ලංකාවේ දුෂ්ට චරිත කල නළුවෝ 8 දෙනෙක්

umedhah

Active member
  • Jun 14, 2006
    466
    207
    43
    AKL, NZAA
    ලංකාවේ දුෂ්ට චරිත කල නළුවෝ 8 දෙනෙක්

    අපේ රිදී තිරය ආලෝකමත් කල දුෂ්ට චරිත කල නළුවෝ 8 දෙනෙක් මෙන්න

    ලංකාවේ සිනමාව කියන්නේ ආදරය ත්‍රාසය භීතිය කුතුහලය කැටිකරගෙන හැදෙනනිර්මාණ නිතර එකතුවෙන ක්ෂේත්‍රයක් කියන එක නම් නොකියා ම බැහැ. වීරයා, පෙම්වතිය සහ දුෂ්ටයා යන තුන් කට්ටුව නැතිනම් සිංහල වාණිජ චිත්‍රපට අදටත් ආදායම් වාර්තා තබන්නේ නැති තරම්.
    ලංකාවේ සිනමාව සම්බන්ධව ලියැවෙන ලිපි වලින් පෙම්වතිය සහ වීරයා චරිත රඟන නළු නිළියන්ව ඇගයීමට පත් කලත් දුෂ්ට චරිත රඟන නළු නිලියන් ගැන සොයා නොබලන තරම්. ඉතින් මෙන්න මේ නිසා අපි තීරණය කළා ලංකාවේ එතෙක් මෙතෙක් හිටපු හොඳම දුෂ්ට නළුවන් 8 දෙනෙකුගේ තොරතුරු ඔබ වෙතට ඉදිරිපත් කරන්නට.


    1. මර්වින්ජයතුංග

    Best-Villains-aniwa-01.jpg
    Source – sarasaviya.lk


    හිතහොඳ දුෂ්ටයා ලෙස විරුදාවලිය ලබා සිටි මර්වින් ජයතුංග මහතා, සිනමාවේ අත්පොත් තබා ඉදිරියට යන්නේ දුෂ්ට චරිත රඟපාමින්. ඊට කලින් ඔහු හෙන්රි ජයසේන මහතාගේ වේදිකා නාට්‍ය වලට රංගනයෙන් දායක වූ අතර, එවකට වෘත්තියෙන් මිනින්දෝරුවෙක් හැටියටයි එතුමා සේවය කලේ.
    ලංකාවේ දුෂ්ට නළුවන් අතරින් විවිධ චිත්‍රපට සිය ගණනකට රංගනයෙන් සහය ලබාදුන් මර්වින් ජයතුංග මහතා රංගනයෙන් එකතු වුනු බොහෝ චිත්‍රපට දින සියය පසු කරමින් තිරගත වීම ද විශේෂ කාරණයක්. අමල් බිසෝ, තැල්ල, රක්තා, සාගරයක් මැද, වජිරා, බඹර පැටික්කි, ආත්මා, යශෝමා, පෙම් රජදහන වැනි චිත්‍රපට වල රඟපෑ මර්වින් වේදිකා පසුතල නිර්මාණ ශිල්පියෙකුද වෙනවා.
    අවසාන කාලයේ ඔහු රඟපෑ”සඳලුතලේ ගීතිකාව” නමැති ටෙලි නාට්‍යය එකල ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ටෙලියක් වුනා.


