්ද සංකේතවත් කෙරේ

ඇතැම් විට නාමකරණයේදී K අක්ෂරය භාවිතා කෙරෙන අතර එහි අර්ථය commercial - වාණිජ යන්නය.එනම් අපනයනය වෙනුවෙන් නිෂ්පාදනය කල මොඩලයකි.සාමාන්‍යයෙන් ඕනෑම රටක් යුදෝපකරණයක් අපනයනය සඳහා නිපදවද්දී මුල් පිටපත වඩා අඩු හැකියාවන් සහිත මොඩලයක් ඉදිරිපත් කරයි.අපනයන මොඩලවලට උදාහරණ වශයෙන් Su-30K,Su-30MK සහ Mig-29K ආදි ෆයිටර් ජෙට් යානා ඉදිරිපත් කල හැකිය.

ඉන්දීය ගුවන් හමුදාවේ Su-30MKI ෆයිටර් ජෙට් යානයක්
UB යන අක්ෂරවලින් කියවෙන්නේ combat training හෙවත් සංග්‍රාමික පුහුණු යන්නයි(රුසියානු බසින් uchebno-boevoy යන්න කෙටි කර දක්වා තිබේ).අගට P අක්ෂරය භාවිතා කරන්නේ නම් එය අන්තඃඛණ්ඩන සඳහා ගුවන් ආරක්ෂක බලකා වෙනුවෙන් නිර්මාණය කල මොඩලයකි(P-perehvatchik).
- සංග්‍රාමික පුහුණු සඳහා: Su-27UB
- අන්තඃඛණ්ඩනය සඳහා: Su-27P

ද්විත්ව අසුන් සංග්‍රාමික පුහුණු Su-27UB ජෙට් යානයක්
ඕනෑම විටෙක බෝම්බ හෙළන යානයක් හෝ ෆයිටර් ජෙට් යානයක් අලුත් සංග්‍රාමික හැකියාවන් සමග නිර්මාණය කල පසු නාමකරණය වෙනස් කෙරේ.සුකොයි-27 යානා පන්තිය මත පදනම්ව නිපදවූ බෝම්බ හෙළන යානයකට Su-34 යන නම එක් වන්නේ ඒ නිසාය.Su-27 යානය විශාල වශයෙන් වෙනස් කිරීම්වලට සහ වැඩිදියුණු කිරීම්වලට භාජනය කිරීමෙන් නිර්මාණය කල සංස්කරණයක් Su-35 යන නමින් නම් කිරීම තවත් උදාහරණයකි.
යුද ටැංකි:කාලය මත පදනම්ව නම් තැබීම
යුද ටැංකි සඳහා නම් තැබීමේදී රුසියානුවන් පෙර කීවාක් මෙන් සැලසුම් කාර්යාංශයේ හෝ ඒවා නිපදවන සමාගමේ නම ඈදාගෙන නොමැත.ඒ වෙනුවට T අක්ෂරය භාවිතා කෙරේ.ටී අක්ෂරයෙන් හෙවත් Tank - යුද ටැංකිය යන වචනය සංකේතවත් වේ.අක්ෂරයෙන් පසුව යොදන අංකයට පදනම් වන්නේ යුද ටැංකිය හමුදාවට භාර දීමට සූදානම් වර්ෂයයි.T-72 යුද ටැංකිය සේවයට එක් වන්නේ 1973 වර්ෂයේදීය.T-62 සහ T-64 යුද ටැංකි 1960 දශකයේ මුල් භාගයේදී සෝවියට් හමුදාවට සම්බන්ධ වේ.

ටී-72,ටී-80,ටී-90,ටී-14 අමාටා යුද ටැංකි සහ ටී-15 පාබල හමුදා ප්‍රහාරක රථය
හමුදාවට එක් වන්නට ප්‍රථමයෙන් මෙම සන්නද්ධ රථ objects - ඔබ්ජෙක්ට් යන නමින් හඳුන්වන අතර ඊට පිටුපසින් සූචක අංකයක් භාවිතා කෙරේ.රුසියාවේ නවතම අමාටා T-14 යුද ටැංකිය,හඳුන්වනු ලැබුවේ object 148 යන නමින්ය.මෙම යුද ටැංකිය තවමත් නිල වශයෙන් හමුදාවේ සේවයට එක් කරගෙන නැතත් ටී-14 යන නමින් අමතනු ලැබේ.අමාටා යුද ටැංකියේ පළමු සාර්ථක මුලාකෘතිය හමුදාවට ප්‍රදර්ශනය කෙරුණේ 2014 වර්ෂයේදීය.

