නිර්මාණයකින් හෝ වෙනයම් කිසිවකින් අපේ රණවිරුවන්ට අපහාස කරයිනම් එය අපරාධයකි. ගමේ ගොඩේ කියවෙන පරිදි සහගහන අපරාධයකි. එහෙම එකක් කළා නම් ඉගිල්ලෙන මාළුවෝ තහනම් කළ යුතුය. තහනම් කොට අධ්‍යක්ෂකට චිත්‍රපට තැනීම පමණක් නොව පුළුවන් නම් චිත්‍රපට බැලීම පවා තහනම් කළාට කමක් නැත. චිත්‍රපට ශාලාවකට වැස්සකට හෝ යෑම තහනම් කළ යුතුය. නමුත් සංජීවගේ චිත්‍රපටයට එරෙහිව පෙළපාළි යන මහත්වරුන් ඒ චිත්‍රපටය නැරඹුවේදැයි මා ප්‍රශ්න කරන්නෙ නොදන්නාකම නිසාය. එහෙම නොබලා ඔහොම කේන්ති යන්නේ කොහොමදැයි ගැටලුවකි.
මම ඉඟිල්ලෙන මාලුවෝ කළු හෝ සුදු කරන්නට නොයමි. එය හුදෙක් මගේ වගකීමක් නොවන්නේය. මට මේ සංජීවට කියන්න තිබෙන්නේද හොඳ වැඩේ කියාය. අපේ රටට නිර්මාණයක රහ ගුණ තේජස වැඩක් නැත. කාටහරි රිදේ නම්, රැළට හූ කීම නරින්ගේ සිරිතය. මම කියන්නේ පෙළපාළි යන නෝනාවරුනි, මහත්වරුනි ඔබ හෙටම යා යුතු පෙළපාළියක් ගැනය. රණවිරුවන්ගේ නාමයෙන් එය කළ යුතුය.
රටේ වසර තිස් ගණනක් තිස්සේ අඳෝනා ඇසුනේ නිකම්ම නොවේ. වෙඩි හඬ දැනුණේ, අවුරුද්දට නොවේ. මිනිසුන් නොසන්සුන් කළ, මරණයට හුරු කළ කුරිරු යුද්ධය කළ වුන් රජයේ පැත්තෙන් මැති ඇමැතිවරුන් වෙන වග ඔබ නොදන්නවා විය හැකිය. උන්ගේ ආරක්ෂාවටත්, වන්දි භට්ටකම් වලටත් අපේ කොල්ලත් දිවා රෑ වෙහෙසෙන බව ඔබ නොදන්නවා විය හැකිය. ඇමැතිතුමා පොරක්ය. ඒ පොර සෙවනේ අපි පුල්ලි අමතක කරමු. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව සැබෑය, වෛර නොකළ යුතුය. හැකිනම් සියල්ල අමතක කළ යුතුය. නමුත් ප්රශ්නය වී ඇත්තේ කැලේ මාරු කළ මුත් කොටියාගේ පුල්ලි මාරු නොවන බව නිකංම නිකං ආවාට කියූවක් නොවන නිසාය. කෑමට සිත් වූ කල කබරගොයා තලගොයා කරගැනීම අපි හැකි උපරිමයෙන් කරමු. උතුරේ ඡන්දය දිනන්නට ප්රභාකරන් නොමැතිවීම අභාග්‍යයකි. එහෙම හිටියා නම් තලගොයා වෙන්නේ ඒ කබරයාය. දැන් කමලිනීලාත්, කේ.පී ලාත් තලගොයින් වන්නේ ඒ න්‍යාය යටතේය. අවශ්‍යතාව ජයග්‍රහණයයි. එහි වූ ප්‍රබල සාධකය වෙන කිසි බම්බුවක් නොවන බව දන්නෝ දනිති.
ජයග්‍රහණය මැතිවරණ ජයක් කොට ගන්නට දළදා මාලිගාවට බෝම්බ තැබූ එකාට කොමාන්ඩෝ ආරක්ෂාව දුන් රටක ඕවා කුමන කතාදැයි ඔබට සිතෙනු ඇත. එසේ සිතන අය වෙත්නම් පෙළපාළි යා යුත්තේ චිත්‍රපටය හැදූ සංජීවට එරෙහිව නොවේ.
සැබෑවටම දේශපාලනය වනාහී එය බව සැබෑය. නමුත් එසේ කියන්නට තරම් බුද්දීයෙන් මුහුකුරා ගියා වූ ජාතියකට චිත්‍රපටයක රසඥතාව ගැන එසේ නොසිතෙන එකේ අවුලක් ඇත. යුද වින්දන සිනමාවේ නොඑක් පැති තිබේ. අපි අද සැබෑවටම යුද වින්දනය කරනා ජාතියකි. එය පරම වින්දන වී ඇත්තේ දේශපාලකයන්ටය. උන් එය රස නහර පුරා බුදිමින් හිඳිති, තලුද මරති, කඩුවක් දෙකක් බිම දමා එය කන එකා දැක ඔහුට තළන්නට මිනිසුන් උසිගන්වතී. පෙළ පාළි හැදේනනේ එහෙමයි. ඒ පෙළපාළි වල මුල ඉන්නා එකා කියනා දේ අග ඉන්නා එකා නොදනී මුල ඉන්නා එකා කොහේ යන්නේදැයි අග ඉන්නා එකා නොදනී. සියල්ල දන්නේ අර මුල ඉන්නා එකාටත් මුල ඉන්නා එකාය. ඒ මුලම ඉන්නා එකා ඔළුවේ තෙල් වලේ සිට කකුලේ මඩ බොක්ක තෙක් නිරුවත්ය. නමුත් උන් හූ කියන්නේ අනිත් උන්ටය. ඒ නිසා සංජීවගේ ඉගිල්ලෙන මාළුවන්ට අපේ රටේ අහසේ ඉගිල්ලීමේ ඉඩක් නැත. ඒ අපේ හැටි නිසා සංජීවට සොරි කීම හැර වෙන දෙයක් නැත ඉතින් එහෙනං ඉගිල්ලෙන්න ඇයි දගලන්නෙ?