    2. සොමි රත්නායක

    Best-Villains-aniwa-02.jpg
    Source – sarasaviya.lk


    ඊළඟට ලිස්ට් එකේ ඉන්න දුෂ්ට නළුවා තමා වර්තමානයේ ඇමරිකාවේ ජීවත් වෙන ප්‍රවීණ රංගන ශිල්පී සොමී රත්නායක මහත්මයා. 1946 දී අම්බලන්ගොඩදී උපත ලබන සොමී රත්නායක 1968 අවුරුද්දේදී රැකියාවක් සොයාගෙන කොළඹට සංක්‍රමණය වන්නේ රුපියල් 80ක් අතේ තබාගෙන බව පැවසෙනවා. “අමරණීය ආදරේ” චිත්‍රපටය තුලින් සිනමා රංගනයට අත්පොත් තබපු රත්නායක මහත්මයා ඉන් පසුව සුරබිදෙන, භවකර්ම, හිතට දුකක් නැති මිනිහා, උතුමාණෙනි සහ හුලවාලි වගේ චිත්‍රපට වල මතක සිටින රංගනයන් ඉදිරිපත් කල බව අපට මතකයේ තිබෙනවා. ඒ වගේම වාණිජ චිත්‍රපටි රැසක දුෂ්ට චරිත සඳහාද ඔහු රංගනයෙන් එකතු වූවා.
    උතුමාණෙනි, සුරබිදෙන, සුද්දිලාගේ කතාව වැනි චිත්‍රපටයන්හි ඔහුගේ ප්‍රතිභාපූර්ණ චරිතාංග රංගනය වෙනුවෙන් සරසවිය, ජනාධිපති, ඕ.සී.අයි.සී. වැනි සම්මානයන්ට ද සොමි රත්නායක පාත්‍ර වුණා.
    ඒ වගේම සිංහල සිනමාවේ ජංගම දුරකතනයක් භාවිතා කල පළමුවෙනි නළුවා බවට පත්වන සොමී ගැන අපි කලකට කලින් මෙන්න මේ වගේ ලිපියකුත් ලියලා තියෙනවා.


    3. ක්ලීටස් මෙන්ඩිස්

    Best-Villains-aniwa-03.jpg
    Source – divaina.com


    ආරම්භයේ සිටම සිනමාව හොල්ලපු දුෂ්ට නළුවෙක් ඉන්නවා නම් ඒ ක්ලීටස් මෙන්ඩිස් තමයි. වෙනත් බොහොමයක් දුෂ්ට නළුවන් වගේ නොව ක්ලීටස් සිනමාවට පමණක් කොටු නොවී ටෙලි නාට්‍ය වලත් තමන්ගේ හැකියාවන් පෙන්වූ සහ පෙන්වන නලුවෙක්.
    ක්ලීටස් මෙන්ඩිස් මහත්මයත් රංගනයට අවතීර්ණ වෙලා තියෙන්නේ වේදිකාවෙන්ම තමයි. ඒ 1974 දී වේදිකා ගත කල “දස්කොන්” නමැති වේදිකා නාට්‍යයෙන් තමයි. මෙන්ඩිස් මහත්මයා සතුවූ සුවිශේෂී පෙනුම සහ ක්‍රීඩා වලට තිබුණු දක්ෂතාත්, ප්‍රවීණ නළු රොබින් ප්‍රනාන්දු වෙතින් උගෙන ගත සටන් කලාවත් නිසා ක්ලීටස් මෙන්ඩිස් සිනමා නිර්මාණ අතරේ රෙජිස්ටර් වුනේ දුෂ්ට නළුවෙක් හැටියටයි.
    පෙරළිකාරයෝ, හිත හොඳ චණ්ඩියා, කැලෑ කෙල්ල, නොම්මර එකයි, සූරයන් අතර වීරයා, විජේ සහ අජේ, දෙවියනි සත්‍ය සුරකින්න, වෛරයෙන් වෛරය, චිට්ටි, සූරයෝ වැඩකාරයෝ, නින්ජා ශ්‍රී ලංකා, ගුඩ් බායි ටෝකියෝ, දඬුවම වැනි චිත්‍රපට වල තමන්ගේ රංගන හැකියාව පෙන්වපු ක්ලීටස් මහත්මයා විටෙක රසිකයින් ගෙන් සත්‍ය ජීවිතයේදී අපහාස විඳින තරමට ඔහුගේ දුෂ්ට නළු රංගනය ප්‍රේක්ෂක සිත්වල කාවැදුණු එකක්ව තිබුණා.
    රංගනය පමණක් නොව ගායනය පැත්තෙනුත් තම ස්ථාවරත්වය මැනෙවින් තනාගත් ක්ලීටස් අදටත් රංගනයේ යෙදෙන්නේ රසිකයින් ලෙස අපේ හිත්වල ඔහු ගැන තිබෙන පැතුම් නොබිඳිමින්.