අමාටා T-14 යුද ටැංකිය
ගුවන් යානා සඳහා නම් යොදා ඇති පරිදිම ඉලක්කම්වලට පසුව අක්ෂර එකතු කෙරේ.කෙසේවෙතත්, වැඩිදියුණු කල සංස්කරණ ගණන විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් A හෝ B අක්ෂරවලට පසුව M(වැඩිදියුණු කල) අක්ෂරය එකතු කරයි.
උදාහරණ:
- T-72A
- T-72B
- T-90A
රුසියානු හමුදාව දැනට භාවිතා කරන, ටී-72 යුද ටැංකියේ නවතම මොඩලය වන්නේ T-72B3 ය.
K අක්ෂරය එකතු කරන්නේ අණදීම සඳහා භාවිතා කරන යුද ටැංකි මොඩලයන් හැඳින්වීමටයි.ඒවා යුද ටැංකි රෙජිමේන්තු,බල සේනාවලට අණදීමට යොදා ගැනේ.
උදාහරණ:T-72AK, T-90AK
අපනයනය වෙනුවෙන් නිෂ්පාදනය කරන මොඩලවල නමේ අගට C අක්ෂරය(ඉංග්‍රීසි භාෂාවෙන් S) එකතු කරයි.උදාහරණ: T-90S

වියට්නාම හමුදාව මිලදී ගත් T-90S අපනයන මොඩලයක්
2001-2010 කාල සමයේදී ලොව හොඳම අලෙවිය සහිත යුද ටැංකිය වන T-90 සේවයට එක් වන්නේ 1990 දශකයේ මුල් භාගයේදීය.එය T-72 යුද ටැංකියේ නවීකරණය කල සංස්කරණය වූ අතර T-72BU යන නමින් හමුදාවේ සේවයට එක් වීමට නියමිතව තිබිණි.
කාලතුවක්කු රොකට් සහ මිසයිල
කාලතුවක්කු රොකට් සහ මිසයිල තරමක් විශේෂ නම් දරති.9K යන නමින් ආරම්භ වන සියලු දෑ මිසයිල සහ රොකට් විදින වේ.ස්ව-බලයෙන් ක්‍රියාත්මක තුවක්කුවලට 2C යන කොටස එක් කෙරේ.2A ලෙස හඳුන්වන්නේ කාලතුවක්කු,හොවිත්සර ආදියයි.මෝටාර් සහ සන්නද්ධ රොකට් විදින 2B යනුවෙන් ආරම්භ වේ.
උදාහරණ:
- 9K33 Osa, 9K34 Strela-3, 9K38 Igla, 9K333 Verba
- 2S3 Akatsiya, 2S7 Pion, 2S19 Msta, 2S35 Koalitsiya-SV
- 2A36 Giatsint-B, 2A18 D-30, 2A65 Msta-B
- 2B14 Podnos, 2B11 2S12 Sani
මිසයිල යුදෝපකරණ සහ ආරක්ෂාව ගැන කතා කරද්දී නාමකරණය ඉතා සංකීර්ණ වන අතර ඒ සඳහා විශේෂිත සූචකයක් භාවිතා කරයි.සාමාන්‍ය පුද්ගලයන්ට ප්‍රවේශ විය හැකි එවැනි සූචක සහිත ප්‍රකාශන සොයා ගැනීම අසීරුය.
රුසියානු භාෂාවෙන් S-300 සහ S-400 මිසයිල පද්ධති හඳුන්වන්නේ C-300,C-400 නමින්ය.ඉංග්‍රීසි භාෂාවෙන් S අක්ෂරය වෙනුවට රුසියානු භාෂාව භාවිතා කරන්නේ C නම් අක්ෂරයයි.C යන්නෙන් ඇඟවෙන්නේ උපරිම දුරයි.උදාහරණයක් වශයෙන් එස්-400 ගුවන් ආරක්ෂක පද්ධතියේ උපරිම මෙහෙයුම් පරාසය කි.මී. 400කි.

S-300 මිසයිල පද්ධතියක කොටස්
අවි පද්ධතිවලට අක්ෂර-ඉලක්කම් මිශ්‍ර නාමකරණයක් සැපයීමට අමතරව සමහර අවස්ථාවලදී සාම්ප්‍රදායික නාමයන් ලබා දෙති.උදාහරණ වශයෙන් ජංගම ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති වන 9K38(ඉදිකටුව/ රුසියානු බසින්:Igla) සහ 9K32 (ඊතලය/රුසියානු බසින්:Strela) ආදිය ඉදිරිපත් කල හැකිය.

9K38 Igla
මීට අමතරව පහසුවෙන් මතක තබා ගත හැකි නම් යෙදීමට අවි නිෂ්පාදකයෝ සමහර අවස්ථාවලදී ක්‍රියා කරයි.පහත දැක්වෙන්නේ ඒවාට උදාහරණ කිහිපයකි(මල් විශේෂවල නම් යොදා ඇත).

- ස්වබලයෙන් ක්‍රියාත්මක කාලතුවක්කු පද්ධතියක් වන 2S7 Pion ("peony") - peony යනු මල් විශේෂයකි.
- ඇදගෙන යන මි.මී. 152 කාලතුවක්කු අවියක් වන 2S5 Giatsint-S ("hyacinth") - hyacinth යනු මල් විශේෂයකි.
- ස්වබලයෙන් ක්‍රියාත්මක මි.මී. 240 මෝටාර් අවි පද්ධතියක් වන 2S4 Tyulpan("tulip") - tulip යනු මල් විශේෂයකි.
- යුද ටැංකි නාශක නියාමක මිසයිලයක් වන 9M123 Khrizantema("Chrysanthemum") - Chrysanthemum යනු මල් විශේෂයකි.
source: rbth.com