    4. විල්සන් කරුණාරත්න

    Best-Villains-aniwa-04.jpg
    Source – sarasaviya.lk


    ක්ලීටස් මෙන්ඩිස් සේම තම නිසඟ හැකියාව රංගනය තුලින් ප්‍රේක්ෂකයින්ට හඳුන්වා දුන් කෙනෙක් විල්සන් කරුණාරත්න හෙවත් විල්සන් කරු. කුරුල්ලෙක් වගේ තනිකඩ ජීවිතයක් ගත කරන විල්සන් එදා මෙදා තුර දායකත්වය ලබා දී ඇති චිත්‍රපට වලින් බහුතරය තුල ඔහුට ලැබෙන්නේ දුෂ්ට චරිතමයි. දුෂ්ට චරිත රඟදක්වන ගමන්ම සටන් ජවනිකාද දක්ෂ අයුරින් නිරූපණය කරන නලුවෙක් හැටියට විල්සන් කරූ ප්‍රසිද්ධයි.
    දෙමෝදර පාලම, සසර චේතනා, කිව්ලේ ගෙදර මොහොට්ටාල, කොටි වලිගය, එකදා වැහි, සත්වෙනි දවස, රෝදය වැනි චිත්‍රපට වල සිය හැකියාවන් දක්වපු විල්සන් මහතා වර්තමානයේදීත් ආරාධනා අනුව රංගනයට එක් වෙනවා.


    5. ඩොමී ජයවර්ධන

    Best-Villains-aniwa-05.jpg
    Source – sarasaviya.lk


    සිංහල සිනමාවේ හාමු මහත්තයා යන විරුදාවලියෙන් පුද ලත් රංගන ශිල්පියෙක් සිටිනවා නම් ඒ ඩොමී ජයවර්ධන හැරෙන්නට අන් කිසිවෙක් නොවෙයි. ගැඹුරු කටහඬක් සහ ඒ හඬටම ගැලපෙන රංගන හැකියාවක් තිබුණු ඩොමී ගේ පුත්‍රයාත් ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඒ තමයි නිහාල් ජයවර්ධන.
    (නිහාල් ජයවර්ධන කියන නාමය මතක නැතිනම්, 90 දශකයේ රුපවාහිනියේ ප්‍රචාරය වූ ටාසන් ටෙලි මාලාවේ ටාසන්ට හඬ දුන්නේ නිහාල් ජයවර්ධනයන් විසිනුයි)
    වරද කාගෙද, රුහුණු කුමාරි, ළඳක මහිම, ළසඳා, රදල පිළිරුව, දුප්පතාගේ දුක, සූරසේන, පුංචි බබා, කවුද හරි, ආත්ම පූජා, දෙයියන්ගේ රටේ,සැමියා බිරිඳගේ දෙවියාය, චණ්ඩියා, සැපත සොයා, හතර මහා නිධානය, වාසනා හා හිඟන කොල්ලා වගේ චිත්‍රපට රාශියක රඟපෑ ඩොමී ජයවර්ධනයන් ලංකාවේ චිත්‍රපට සංස්ථාව ඇති කරන්නටත් මුලිකත්වය ගත්තෙක් වූවා. ඒ වගේ ම නළුවෙකු සේම අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් සිනමාවට මහත් සේවයක් කල මෙතුමා 1979 දී අප අතරින් වෙන් වුනා.


    6. රෙක්ස් කොඩිප්පිලි

    Best-Villains-aniwa-06.jpg
    Source – sarasaviya.lk


    අහම්බෙන් රංගනයට පැමිණ එයම තමන්ගේ ජීවිතය කරගත්ත කෙනකු ගැන ඔබට දැන ගන්නට අවශ්‍ය නම් රෙක්ස් කොඩිප්පිලිව මතකයට එකතු කරගන්න. ඔහුරංගනයට එකතුවෙන්නට කලින් රැකියාව කරන්නේ සලාකා ආයතනයේ. එහෙම සිටිත්දී කේ.ඒ.ඩබ්ලිව් පෙරේරාගේ ආරාධනාව අනුව “කතුරුමුවාත්”චි ත්‍රපටයේ පොකට්කරුගේ චරිතයක් රඟ දක්වන්නට ඔහුට අවස්ථාවක් ලැබී තිබෙනවා. එහිදී රෙක්ස් මහත්මාගේ රංගනයෙන් පැහැදෙන කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතා පසුව රෙක්ස් හට එම චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ට චරිතය පිරිනමා තිබෙනවා.
    ලොකුම හිනාව, මුවන් පැලැස්‌ස, බයිසිකලේ ,චන්දීරා, කොටි වලිගය, ක්‍රිස්‌තු චරිතය යන චිත්‍රපටවල කැපීපෙනෙන රංගනයන් නිරූපණය කල මෙතුමා මේ වෙනවිට චිත්‍රපට 200 ක පමණ රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ඒ වගේම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුලත් රෙක්ස් කොඩිප්පිලි කියන්නේ නැතුවම බැරි චරිතයක්.


    7. ලයනල් දැරණියගල

    Best-Villains-aniwa-07.jpg
    Source – sarasaviya.lk


    අහම්බෙන් සිනමාවට ආපු තවත් එක නළුවෙක් තමයි ලයනල් දැරණියගල කියන්නේ. කොළඹ හාදයෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට පැමිණි ලයනල්ට ඉන් පසුව චරිතාංග නළුවෙකුට වඩා දුෂ්ට චරිත රඟපාන්නට ලැබෙන්න ඔහුගේ පෙනුමත් එක හේතුවක් වෙන්නට ඇති කියලා හිතෙනවා.
    හිත හොඳ මිනිහෙක්, කස්තුරි සුවඳ, හතරදෙනාම සුරයෝ, සුහද පැතුම, එදත් සූරයා අදත් සූරයා වගේ චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයින්ගේ හිත්වල නොමැකෙන නමක් තබපු දැරණියගල මහත්මයා මුතු පන්තිය සහ මල් කැකුලක් වගේ ටෙලි නාට්‍ය වලත් රඟපෑවා. එක කලෙක සිනමාව අර්බුදයකට නතුව තිබෙන කාලයේ විදේශ ගත වී සිටි දැරණියගල මහත්මයා ජීවිතයට සමුදෙන්නේ 1994 දීයි.


    8. පියදාස ගුණසේකර

    Best-Villains-aniwa-08.jpg
    Source – sarasaviya.lk


    ඩොමී ජයවර්ධනගෙන් පසුව බිහිවූ හොඳම දුෂ්ට නළුවා ලෙස පියදාස ගුණසේකර මහතාව හඳුන්වන්නට පුලුවන්. පියදාස මහතා සිනමාවට පය තබන්නේ සිරිසඟබෝ චිත්‍රපටයෙනි. එහෙත් බොහෝ දෙනා ඔහුගේ සිනමාගමනය ලෙස හඳුන්වන්නේ සැඩ සුළං චිත්‍රපටයයි. පියදාස මහතා රංගනයෙන් ඔපවත් කල චිත්‍රපට අතරේ වන මෝහිණී, මහහේනේ රීරි යකා, සාර විට, සොරුන්ගෙත් සොරු, බිනරමලී , හාරලක්සේ වගේ චිත්‍රපට වෙනවා. ඒ වගේම කොතරම් චරිතාංග නළුවෙකු ලෙස ඉදිරියට ගියත් ප්‍රේක්ෂකයින්ගේ හදවතේ ඔහු රැඳෙන්නේ දුෂ්ට නළුවෙකු ලෙසින් වීම නිසා, ඔහු ඒ වැනි චරිත වලට කොටු වුනාද කියලත් අපිට සිතෙනවා.
    සිනමාවේ චතුර්විධ අභිනය හොඳින් ම කල හැකි නළුවන් කිහිපදෙනෙකුගෙන් එක් අයෙකු වන පියදාස මහතා 1980 දී අප වෙතින් සමුගන්නවා.



    http://www.aniwa.lk